මාලිංගගේ ආගමනයත් සමග මුම්බායි ඉන්දියන්ස් වැඩ අල්ලයි

2049
Photo Credit: ESPN Cricinfo

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹුනු දා පටන්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සිය වගකීම නොපිරිහෙලා ඉටුකර ඇති ලසිත් මාලිංග ඊයේ දිනයේ (09) නැවතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එකතු විය. එම තරඟයේදීම සුපිරි හඹා යෑමක නිරත වුනු මුම්බායි ක්‍රීඩකයින් තියුණු තරඟයකින් අනතුරුව තරගාවලියේ ප්‍රථම ජය වාර්තා අත් කරගැනීමට සමත් වූහ.

මැක්ස්වෙල් සහ මිලර් පන්ජාබ් ජය තහවුරු කරයි

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (08) පැවති තරග ද්විත්වයෙන් ජයග්‍රහණ හිමිකර ගන්නට ග්ලේන් මැක්ස්වෙල්ගේ නායකත්වයෙන් යුතු කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම…

ගුජරාට් ලයන්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් අතර තරගය

මෙම තරඟයෙන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට හිමිවුනු කඩුලු 9ක සාර්ථක ජයග්‍රහණයත් සමග ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළටම පැමිණීමට සමත් විය. නමුත් තමන් සහභාගි වුනු තරග දෙකේදීම පරාජය වැළඳගත් ගුජරාට් ලයන්ස් කණ්ඩායමට මේ වනවිට හිමිවී තිබෙන්නේ අවසන් ස්ථානයයි.

කාසියේ වාසිය දිනාගත් ඩේවිඩ් වෝනර්ගේ ඇරයුමින් පිටියට පිවිසි ගුජරාට් ලයන්ස් පිතිකරුවන්ට ඊයේ දිනයේ තම ඉනිම ලකුණු 135කට පමණක් සීමා කරගැනීමට සිදුවිය. බ්‍රෙන්ඩන් මැකලම්, සුරේෂ් රයිනා, ඒරෝන් ෆින්ච් වැනි ප්‍රවේගකාරී පිතිකරුවන් තනි ඉලක්කමේ ලකුණු වලට සීමාවීම ගුජරාට් පිළේ මෙම පසුබෑමට දැඩි ලෙස හේතුවිය. අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි ඩ්වේන් ස්මිත් හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 37ක් රැස් කළේය.

පන්දු යැවීමේදී තවමත් වයස 18ක් වන ඇෆ්ගනිස්තානය ක්‍රීඩක රෂීඩ් කාන් ලකුණු 19කට ගුජරාට් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. ඔහුගේ පාදඟ පන්දුව හමුවේ බ්‍රෙන්ඩන් මැකලම්, සුරේන් රයිනා සහ ඒරෝන් ෆින්ච් යන සුපිරි පිතිකරුවන් තිදෙනාටම නැවත ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදුවිය. පසුගිය කාලයේ පැවැත්වුනු වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ද රෂීඩ් කාන්ගේ විශිෂ්ට පන්දු යැවීම ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වූ අතර ඔහු ඊයේ තරගයේදී දැක්වූ සුවිශේෂී දස්කම් හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

ලකුණු 136ක ඉලක්කය හඹාගිය සන්රයිසර්ස් පිතිකරුවන්ට ජය තහවුරු කර ගැනීම සඳහා වැයවුනේ එක් කඩුල්ලක් සහ පන්දුවාර 15යි පන්දු 3ක් පමණි. විස්සයි විස්ස තරඟ වලදී සුවිශේෂ දක්ෂතා දක්වන සන්රයිසර්ස් නායක ඩේවිඩ් වෝනර් ඊයේ දිනයේ හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 76ක් රැස්කර ගත්තේය. ඔහු සමග එක්වී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 108ක නොබිඳුනු සබඳතාවයක් ගොඩනැගූ මොයිසස් හෙන්රිකස් ලකුණු 52යි. සන්රයිසර්ස් ඉනිමේ බිඳ වැටුනු එකම කඩුල්ල වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් කුමාර්ට හිමිවිය.

ගුජරාට් ලයන්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 135 (පන්දුවාර 20)
ඩ්වේන් ස්මිත් 37, ජේසන් රෝයි 31, දිනේෂ් කාර්තික් 30, බසිල් තම්පි 13, රෂීඩ් කාන් 3/19, බුවනේශ්වර් කුමාර් 2/21, අශිශ් නෙහ්රා 1/27.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් – එක් කඩුල්ලක් දැවී ලකුණු 140 (පන්දුවාර 15.3)
ඩේවිඩ් වෝනර් 76*, මොයිසස් හෙන්රිකස් 52*, ශිකර් ධවාන් 9, ප්‍රවීන් කුමාර් 1/16.


කල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් අතර තරගය

එදා මෙදාතුර අයි.පී.එල්. තරග බිමේ විශිෂ්ට දක්ෂතා දැක්වූ කණ්ඩායම් දෙකක් ඊයේ එකිනෙකා සමග උරෙනුර ගැටුනේ සුප්‍රසිද්ධ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදීයි. එහිදී ප්‍රබල පිතිකරණ බල ඇණියක් සහිත නයිට් රයිඩර්ස් පිළ පැරදවූ මුම්බායි පිළ තරඟාවලියේ ප්‍රථම ජයග්‍රහණය තම කණ්ඩායමට නමට හිමි කර ගත්හ.

වර්තමානයේ බොහෝ විස්සයි විස්ස තරඟ වලදී සිදුවන පරිදි කාසියේ වාසිය දිනාගත් මුම්බායි නායකයා තීරණය කරන්නේ මුලින් පන්දු යැවීමටයි. ඒ අනුව ඉනිම ඇරඹූ නයිට් රයිඩර්ස් පිතිකරුවන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 178ක් රැස්කර ගත්හ. හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් ඇතුළත් වූ මනිෂ් පාණ්ඩේගේ ලකුණු 81 නයිට් රයිඩර්ස් ඉනිම ගොඩ නැගීමේදී බොහෝ සෙයින් වැදගත් විය. මනීෂ් තම ඉනිම වෙනුවෙන් වැයකළේ පන්දු 47ක් පමණි.

පන්දු යැවීමේදී වමත් දඟ පන්දු යවන ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යාට කඩුලු 3ක් හිමිවෙද්දී ශ්‍රී ලාංකික සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට කඩුලු 2ක් බිඳ හෙලීමට හැකිවිය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඉමහත් සේවයක් කර ඇති මාලිංග ඊයේ පන්දු යැවීම ආරම්භ කරන විටදී සමස්ථ වන්කඩේ ක්‍රීඩාංගණයම මාලිංගගේ නම කියමින් ප්‍රීති ඝෝෂා නැගුවේ ඔහුගේ ආගමනය පිලිබඳ සතුට පළ කරමිනි.

ප්‍රබල කල්කටා කණ්ඩායම හමුවේ ජයග්‍රහණය වාර්තා කිරීමේ අපේක්ෂාවෙන් පිටියට පිවිසි මුම්බායි ආරම්භක පිතිකරුවන් දෙදෙනා ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 65ක් එක් කිරීමට සමත් වූ නමුත් ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 5ක් ලකුණු 119ක් තුළදී බිඳ වැටුණි. ඒ වනවිට පන්දුවාර 16ක්ම ඉක්ම ගොස් තිබූ නිසා මුම්බායි පිතිකරුවන්ට තරගය ජය ගැනීමට නම් පන්දු 23ක් තුලදී ලකුණු 60ක් අවශ්‍ය කර තිබුණි.

මෙම අපහසු ඉලක්කය ලුහුබැඳීම වෙනුවෙන් සටන් වැදුනු නිතිශ් රනා පන්දු 29කින් තම අර්ධ ශතකය වෙත ලඟාවුනු අතර හාර්දික් පාණ්ඩ්‍යා ප්‍රවේගකාරී පිතිකරණයක නියැලෙමින් කල්කටා පිළේ ජයග්‍රහණය උදුරා ගන්නට සමත් විය. ඒ පන්දු 11කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 29ක් රැස්කර ගනිමිනි. පන්දු යැවීමේදී අන්කිත් රාජ්පුත් කඩුලු 3ක් බිඳ හෙලීය. තරගයේ වීරයා සම්මානය සුපිරි පිතිකරණයක යෙදුනු වමත් පිතිකරු නිතිශ් රනාට හිමිවිය.

කල්කටා නයිට් රයිඩර්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 178 (පන්දුවාර 20)
මනිෂ් පාණ්ඩේ 81*, ක්‍රිස් ලින් 32, ගෞතම් ගම්බීර් 19, සූර්‍යකුමාර් යාදෙව් 17, කෘනාල් පාණ්ඩ්‍යා 3/24, ලසිත් මාලිංග 2/36.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 6ක් දැවී ලකුණු 180 (පන්දුවාර 19.5)
නිතිශ් රනා 50, පාතිව් පටෙල් 30, හාර්දික් පාණ්ඩ්‍යා 29*, ජෝස් බට්ලර් 28, කිරාන් පොලාර්ඩ් 17, අන්කිත් රාජ්පුත් 3/37, සුනිල් නරෙයින් 1/22.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරගය අද (10) රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතව ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට