Warnerගේ හයේ පහරට Gambirගෙන් twitter ප්රහාරයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

2338

ඊයේ (12) දිනයේ ක්‍රියාත්මක වූ පාකිස්තාන-ඕස්ට්‍රේලියා අවසන් පූර්ව තරගය අතරතුර දී අමුතු ආකාරයේ නිපන්දුවක් යවමින් ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානු ආරම්භ පිතිකරු David Warner හට දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට ඉඩ සකසා දුන් Mohammed Hafeezගේ නිපන්දුව සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුල නොයෙක් අර්ථකථන නිර්මාණය වෙමින් පවතී.

පාකිස්තාන කණ්ඩායම ලබා දුන් ලකුණු 177ක ඉලක්කය හඹායමින් සිටි ඕස්ට්‍රේලියානු  පිළිතුරු ඉනිමේ  8 වැනි පන්දුවාරය දියත් කිරීම සඳහා Mohammad Hafeezව කැඳවීමට නායක පාකිස්තාන නායක Babar Azam කටයුතු කළේ ඒ වන විට හොඳින් පහර දෙමින් සිටි වමත් ආරම්භක පිතිකරු David Warner හට පිට දඟපන්දුවෙන් තර්ජනයක් එල්ල කිරීමේ අරමුණෙනි.

කෙසේ නමුත් පන්දුවාරයේ පළමු පන්දුව හරියාකාරව ග්‍රහණය කරගැනීමට නොහැකි වීම නිසාවෙන් පාලනයකින් තොරව පිටියේ දෙවරක් ඉපිලෙමින් Warner වෙත ඇඳී ගියේ දැවැන්ත පහරක් සඳහා ඔහුට ආරාධනා කරමිනි.

ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත් Warner දෙවරක් නොසිතා ප්‍රේක්ෂගාරය වෙත පන්දුව හරවා යැවුයේ නිපන්දුවේ ලකුණ ද ඇතුළුව ඕස්ට්‍රේලියානු මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 7 කින් ඉහළ නංවමිනි.

Warner එම අවස්ථාවේ දී ගත් තීරණය පිළිබඳව මේ වන විට නොයෙක් මතිමතාන්තර ඉදිරිපත් වෙමින් පවතින මොහොතක හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු Gautam Gambhir විසින් සිදු කළ ප්‍රකාශයක් කෙරෙහි කාගෙත් වැඩි අවධානය යොමුව තිබෙන්නේ ඔහු Warnerගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් එම සම්පූර්ණ සිදුවීමම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය පළුදු කර දැමූ අවස්ථාවක් ලෙස සඳහන් කිරීමට කටයුතුකොට තිබෙන නිසාවෙනි.

එම Twitter පණිවිඩයෙහි Gambhir මෙම සිදුවීම පිළිබඳව ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwinගේ ද මතය විමසා තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය හා බැඳුණු මතභේදාත්මක අවස්ථාවන් කිහිපයකටම මුහුණු දුන් අත්දැකීම් Ashwin සතුව ඇති නිසා විය හැක.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර අවස්ථාවන් කිහිපයක දී ම පිතිකරුවන් මන්කාඩ් ක්‍රමයට දවා ගැනීමට Ashwin උත්සාහකොට ඇති අතර 2019 වසරේ දී Jos Butlerගේ කඩුල්ල මන්කාඩ් ක්‍රමයට දවා ගැනීමත් සමඟ ඒ සම්බන්ධයෙන් පැවති කතාබහ තවත් උණුසුම් වන්නට විය.

මෙහි දී තවත් කැපී පෙනෙන සිදුවීමක් බවට පත්වූයේ David Warnerගේ දැවී ගිය ආකාරයි. ලකුණු 49ක් රැස් කරමින් අර්ධ ශතකය අභියස සිටි Warner, Shadab Khan යැවූ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක Rizwan හට උඩපන්දුවක් ලබා දුන්නේ ජයග්‍රහණය දෝලනය වෙමින් පැවති තරග වැඩි වාසි නැවතත් පාකිස්තානය දෙසට යොමු කරමිනි.

නමුත් Ultraedge තාක්ෂණය උපයෝගී කරමින් පෙන්වූ පුනරූපනයන් ඔස්සේ දැකගත හැකි වූයේ පන්දුව සහ පිත්ත අතර පැහැදිලි පරතරයක් තිබුණු බවත් සැබැවින්ම එය උඩපන්දුවක් නොවන බවයි.

නමුත් තරගය උඩුයටිකුරු කරමින් අපරාජිත පාකිස්තාන ලෝක කුසලාන ගමන් මඟට තිත තැබීමට ප්‍රහාරාත්මක පිතිකරු Matthew Wade සමත් වූයේ 19 වැනි පන්දුවාරයේ දී පිට පිට හයේ පහර ත්‍රිත්වයක් එල්ල කරමින් තම කණ්ඩායම අවසන් මහා තරගය සඳහා රැගෙන යාමේ නියමුවා වීමේ ගෞරවය හිමිකරගනිමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<