ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයෙන් නව වාර්තා 18ක්!

206
Junior National Athletic Championship 2019

2019 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව (Junior National Athletics Meet 2019) අද (04) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ නව තරග වාර්තා 18ක් සමඟිනි. මෙවර තරගාවලියේ දී වයස අවුරුදු 18න් පහළ වාර්තා 13ක් බිහි වීම විශේෂත්වයකි.

හෙන්ඩසන්ට රන් පදක්කම් දෙකක්, ශෙලින්ඩාගේ ආබාධ සුවයි

2019 කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දින වන අද (03) සදීපා හෙන්ඩසන්…..

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට වත්තල ජාත්‍යන්තර පාසලේ කමල්රාජ් ඉරෝයි සමත් වූ අතර ඔහු වයස අවුරුදු 20න් පහළ ඉසව්වේ දුර පැනීම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය වන්නේ මීටර් 7.36ක්.

එම ජයග්‍රහණයෙන් පසු ThePapare.com  වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, කුඩා කල තම පියාගේ අභාවයත්, ඉන්පසුව තම මවගේ අසනීප තත්වයත් සමඟ ක්‍රීඩා දිවියේ මේ සා දුරක් පැමිණීම ඉතාමත් දුෂ්කර ගමනක් වූ බවයි.

Junior National Athletic Championship 2019
කමල්රාජ්

මෙවර තරගාවලියේ වැඩිම තරග වාර්තා සංඛ්‍යාවක් බිහි වී ඇති වයස් කාණ්ඩය වන්නේ වයස අවුරුදු 18න් පහළ වයස් කාණ්ඩයයි. එම වයස් කාණ්ඩයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් නව තරග වාර්තා 13ක් පිහිටුවා ඇත.

මෙවර තරගාවලියේ අභියෝගතා කුසලාන 6ක් පිරිනමන ලැබූ අතර ඒවා නම්,

  1. සුසන්තිකා ජයසිංහ අභියෝගතා කුසලානය 
  • ඉෂාරා සමන්මලී – සූරියවැව විහාරගල මහා විද්‍යාලය – දුර පැනීම මීටර් 5.74 (නව තරග වාර්තාවක්)
  1. එන්. ඒ. ක්යූ. එන්. ඒ. සී. කුරේරා අභියෝගතා කුසලානය 
  • නවීන් මාරසිංහ – සාන්ත ජෝසප් විද්‍යාලය මරදාන – යගුලිය විසිකිරීම මීටර් 16.54 (නව තරග වාර්තාවක්)
  1. එන්. වයිරවන්දන් අභියෝගතා කුසලානය 
  • නදුන් කවීෂ – කොළඹ රාජකීය විද්‍යාලය – මීටර් 110 කඩුලු මතින් දිවීමේ තරගය තත්පර 14.10 (නව තර වර්තාවක්) 
  1. දමයන්ති දර්ශා අභියෝගතා කුසලානය 
  • අමෙෂා හෙට්ටිආරච්චි – නුවර විහාර මහාදේවි විද්‍යාලය – මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගය මිනිත්තු 01.01.71 (නව තරග වාර්තාවක්) 
  1. දේශබන්දු ලාන්ස් කෝප්‍රල් ඩබ්. විමලදාස අභියෝගතා කුසලානය 
  • නෙත්මි මේඝවර්ණ දෙබරවැව ජාතික පාසල තිස්සමහාරාමය – දුර පැනීම මීටර් 5.88
  1. ඩී. ස්ටැන්ලි තබ්රෝව් අභියෝගතා කුසලානය  

කමල්රාජ් ඉරෝයි – වත්තල ජාත්‍යන්තර පාසල – දුර පැනීම මීටර් 7.36

>> සම්පූර්ණ අභියෝගතා කුසලාන සම්මාන ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාමලේඛනය << 

වයස අවුරුදු 18න් පහළ රිටි පැනීම ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කිරීමට උතුරු පළාතේ චාවකච්චේරිය හින්දු විද්‍යාලය නියෝජනය කළ අරුන්තවරාස පවිදරන්ට හැකි වූ අතර ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 4.40ක්. 

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ඔහුගේම සහෝදරයා වන අතර ඔහු දක්වා තිබූ දක්ෂතාවය මීටර් 4.20ක්. පවිදරන් පසුගිය ජාතික මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වූ අතර එහි දී ඔහුට දිනා ගැනීමට හැකි වූයේ 9 වැනි ස්ථානයයි.  

පළමු දිනම කනිෂ්ඨයෝ වාර්තා අටක් කඩයි

2019 කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව අද (02) සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ….

වයස අවුරුදු 18න් පහළ මීටර් 110 කඩුලු මතින් දිවීමේ තරගයේ දී නව තරග වාර්තාවක් පිහිටුවීමට කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කළ නදුන් කවීෂට හැකි වූ අතර ඔහු දැක්වූ දක්ෂතාවය තත්පර 14.10ක්.

දෙවැනි ස්ථානය දිනා ගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිතිජ ඩයස් ද පැරණි තරග වාර්තාව අභිබවා යාමට සමත් විය. ඔහු දැක්වූ දක්ෂතාවය තත්පර 14.19කි. මීට පෙර පැවති තරග වාර්තාව මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ ශෙෂාන් කාරියවසම් සතු වූ අතර ඔහු දක්වා තිබූ දක්ෂතාවය තත්පර 14.41ක්.

මීගමුව සාන්ත ජූඩ් විද්‍යාලය නියෝජනය කළ රනිත් අරව්වල වයස අවුරුදු 16න් පහළ තුන්පිම්ම ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර ඔහු වාර්තා කළ දුර මීටර් 13.63ක්. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීමට සාන්ත ජෝසප් විද්‍යාලයේ පසිඳු මල්ෂාන්ට හැකි විය. ඔහු දක්වා තිබූ දක්ෂතාවය මීටර් 13.52ක්.

පසිඳු මල්ශාන්ගේ 16න් පහළ වාර්තාව සොරා ගැනීමත් සමඟ නැවතත් පසිඳු වයස අවුරුදු 18න් පහළ තුන්පිම්ම නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ මීටර් 14.99ක දුරක් වාර්තා කරමින්. ඔහු එසේ තමන් සතු කර ගනු ලැබුවේ 2005 වසරේ කොළඹ ආනන්ද විද්‍යාලයේ එස්. වී. කන්නන්ගර විසින් තබා තිබූ වාර්තාවයි. ඔහු දක්වා තිබූ දක්ෂතාවය මීටර් 14.93ක්.

>> ඉසව්වන් හි රන්, රිදි, ලෝකඩ පදක්කම් දිනා ගත් සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාමලේඛනය <<

මහනුවර ධර්මරාජ විද්‍යාලය නියෝජනය කළ ඩී. විජේරත්න විසින් වයස අවුරුදු 18න් පහළ මීටර් 1500 ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඔහු දැක්වූ දක්ෂතාවය මිනිත්තු 4:01.45ක්. මෙසේ ඔහු විසින් බිඳ හෙලනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ජාතික තලයේ දක්ෂ දිගු දුර ධාවකයෙකු වන කුපුන් කුශාන්ත විසින් 2012 වසරේ තබා තිබූ වාර්තාවයි. ඔහු එහි දී දක්වා තිබූ දක්ෂතාවය මිනිත්තු 4.05.77ක්.

දින 3ක් පුරාවට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගාවලිය මෙසේ නිමාවට පත්වන අතර ජයග්‍රහණය කළ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ThePapare.com උණුසුම් සුබ පැතුම්!

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<