FA කුසලාන සිව්වන වටයෙන් සෝන්ඩර්ස් සහ ක්‍රිස්ටල් පැලස් ඉදිරියට

447

සෝන්ඩර්ස් සහ අප් කන්ට්‍රි ලයන්ස් අතර තරගය

FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් කණ්ඩායම් 32 අතර පැවැත්වෙන සිව්වන වටයේ තරගයක් සඳහා මෙම කණ්ඩායම් දෙක තරග වැදුනේ කැලණිය පාපන්දු සංකීර්ණ ක්‍රීඩාංගණයේ දී. ගෝල වර්ෂාවකින් පසු මේ තරගය ගෝල 6 – 1ක් ලෙස පහසුවෙන් ජය ගන්නට සෝන්ඩර්ස් කණ්ඩායම සමත් විය.

යුද හමුදාව සහ ඊස්වරන් එෆ්. ඒ කුසලානයේ ඉදිරියටම

එෆ්. ඒ. කුසලාන තරග මාලාවට අදාලව අවසන් කණ්ඩායම් 32 අතර පැවති තරග දෙකකින් මීගමුව යූත් කණ්ඩායම …

පසුගිය වටයේ දීත් ඉහළ ගෝල සංඛ්‍යාවක් වාර්තා කරමින් අවසන් කණ්ඩායම් 32 අතරට පිවිසි සෝන්ඩර්ස් කණ්ඩායම මෙම වටයේ දී සුපුරුදු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් නොමැතිව තරගයට පිවිසුණ ද ඔවුන්ගේ පුහුණුකරු සුමිත් වල්පොල තීරණය කළේ නවක මුහුණු කිහිපයක් මෙම තරගයේ දී අත්හදා බැලීමටයි. එය ඉතා සාර්ථක උත්සාහයක් වුනේ සෝන්ඩර්ස් ක්‍රීඩකයන් පහසුවෙන්ම අවසන් කණ්ඩායම් 16 අතරට පිවිසීමේ වරම දිනා ගැනීම හේතුවෙන්.

තරග ආරම්භයේ සිටම පාලනය තමන් සතු කර ගත් සෝන්ඩර්ස් ක්‍රීඩකයන්ගේ ගෝල උත්සාහයන් කිහිපයක් වළක්වන්නට මොහොමඩ් ලුත්ෆි සමත් වුවත් ඔහුගේ ප්‍රතිරෝධය බිඳ දමන්නට ක්‍රිශාන්ත අබේසේකර සමත් වුනේ 18 වන මිනිත්තුවේ දී ආරම්භක ගෝලය වාර්තා කරමිනුයි.

තවත් මිනිත්තු 3 කින් පසු තම ගෝල සංඛ්‍යාව දෙගුණ කර ගන්නට සෝන්ඩර්ස් කණ්ඩායමට හැකි වුනේ පළමු ගෝලයේ හිමිකරු විසින් ස්ථාන ගත කරන ලද පන්දුවක් නිරේෂ් විසින් ගෝලය තුලට යොමු කිරීමත් සමගයි.

අප් කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම තමන් හට ලැබුණු පහසු ගෝල ලබා ගැනීමේ අවස්ථාවක් මඟ හැර ගනිද්දී පළමු අර්ධය අවසානයට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායක රෝහණ රුවන්තිලක සෝන්ඩර්ස් කණ්ඩායමේ තුන් වන ගෝලයට හිමිකම් කීවේ උදාර විසින් එල්ල කළ පැති පහරක් (Corner) ආධාරයෙනුයි.

පළමු අර්ධය – සෝන්ඩර්ස් ක්‍රී. ස. 3 – 0 අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රී. ස.

දෙවන අර්ධය ආරම්භයේ දී කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථාව බැගින් ගිලිහී යන ලදි.

කෙසේ වෙතත් නාවලපිටියෙන් පැමිණි ක්‍රීඩකයන්ගේ දීර්ඝ උත්සාහය අවසානයේ මල්පල ගැන්වුණේ එච්. ඩී. චන්ද්‍රරත්න විසින් ලයන්ස් කණ්ඩායමේ ප්‍රථම සහ එකම ගෝලය වාර්තා කිරීම සමගයි.

අතිශය කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කළ සමීර 67 වන මිනිත්තුවේ දී ලබා දුන් පන්දුවකින් දෙවන අර්ධයේ සෝන්ඩර්ස් කණ්ඩායමේ ගෝල දඩයම ආරම්භ කරන්නට නිරේෂ් සමත් විය.

රුවන්තිලක සහ උදාර වෙනුවට පුහුණුකරු සුනිත් වල්පොල විසින් ආදේශනය කරන ලද සකීර් අහමඩ් සහ දිනෙත් සංකල්ප තම සහභාගීත්වය ඉහළින් සටහන් කරන්නට වැඩි කාලයක් ගත කලේ නැත.

76 වන මිනිත්තුවේ දී නායක චානුක එරංග සාකීර්  අහමඩ් සමඟ එක්ව කණ්ඩායමේ ගෝල එකතුව 5 දක්වා ඉහළ දමන්නට සමත් විය.

අතිශයින් වෙහෙසට පත්ව සිටි අප් කන්ට්‍රි ලයන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මන්දගාමීත්වයෙන් ලද සහයෝගයත් සමඟ තරග අවසානයට පෙර තවත් ගෝලයක් වාර්තා කරන්නට සෝන්ඩර්ස් කණ්ඩායම සමත් වූ අතර පසිඳු කාවින්දගෙන් ලද සහයෝගයෙන් එම පන්දුව ගෝලය තුලට යොමු කලේ මොහොමඩ් ඉස්මත් විසිනුයි.

තරග ප්‍රතිඵලය –  සෝන්ඩර්ස් ක්‍රී. ස. 6 – 1 අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රී. ස.

ThePapare.com තරගයේ වීරයා – සුන්දරාජ් නිරේෂ්.

ගෝල ලබා ගත් ක්‍රීඩකයන් –

සෝන්ඩර්ස් ක්‍රී. ස. – ක්‍රිශාන්ත අබේසේකර 18‘ , සුන්දරාජ් නිරේෂ් 21සහ 67‘ , රෝහණ රුවන්තිලක 43‘ , චානුක එරංග 74‘ , මොහොමඩ් ඉස්මත් 86

අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රී. ස. – H. D.චන්ද්‍රරත්න 56’


ක්‍රිස්ටල් පැලස් සහ නිව් යංග්ස් අතර තරගය

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ගෝල 1 – 1ක් ලෙස සමව අවසන් වූ අතර ජයග්‍රාහකයන් තීරණය කිරීම සඳහා පැවති දඬුවම් පහර අදියර 3 – 2ක් ලෙස පෙරමුණ ගත් ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම අවසන් කණ්ඩායම් 16 අතරට පිවිසීමේ නිව් යංග්ස් බලාපොරොත්තු දිය කර හරින්නට සමත් විය.

මෙම තරගය මීට පෙර දිනයක පැවැත්වීමට ආරම්භ වී තිබුණ ද එම තරගයේ 65 වන මිනිත්තුවේ දී කණ්ඩායම් දෙකම ගෝල 1 – 1ක් ලෙස ලබා සිටිය දී ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කල් දමන්නට සිදු විය.

ඩයලොග් චැම්පියන්ස් කුසලාන තරගාවලියේ තරගකරුවන් වන මෙවන් ප්‍රබල කණ්ඩායම් දෙකක් FA කුසලාන සිව්වන වටයේ දී තරම් ඉක්මනින් එකිනෙකා හමුවන අවස්ථා ඉතා දුර්ලභ වීම හේතුවෙන් ක්‍රීඩාලෝලීන් බොහොමයක් බලාපොරොත්තු වුනේ ගෝල වර්ෂාවකින් වර්ණවත් වුනු තරගයකි.

කෙසේ වෙතත් ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩාලෝලීන්ට ද හරස් වූ වර්ෂාව තරගයේ වේගය යම් තාක් දුරකට දිය කර හරින්නට සමත් වුවද තියුණු සටනක් දැක බලා ගැනීමේ අවස්ථාව අහිමි කළේ නැත.

තරගයේ පළමු මිනිත්තු 30 ඇතුලත කණ්ඩායම් දෙකටම හිමිවූ ආසන්න අවස්ථා කිහිපයක්ම මග හැරී යනු දක්නට ලැබුණි. මේ අතර නිව් යංග්ස් ආරක්ෂක පෙළ ක්‍රීඩකයකු විසින් එල්ල කළ වේගවත් පහරකින් පන්දුව දිගු දුරක් ඉදිරියට පැමිණියේ ක්‍රිස්ටල් පැලස් ආරක්ෂකයන් ද පසු කරමිනුයි. එහි දී දැල් රකින ක්‍රීඩකයා මැනුවල් නොයර්ගේ (ජර්මානු දැල් රකින ක්‍රීඩක) පොතෙන් පිටුවක් සමඟ තම ගෝල සීමාවෙන් පිටතට පැමිණියේ ආරක්ෂකයන්ට මගහැරුණු පන්දුව ආරක්‍ෂිත ස්ථානයකට යොමු කිරීමටයි.

කෙසේ වෙතත් මැනුවල් නොයර්-කරණය වූ පන්දුව ඉදිරියට පැමිණෙමින් සිටි ප්‍රතිවාදී ක්‍රීඩක හසිත ප්‍රියංකරගේ හිසට ඉහළින් ගමන් නොකළ අතර ඔහු ආරක්ෂාවක් නොමැති දැල වෙත පන්දුව පහසුවෙන් යොමු කරන ලදි.

ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම ප්‍රති ප්‍රහාරය සඳහා දැවැන්ත උත්සාහයක නිරත වුනු අතර මොහොමඩ් ඉබ්‍රහිම් ගෝලය වෙත එල්ල කළ ප්‍රබල පහරක් වළක්වන්නට දැල් රකින ක්‍රීඩක කවීෂ් ප්‍රනාන්දු සමත් වුවත් එම පන්දුව නැවත ලබාගත් හරිත රත්නායක එල්ල කළ පහර දැල තුළට ඇදී යාම වළක්වන්නට කවීෂ් හට හැකියාව නොතිබුණි.

පළමු අර්ධය ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජය  1 – 1 නිව් යංග්ස් පාපන්දු සමාජය

අතිශය තරගකාරී දෙවන අර්ධයක් සඳහා සියල්ල සූදානම් වී තිබුනත් වර්ෂාවට තිබුනේ  වෙනත් අදහසක්. තෙතබරිත ක්‍රීඩාංගණයක ජයග්‍රාහී ගෝලය සොයා කණ්ඩායම් දෙකම සටන් වැදුනත් අවසානයේ සිදුවුනේ ගෝල නොමැති මිනිත්තු 20ක  අවසානය දකින්නටයි.

කෙසේ වෙතත් 65 වන මිනිත්තුවේ දී ජයග්‍රහණය වර්ෂාවට භාර දුන් විනිසුරුවන් ක්‍රීඩකයන් පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කළ අතර තරගයේ ඉතිරි කොටස ආරම්භ වුනේ සතියක විරාමයකින් පසුවයි. එනමුත් තරගයේ ඉතිරි කාලය තුල දී ද කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම සමත් වුනේ නැත. එබැවින් තරගයේ තීරණය සඳහා යොදා ගැනුනේ දඬුවම් පහරයි.

එහි දී දවසේ තරුව බවට පත් වුනේ පළමු දඬුවම් පහර දෙකෙන් පසු ආබාධයකට ලක්ව සිටි දැල් රකින්නා වෙනුවට එම රාජකාරිය භාර ගත් ක්‍රිස්ටල් පැලස් නායක චරිත රත්නායකයි. පළමු දඬුවම් පහර දෙකම දැල තුලට එල්ල වී තිබුනත් තමන් වගකීම භාර ගත් පසු එල්ල වූ පහර තුනම සාර්ථකව වළක්වන්නට ඔහු සමත් විය. මේ අතර ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම තමන්ට ලැබුණු දඬුවම් පහර 5න්  3ක් සාර්ථක කර ගත්තේ අවසන් කණ්ඩායම් 16 අත‍ර ස්ථානයක් ද වෙන් කර ගනිමිනුයි.

තරග ප්‍රතිඵලය – ක්‍රිස්ටල් පැලස් 1(3) – 1(2) නිව් යංග්ස්

ThePapare.com තරගයේ වීරයා – චරිත රත්නායක (ක්‍රිස්ටල් පැලස්)

ගෝල ලබා ගත් ක්‍රීඩකයන්

  • ක්‍රිස්ටල් පැලස් –  චරිත රත්නායක 45
  • නිව් යංග්ස්  – හසිත ප්‍රියංකර 33

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට