ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අවසාන මහා තරගයට

572

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ආරාධිත ජාත්‍යන්තර සිව්කොන් දැල්පන්දු තරගාවලියේ  තෙවන දිනයේ තරග අද (29) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති අතර ආසියාවේ ප්‍රබලම කණ්ඩායම් දෙකක් වන ශ්‍රී ලංකා කණ්ඩායම හා සිංගප්පූරු කණ්ඩායම පහසු ජයග්‍රහණ වාර්තා කිරීමට අද සමත් විය.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකා සංවර්ධන හා එංගලන්තයේ PStar ක්‍රීඩා සමාජය යන කණ්ඩායම් එක්වී සිටියි.

‘Round Robin’ ආකෘතියට අනුව සියලුම කණ්ඩායම් එකිනෙකා හමුවන සේ තරගාවලිය ක්‍රියාත්මක වන අතර මෙතෙක් පැවති අතර වලින් ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුව හා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමත්, සිංගප්පූරුව PStar කණ්ඩායමත්, ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම PStar කණ්ඩායමත් පරාජය කිරීමට සමත්ව තිබුණි.

ශ්‍රී ලංකා හා සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට පහසු ජයග්‍රහණ

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන ආරාධිත ජාත්‍යන්තර සිව්කොන් දැල්පන්දු..

අද දිනයේ පැවති තරග දෙක අතරින් ඉතාම වැදගත් වූයේ ශ්‍රී ලංකා සංවර්ධන හා සිංගප්පූරුව අතර තරගය යි. ඒ එම තරගය ජය ගන්නා කණ්ඩායම හෙට (30) ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබන හෙයිනි.  

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එංගලන්ත ක්‍රීඩිකාවන් අසරණ කරති

දිනයේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්තයේ PStar කණ්ඩායම තරග වැදුණු අතර අත්දැකීම් බහුල ප්‍රබල ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 97-13ක් ලෙස පහසුවෙන් තරගය ජය ගැනීමට සමත් විය.  

පළමු කාර්තුව පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුවත් ඊයේ සිංගප්පූරුවට එරෙහිව ක්‍රීඩා කළ විලාසයට වඩා දැඩි උනන්දුවකින් PStar ක්‍රීඩිකාවෝ ක්‍රීඩා කරනු දක්නට ලැබුණි.

ගෝල විදින්නියන් කිහිප වතාවක්ම නිවැරදිව පැස තුලට පන්දුව යොමු කිරීමට අසමත් වීම ඔවුන්ට විශාල අවාසියක් වූ නමුත් PStar කණ්ඩායම සිදු කළ නව ක්‍රීඩිකාවන් සංකලනයක් අත්හදා බැලීම යම්තාක් දුරට සාර්ථක විය.

එක් අතකට PStar ක්‍රීඩිකාවෝ ගෝල ලබා ගැනීම් සාර්ථක ලෙස අවසන් කරන්නට අසමත් වූ අතර දර්ශිකා අබේවික්‍රම ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලද සෑම අවස්ථාවක දී ම පාහේ ලකුණු රැස් කිරීමට සමත් විය. පළමු කාර්තුව ලකුණු 22-02ක් ලෙස අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

දෙවන කාර්තුව ආරම්භයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වේගවත් ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ අතර ශ්‍රී ලංකා ගෝල විදින්නියක් වූ එලිලෙන්තිනි එංගලන්ත ගෝල රකින්නියට වඩා ඉතා උස වීම ශ්‍රී ලංකාවට විශාල වාසියක් විය. ෆාරාහ් හා ලෝරා පැලට්ගේ සංකලනය PStar කණ්ඩායම වෙනුවෙන් දෙවන කාර්තුවේ දී ද කැපී පෙනුණි.

PStar කණ්ඩායමේ ක්‍රීඩා විලාසය වෙනස් කිරීමට දායක වූ ක්‍රීඩිකාව වූ ෆාරාහ් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් හා ගැටී ආබාධයකට ලක්වීම ඔවුන්ට මහත් අවාසියක් විය. ලද කෙටි විවේකයෙන් පසු ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය වේගය වැඩි කර ගනිමින් පිට පිට ගෝල රැස්කර ගත් අතර මුළු ලකුණු 45-05ක් ලෙස පළමු අර්ධය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තෙවන කාර්තුවට ශ්‍රී ලංකා කණ්ඩායම තර්ජිනී සිවලිංගම් ප්‍රමුඛ සිය ප්‍රබලම කණ්ඩායම ඉදිරිපත් කළ අතර තෙවන කාර්තුව එතරම් මහන්සියකින් තොරවම ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තර්ජිනීගේ පන්දු පැස වෙතට යොමු කිරීම් ඉතා විශිෂ්ට මට්ටමක තිබූ අතර වරින්වර PStar ක්‍රීඩිකාවන් ගෝල වලල්ල ආසන්නයට පැමිණීමට සමත්වුවත් බොහෝ අවස්ථාවල ලකුණු සමඟින් ඔවුන්ගේ අර්ධයට යන්නට ඔවුන් අසමත් විය. දෙවන කාර්තුවේ ෆාරාහ්ගේ අහිමි වීමෙන් පසුබෑමකට ලක්වූ එංගලන්ත ක්‍රීඩිකාවන්ට එරෙහිව තෙවන කාර්තුවේ සිත් සේ ලකුණු රැස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර තෙවන කාර්තුව අවසානයේ මුළු ලකුණු 74-7ක් ලෙස දිස්විය.

සිව්වැනි කාර්තුවේ දී ආබාධයට ලක්වී සිටි PStar ක්‍රීඩිකා ෆාරාහ් නැවතත් පිටියට පිවිසුණු අතර ශ්‍රී ලංකාව තර්ජිනී වෙනුවට එලිලෙන්තිනි නැවත වරක් ගෝල විදින්නියන් අතරට එක්කර තිබිණි.

ෆාරාහ්ගේ නැවත ආගමනයත් සමඟ එංගලන්ත ක්‍රීඩිකාවෝ ඉතා ඉහළ ක්‍රීඩාශීලි බවකින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණි. කැරොලයින් හැමිල්ටන් අද තරගයේ දී ගෝල කිහිපයක්ම අතපසු කළ අතර එය ද ඔවුන්ට අවාසියක් විය.

ඉතා ඉවසීමෙන් හා සංවිධානාත්මක ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිව්වැනි කාර්තුවේ දී තවත් ලකුණු 23ක් එක් කරගනිමින් මුළු ලකුණු 97-13 ලෙස තරගය ජය ගැනීමට සමත් වූහ. ඊයේ දිනට වඩා පැහැදිලි ක්‍රීඩාශීලි බවක් පෙන්වීමට PStar ක්‍රීඩිකාවෝ සමත් වූයේ සිව්වැනි කාර්තුවේ ගෝල හයක් වාර්තා කරගනිමිනි.  

කණ්ඩායම පළමු කාර්තුව දෙවන කාර්තුව තෙවන කාර්තුව සිව්වන කාර්තුව මුළු ලකුණු
ශ්‍රී ලංකාව 22 23 29 23 97
PStar 2 3 2 6   13

Match Replay – Sri Lanka v PStar Netball Club – Quadrangular Netball Tournament

Sri Lanka takes on PStar Netball Club in the Invitational…

ශ්‍රී ලංකා පොඩ්ඩෝ සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට හොඳ සටනක් දෙති

දිනයේ දෙවන තරගය ලෙස ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා සිංගප්පූරු කණ්ඩායම තරග වැදුණු අතර කණ්ඩායම් දෙකටම මේ තරගය ඉතා වැදගත් වූයේ මෙම තරගය ජය ගන්නා කණ්ඩායම හෙට ශ්‍රී ලංකාව සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන හෙයිනි.

පළමු කාර්තුව ආරම්භයේම පළමු ගෝලය ලබා ගැනීමට ශ්‍රී ලංකා සංවර්ධන ක්‍රීඩිකාවෝ සමත් වූ නමුත් ඉන්පසු සිංගප්පූරු ක්‍රීඩිකාවන් සිය වේගවත් ක්‍රීඩා රටාව ආරම්භ කළේ මදවේලාවක් යනතුරු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අන්දමන්ද කරමිනි.

ශ්‍රී ලංකාව හමුවේ සිංගප්පූරුව හා එංගලන්තය පරදී

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය (NFSL) විසින් සංවිධානය කරනු ලබන ආරාධිත ජාත්‍යන්තර…

සිංගප්පූරු ක්‍රීඩිකාවන්ගේ රිද්මය ටිකෙන් ටික හඳුනා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ද ලකුණින් ලකුණ එකතු කර ගත් අතර ඔවුන් සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට සිත් සේ ලකුණු රැස් කර ගැනීමට ඉඩ ලබා දුන්නේ නැත. ලකුණු පරතරය එතරම් වැඩිවෙන්නට ඉඩ නොදී ශ්‍රී ලංකා සංවර්ධන ක්‍රීඩිකාවන් ක්‍රීඩා කළ අතර වේගවත් හා අත්දැකීම් බහුල සිංගප්පූරු ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා පන්දු යොමු කිරීම්වලට සාර්ථක ලෙස මැදිහත් වී පන්දුව උදුරා ගැනීමට සමත් විය. ඉතා තියුණු තරගයකට මග විවර කරමින් පළමු කාර්තුව ලකුණු 21-10ක් ලෙස අවසන් විය.

දෙවන කාර්තුවේ පළමු ගෝලය සිංගප්පූරු ක්‍රීඩිකාවන් ලබා ගත් අතර ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකා සංවර්ධන ක්‍රීඩිකාවන් ද ලකුණක් ලබා ගනිමින් තරගයට අවතීර්ණ විය.

ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ප්‍රධානතම ගැටලුව වූ අතර ගෝල විදින්නිය වූ මෙලනි විජේසිංහ හට පන්දු යොමු කිරීමේ දී සුළු සුළු අතපසු වීම් සිදු කිරීම ඔවුන්ට අවාසියක් විය.

දෙවන කාර්තුවේ පළමු මිනිත්තු පහ පුරා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 4-5ක් ලෙස හොඳ තරගයක් දුන් නමුත් සිංගප්පූරු ක්‍රීඩිකාවෝ ඉතා ඉක්මනින් නැවතත් සිය වේගවත් ක්‍රීඩා විලාසයට පිවිසුණි. ගෝල විදින ක්‍රීඩිකාව වූ ලි පේ ශැන්ග්ගේ ඉලක්කය ඉතා ඉහළ මට්ටමක පැවති අතර පළමු අර්ධය අවසානයේ ලකුණු 41–19ක් ලෙස සිංගප්පූරු කණ්ඩායම ඉදිරියෙන් පසුවිය.

තෙවන කාර්තුවේ කණ්ඩායම් දෙකම නව ක්‍රීඩිකා ආදේශනයක් කරමින් තරගය ආරම්භ කළ අතර සිංගප්පූරුව පළමු මිනිත්තුවේ සිටම සිය වේගවත් පාද චලනයන්ට පිවිසීමට සමත් විය.

මේ කාර්තුවේ දී නම් සිංගප්පූරුවට එතරම් තර්ජනයක් එල්ල කිරීමට සංවර්ධන ක්‍රීඩිකාවෝ සමත් වූයේ නැත. සිංගප්පූරු වේගවත් පන්දු යොමු කිරීම් හඳුනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නොහැකි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිංගප්පූරු ක්‍රීඩිකාවෝ මේ කාර්තුවේ දී ලකුණු 17ක් රැස්කර ගැනීමට සමත් විය. තෙවන කාර්තුව අවසානයේ සිංගප්පූරුව මුළු ලකුණු 58-25ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

සිව්වැනි හා අවසාන කාර්තුව ඉතා තරගකාරී කාර්තුවක් වූ අතර කණ්ඩායම් දෙකම හොඳින් පිටියේ ස්ථාවර වී සිටි බවත් දක්නට ලැබුණි. කණ්ඩායම් දෙකම හොඳින් ක්‍රීඩා කළ නමුත් වඩා වේගවත් සිංගප්පූරු ක්‍රීඩිකාවෝ පැහැදිලි වාසියක් අත්කර ගන්නා බව කැපී පෙනුණි. පෙර කාර්තු තුනට වඩා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉතා හොඳින් ක්‍රීඩා කරන කරද්දී ඉතා ඉවසීමෙන් ලකුණු රැස්කළ සිංගප්පූරු ක්‍රීඩිකාවෝ අවසාන කාර්තුවේ ලකුණු 22ක් රැස්කර ගනිමින් හෙට පැවැත්වෙන අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.  

කණ්ඩායම පළමු කාර්තුව දෙවන කාර්තුව තෙවන කාර්තුව සිව්වන කාර්තුව මුළු ලකුණු
ශ්‍රී ලංකා සංවර්ධන 10 9 6 9 34
සිංගප්පූරුව 21 20 17 22 80

Match Replay – Sri Lanka v Sri Lanka Development – Quadrangular Netball Tournament

Sri Lanka takes on Sri Lanka Development team in the….

ආරාධිත ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලියේ අවසාන මහා තරගය හෙට ශ්‍රී ලංකා කණ්ඩායම හා සිංගප්පූරු කණ්ඩායම අතර පැවැත්වෙන අතර එම තරගය ද සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟන්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<