පන්දු 105කින් ලකුණු 214ක් උදුරා ගත් විස්මිත ප්‍රහාරය

2535
Delhi daredevils

අයි.පී.එල් 10 වැනි අදියරේ මෙතෙක් පැවැත්වුණු තරගවල දී දක්ෂතා අතරට පැමිණි නවක ඉන්දියානු ක්‍රීඩකයින් රාශියකි. නිතිශ් රානා, රාහුල් ත්‍රිපති සහ සන්ජු සැම්සන් ඒ අතර ඉදිරියෙන්ම කියැවෙන නම් කිහිපයකි. නමුත් ඊයේ (04) ෆෙරෝ ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවති තරගය නැරඹූ කිසිවෙකුත් නවක පිතිකරු රිශාබ් පන්ට්ව මෙම කුලකයට එකතු කිරීමට පසුබට නොවනු ඇත. ඒ ඔහු ගුජරාට් ලයන්ස් පන්දු යවන්නන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිළට ජයග්‍රහණය ගෙන ආ බැවිනි.

කල්කටාවට ජය අහිමි කළ ත්‍රිපතිගේ සුපිරි ඉනිම

තරගාවලිය පුරාවට දක්ෂතා අතර සිටි ප්‍රබල කණ්ඩායමක් වන කල්කටා නයිට් රයිඩර්ස් පිළ පරාජය කරමින්..

පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙසින් දිස්වුනු තණතීරුව මත දී කාසියේ වාසිය දිනා ගත් දිල්ලි වැඩ බලන නායක කරුන් නයර්ගේ තීරණය බවට පත්වූයේ ප්‍රථමයෙන් පන්දු යැවීමයි. ඒ අනුව පිටියට පිවිසි ගුජරාට් පිළේ ආරම්භක පිතිකරු දෙදෙනා වන බ්‍රෙන්ඩන් මැකලම් සහ ඩ්වේන් ස්මිත් කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 10ක් වන විට නැවත ක්‍රීඩාගාරයේ විවේක සුව විඳිමින් සිටියහ. නමුත් බිඳ වැටුණු ඉනිම ගොඩ නැගීමේ කාර්‍යය භාර ගත් ගුජරාට් නායක සුරේෂ් රයිනා සහ දිනේෂ් කාර්තික් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 133ක සුපිරි සබඳතාවයක් පිහිටවූහ.

මෙය ගුජරාට් ලයන්ස් පිතිකරුවන් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩ නැගූ ඉහළම ලකුණු සබඳතාවය ලෙසින් වාර්තා අතරට එක්විය. නායක රයිනාගේ පිත්තෙන් පන්දු 43 දී ලකුණු 77ක් ගලා ආ අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික් ද ඊට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කරමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 65ක් රැස් කළේය. ඔහුගේ සුපිරි ඉනිමට පන්දු 34ක් ප්‍රමාණවත් විය.

මෙම සුපිරි සබඳතාවයෙන් අනතුරුව ඒරෝන් ෆින්ච් (27) සහ රවින්ද්‍ර ජඩේජා (18*) කෙටි වේගවත් ඉනිම දෙකක් ක්‍රීඩා කිරීම නිසාවෙන් ගුජරාට් ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 208ක් දක්වා වර්ධනය විය. පන්දු යැවීමේ දී දකුණත් වේග පන්දු යවන ක්‍රීඩකයින් දෙපළක් වන කාගිසෝ රබාඩා සහ පැට් කමින්ස් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ගුජරාට් පිතිකරුවන් ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් ආරම්භ පිතිකරුවන් දෙදෙනා ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 24ක් එක් කළහ. කිසිවෙකුත් නොසිතූ පරිදි තරගය කණපිට හැරෙන විශිෂ්ට සබඳතාවය ගොඩ නැගෙන්නේ එතැන් සිටයි. 22 හැවිරිදි සන්ජු සැම්සන් සහ තවමත් 19 වැනි වියේ පසුවන රිශාබ් පන්ට් එම ඓතිහාසික සබඳතාවයේ කොටස්කරුවන් බවට පත්වූහ. ගුජරාට් පන්දු යවන්නන් අසරණ කරමින් ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගෙන ලකුණු සබඳතාවය 143කි.

ආරම්භක පිතිකරු සන්ජු සැම්සන් දැවැන්ත හයේ පහර 7ක් සමඟින් ලකුණු 61ක් වාර්තා කළේය. නවක පිතිකරුවෙකුගේ උපරිමය කැටිවුණු ඔහුගේ සටන්කාමී ඉනිමට වැයවුනේ පන්දු 31ක් පමණි. ගුජරාට් ලයන්ස් කණ්ඩායම දෙසට නැඹුරු වී තිබුණු ජයග්‍රහණය දිල්ලි කණ්ඩායම දෙසට හැරවූ රිශාබ් පන්ට් පන්දු 43කින් ලකුණු 97ක් ලබා ගත්තේය. කිසිදු අවස්ථාවක තම ප්‍රහාරය අඩාල නොකළ මෙම නව යොවුන් වමත් පිතිකරුවාගේ විශිෂ්ට ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහර 9කින් හැඩ ගැන්විණි.

දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක බැසිල් තම්පිගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික් අතට උඩ පන්දුවක් ලබා දී දැවී යාම නිසා රිශාබ්ට අයි.පී.එල් තරගයක ශතකයක් රැස්කළ ලාබාලතම පිතිකරුවා බවට පත්වීමේ අවස්ථාව මග හැරී ගියේය. ඒ ලකුණු 3ක් වැනි සුළු පරතරයකිනි. සන්ජු සහ රිශාබ් අතරේ ගොඩ නැගුණු සුපිරි සබඳතාවය නිමා වීමෙන් අනතුරුව දිල්ලි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට කුරේ ඇන්ඩර්සන් සහ ශ්‍රෙයාස් අයර් සමත් වූහ. ඒ ඉනිම අවසන් වීමට තවත් පන්දු 15ක් ඉතිරිව තිබිය දී දිල්ලි පිළේ මුළු ලකුණු සංඛ්‍යාව 214ක් බවට පත්කර ගනිමිනි.

මෙම පරාජයත් සමඟින් මීළඟ වටයට පිවිසීමට තිබූ අවසන් අවස්ථාව ද සුරේෂ් රයිනාගේ නායකත්වයෙන් යුතු ගුජරාට් ලයන්ස් පිළට අහිමි වී ගියේය. එමෙන්ම විරාත් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ද මේ වන විටත් නිල වශයෙන් තරගාවලියෙන් ඉවත් වී අවසන්ය. අයි.පී.එල් තරගාවලියේ අද (05) පැවැත්වෙන එකම තරගයට සහභාගි වීම සඳහා කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද රාත්‍රී 8ට එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයට පිවිසෙණු ඇත.

ගුජරාට් ලයන්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 208 (පන්දුවාර 20): සුරේෂ් රයිනා 77, දිනේෂ් කාර්තික් 65, ඒරෝන් ෆින්ච් 27, රවින්ද්‍ර ජඩේජා 18*, ඩ්වේන් ස්මිත් 9, කාගිසෝ රබාඩා 2/28, පැට් කමින්ස් 2/30, කුරේ ඇන්ඩර්සන් 1/36.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් – කඩුලු 3ක් දැවී ලකුණු 214 (පන්දුවාර 17.3): රිශාබ් පන්ට් 97, සන්ජු සැම්සන් 61, කුරේ ඇන්ඩර්සන් 18*, ශ්‍රෙයාස් අයර් 14*, කරුන් නයර් 12, රවින්ද්‍ර ජඩේජා 1/28, බැසිල් තම්පි 1/40, ප්‍රදීප් සංග්වාන් 1/43.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට