හර්ෂනී සමුද්‍රාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

425
Junior National tournament

පනස් හතරවැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද (12දා) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර, පළමු දිනයේදීම ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් තරග වාර්තා තුනක් අලුත් කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ.

වයස 20 පහළ රිටි පැනීම කාන්තා ඉසව්ව නියෝජනය කළ වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ හර්ෂනී සමුද්‍රා කුමාරි මීටර 3.34 ක දක්‍ෂතාවක් දක්වමින් දිනයේ වාර්තා වූ එකම ශ්‍රී ලංකා වාර්තාව පිහිවූවාය. 19 හැවිරිදි හර්ෂනී විසින් බිඳහෙලනු ලැබුවේ 2015 වසරේ ජූනි මස දියගමදීම පැවති 93 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනෝමා කරුණාවංශ විසින් මීටර 3.33 ක දක්‍ෂතාවක් දක්වා පිහිටුවා තිබූ වාර්තාවයි. හර්ෂනී, ජාතික පාසල් තරග වාර්තා 07 ක් මේ වනවිට අලුත්කර ඇත.

මීට අමතරව වයස 20 පහළ තුන්පිම්ම පිරිමි ඉසව්ව නියෝජනය කළ වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහලේ එල්.පී.ජී. ධනංජය මීටර 15.78 ක දක්‍ෂතාවක් දක්මින් තරග වාර්තාවක් පිහිටුවීමට සමත්විය.

අනුරාධපුර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය නියෝජනය කළ ඩබ්.එම්. නියොමාල් වයස 20 පහළ මිටිය විසිකිරීම පිරිමි ඉසව්ව මීටර 34.10 ක දක්‍ෂතාවක් දක්වමින් හා වයස 23 පහළ මිටිය විසිකිරීම පිරිමි ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ පී.කේ.එල්. ප්‍රභාෂන මීටර 36.44 ක දක්‍ෂාවක් දක්මින් දිනයේ බිහිවූ අනෙකුත් තරග වාර්තා අලුත් කිරීමට සමත්වූහ.

ඡායාරූප ඇල්බම සදහා පිවිසෙන්න

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ඉරිදා (15දා) දක්වා පැවැත්වේ. තරගාවලිය අවුරුදු 16 න්, 18 න්, 20 න් හා 23 පහළ වශයෙන් වයස කාණ්ඩ හතරක් යටතේ පැවැත්වෙන අතර, ඒ සඳහා තරගකරුවන් 1500 කට වැඩි පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.

මෙම ශූරතාවලියේ දක්‍ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එළඹෙන ජුනි මස 03 දින සිට 06 දින දක්වා වියට්නාමයේ ගෝවින්මිහිදී පැවැත්වීමට නියමිත 17 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සහ ජූලි මස 19 දින සිට 24 දින දක්වා පෝලන්තයේ බිඩ්ගොෂිශ්හිදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා මෙන්ම දකුණු ආසියානු කනිෂ්ඨ සහ යොවුන් මලල ක්‍රීඩා සංචිත සඳහාද තෝරාගැනීමට නියමිතය.

තවත් පුවත් සිංහලෙන්