කනිෂ්ඨ මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය ජූලි අවසානයේ

922

වයස අවුරුදු 20න් පහළ ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය ඉලක්ක කරගනිමින් ජාතික කනිෂ්ඨ තේරීම් තරගාවලියක් මෙම මස (ජූලි) 27 වැනිදා පැවැත්වීමට ජාතික මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.

මෙම තරගාවලිය මීට පෙර ජූලි 25 වැනිදා පැවැත්වීමට මලල ක්‍රීඩා සංගමය සැලසුම් කර තිබූ නමුත් නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් එය දින දෙකක් පසුපසට දැමීමට සිදු වූ බව ඔවුන් පසුව ප්‍රකාශ කර සිටියා.

මෙරට තුළ වර්තමානයේ පවතින කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මෙම තේරීම් තරගාවලිය දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයන් අනුගමනය කරමින් සීමිත ඉසව් ගණනකට සීමා කර පැවැත්වීමට සැලසුම් කර ඇත.

එම නිසාවෙන් මෙම තේරීම් තරගාවලිය සඳහා ලෝක කනිෂ්ඨ ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට වැඩි හැකියාවක් පවතින ඉසව් කිහිපයක් පමණක් ඇතුළත් කර තිබේ.

තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන අවසන් අවස්ථාව මෙය වනු ඇත.

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය මෙම වසරේ අගෝස්තු 17 සිට 22 දක්වා කෙන්යාවේ දී පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<