රග්බි ක්‍රීඩාවේ ස්වර්ණමය මතකයන් රැසකට හිමිකම් කියන විද්‍යා විද්‍යාලයීය රග්බි කණ්ඩායම, ඔවුන් අතින් ගිලිහී ගිය A කාණ්ඩයේ ගෞරවය නැවතත් දිනා ගැනීමේ අරමුණින් මෙවර පාසල් රග්බි ලීග් තරගාවලිය සඳහා තරග කරනු ලබයි.

2015 වසරේ පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ අපරාජිතව තරග වදිමින් කිරුළු පැළඳූ ඔවුන්ගේ මෙවර සැලසුම් මොනවා ද? 2018 විද්‍යා විද්‍යාලයීය රග්බි කණ්ඩායම පිළිබඳව ThePapare.com කරන පෙරවිමසුමකි මේ.

A කාණ්ඩයට ඉව අල්ලන විද්‍යාර්ථයේ ව්‍යාඝ්‍ර පැටව්

පසුගිය වසරේ අහිමි වූ A කාණ්ඩයේ සිහිනය යථාර්ථයක් කර ගැනීමට මෙවර මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය

අතීත මතකයන්

විද්‍යා විද්‍යාලයීය රග්බි කණ්ඩායම දේශීය රග්බි පිටියට දක්ෂයින් රැසක් බිහි කිරීමට සමත්ව ඇති පාසලකි. ඒ අතුරෙන් රිචඩ් ධර්මපාල (මහනුවර), ජනිත් ලක්ෂිත (නාවික), නිරෝෂ් උදයංග, තනුජ මදුරංග, උදේශ් මදුසංක වැනි ජාතික හා ජාත්‍යන්තර රග්බි පිටිය නියෝජනය කළ විශිෂ්ට ක්‍රීඩකයින් වේ.

තරගයෙන් තරගයට සැලසුම් හදලා මෙවර තරගාවලියේ අපි ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා

හැව්ලොක් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ලසිඳු ඉෂාන් කරුණාතිලක මෑත කාලීනව රග්බි පිටියේ දස්කම් දක්වන ආදි විද්‍යා ක්‍රීඩකයෙකි. ඔහු විසින් නායකත්වය දැරූ 2015 වසර විද්‍යා විද්‍යාලයට ඉතා වැදගත් වසරක් වූයේ Knock Out තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඔවුන් සමත් වීම නිසාවෙනි.

නමුත් 2017 වසරේ දී විද්‍යා විද්‍යාලයේ අවාසනාවට මෙන් ඔවුන්ට A කාණ්ඩයෙන් ඉවත් වීමට සිදු වූයේ ඔවුන් සහභාගී වූ තරග 8න් 6ක්ම පරාජය වීම නිසාවෙනි. එහි දී ඔවුන් ජයග්‍රහණය කළේ ලුම්බිණි විද්‍යාලය හා වේල්ස් කුමාර විද්‍යාලය හමුවේ පමණි.

වසර 5කට පසුව තමයි අපේ කණ්ඩායම B කාණ්ඩයට වැටුණේ. මේක අපි අභියෝගයක් ලෙස අරගෙන මෙවර තරගාවලියට සාර්ථකව මුහුණ දෙනවා.

එසේම වයස අවුරුදු 18න් පහළ රග්බි කණ්ඩායම 2015 හා 2016 වර්ෂවල දී සත් සාමාජික පාසල් රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ද විද්‍යා විද්‍යාලයි. මීට අමතරව වයස අවුරුදු 20න් පහළ රග්බි කණ්ඩායම 2017 සුපර් සෙවන්ස් ශූරතාවය ද දිනා ගැනීමට සමත් විය.

මෙවර සූදානම

මෙවර විද්‍යා විද්‍යාල රග්බි කණ්ඩායමේ නායකත්වය දරන්නේ හෂාන් මදුමාධව විසිනි. ඔහු වසර 4ක් පුරාවට විද්‍යා විද්‍යාල රග්බි කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයෙකි. ශසීන් මුණසිංහ, අභිෂේක් රසාංජන, රවිඳු සංකල්ප යන ක්‍රීඩකයින් කණ්ඩායමේ උප නායකයින් ලෙස කටයුතු කරයි.

Hashan Madumadhava
විද්‍යා විද්‍යාලයීය කණ්ඩායම් නායක හෂාන් මධුමාදව

තරුෂ සිල්වා හා රසාංජන දිනුශාන් විද්‍යා විද්‍යාලය සතු කදිම තුරුම්පු දෙකකි. Scrum Half ස්ථානයේ ක්‍රීඩා කරන වේගවත් ක්‍රීඩකයින් වන ඔවුන් මෙවර තරග වාරයේ දී විද්‍යා විද්‍යාල රග්බි කණ්ඩායම වෙනුවෙන් වේගවත් ධාවනයක යෙදෙනු ඇත. ඔවුන්ට අනගි සහයක් වෙමින් Wing ස්ථානයේ ක්‍රීඩා කරන සංජුල රොහාන් ද කණ්ඩායමේ තවත් බලාපොරොත්තුවකි.

මට බොහොම සතුටුයි මෙවර විද්‍යා විද්‍යාල රග්බි කණ්ඩායමේ නායකත්වය දැරීමට හැකි වීම පිළිබඳව. පසුගිය තරග වාරයේ අපේ අතින් යම් යම් අඩුපාඩු වුනා, ඒ නිසා අපිට A කාණ්ඩයෙන් ඉවතට යන්න සිදු වුනත්, මේ තරගාවලිය තුළ අපි නැවතත් හොඳින් දස්කම් දක්වලා නැවතත් A කණ්ඩායමට ඒමට බලාපොරොත්තු වෙනවා. තරගයෙන් තරගයට සැලසුම් හදලා මෙවර තරගාවලියේ අපි ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි නායක හෂාන් මදුමාධව ThePapare.com වෙත අදහස් දක්වමින් පැවසීය.

මෙවර තරග වාරයේ දී කණ්ඩායම පුහුණු කිරීම ඩිශාන්ත ප්‍රියදර්ශණ මහතා වෙත පැවරී ඇත. 1999 වර්ෂයේ දී භද්‍රාවතී විද්‍යාලයෙන් රග්බි පුහුණුකරුවෙක් ලෙස සිය පුහුණු දිවියට ආරම්භය ලබාගත් ඔහු විද්‍යා විද්‍යාලයේ ආදී සිසුවෙකු ද වේ.

විද්‍යා විද්‍යාලයේ උප නායකයින් (අභිෂේක් රසාංජන, ශසීන් මුණසිංහ, රවිඳු සංකල්ප)

මීට පෙරත් 2001 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා විද්‍යා විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඩිශාන්ත මහතා කටයුතු කර ඇත. එසේම විද්‍යා විද්‍යාලය සහ භද්‍රාවතී විද්‍යාලයට අමතරව වෙස්ලි විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඩිශාන්ත මහතා සේවය කර ඇත.

ක්‍රීඩකයෝ කැපවීමෙන් පුහුණුවීම් වලට සහභාගී වුනා, අනිවාර්යෙන්ම බලාපොරොත්තුව B කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමයි. වසර 5කට පසුව තමයි අපේ කණ්ඩායම B කාණ්ඩයට වැටුණේ. මේක අපි අභියෝගයක් ලෙස අරගෙන මෙවර තරගාවලියට සාර්ථකව මුහුණ දෙනවා. අපිට ඉතාමත් හොඳ සමබර කණ්ඩායමක් ඉන්නවා.” යැයි ඩිශාන්ත ප්‍රියදර්ශන මහතා පැවසුවේය.

විද්‍යා විද්‍යාලයීය රග්බි සංචිතය

හෂාන් මදුමාධව (නායක, Full Back), ශසීන් මුණසිංහ (උප නායක, Flanker), අභිෂේක් රසාංජන (උප නායක, Locks), රවිඳු සංකල්ප (උප නායක, Loose Head), රුචිර මදුසංක (Loose Head), ශාමික මිලින්ද (Hooker), රශ්මික තනුජ (Hooker), නිෂිත කාවින්ද (Tight Head), කවිඳු ඩිල්ශාන් (Tight Head), විනුෂ හිමාල් (Tight Head), දිනෙත් පසිඳු (Tight Head), ඉමෙත් පෙරේරා (Locks), ටශිර ජයසංක (Locks), හර්ෂණ සමරරත්න (Locks), ලක්රන්ද සිල්වා (Flanker), අභිෂේක් ප්‍රනාන්දු  (Flanker), බිම්සර පෙරේරා (Flanker), දනංජය ෆොන්සේකා (No 8), තරුෂ සිල්වා (Scrum Half), රසාංජන දිනුශාන් (Scrum Half), සංජුල රොහාන් (Wing), කෝසල දිල්ශාන් (Wing), දුලංජ කල්හාර (Wing), හසරංග මුදලිගේ (Center), යසස් කාවින්ද (Center), නවිඳු මදුසංක (Center), ආකාශ් මදුසංක (Center), කසුන් මදුසංක (2nd Row), දුලීප ලක්ෂාන් (3rd Row), කවිෂ්ක ශාමින් (Center)

  • විද්‍යා විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ඩිශාන්ත ප්‍රියදර්ශණ

නිලධාරීන්

ඩිශාන්ත ප්‍රියදර්ශන (ප්‍රධාන පුහුණුකරු), මිතුන් හපුගොඩ (සහය පුහුණුකරු), කපිල මුණසිංහ (අභ්‍යාසක)

තරගකාරී තරග වාරයක් ක්‍රීඩා කරමින් B කාණ්ඩයේ ශූරතාවය දිනාගෙන යළිත් A කාණ්ඩයට යාමට හැකි වේවායි ThePapare.com අප විද්‍යා විද්‍යාල රග්බි කණ්ඩායමට සුබ පතන්නෙමු.

කණ්ඩායම වෙනුවෙන් ඔබේ සුබ පැතුම් පහළින් Comment කරන්න.

පාසල් රග්බි ලීගයේ B කාණ්ඩයේ තරග ආවරණය කිරීමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<