යන්නෙ දුකෙන් තමයි ඒත් අහන ඒවට හිනහත් යනවා – කුමාර් සංගක්කාර

135

වසර 15ක ටෙස්ට් දිවියට ඊයේ සමුදුන් කුමාර් සංගක්කාරට ජයග්‍රාහී මානසිකත්වයෙන් ක්‍රීඩා පිටියෙන් ඉවතට යන්නට තම කණ්ඩායමේ සගයන් කටයුතු නොකළ අතර, ඒ නිසාම නොව ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ තම අවසන් ටෙස්ට් තරගය ලෙස ඊයේ දිනය සටහන් වීම සංගක්කාරට දරාගත නොහැකි වූ බව පෙනිණි.

රාජ්‍ය මට්ටමෙන් ලැබුණු ගෞරවාචාර මධ්‍යයේ සංගක්කාර එසේ සමුගැනීමෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස අවසන් වරට ඊයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් කියා සිටියේ මෙම අවස්ථාවේදී දුක වේදනාව මුසු වූ හැඟීම්බර ගතියක් සිතට දැනුණද තවත් අතකින් බලන විට අදින් පසුව සැහැල්ලුවක් දැනෙන බවද පැවැසීය.


බොහෝ ක්‍රීඩකයන් තමන්ගේ අවසන් ටෙස්ට් තරගයේදී ඉහළ දක්‍ෂතා සමඟින් සමුගන්නට අවස්ථාව සලසා ගත්තද තමන්ට එම අවස්ථාව අහිමි වීම ගැන කනගාටුවක් දැනෙන බව කී සංගක්කාර අවසන් මොහොතේ ජනාධිපතිවරයා විසින් තමන්ට කළ යෝජනාව ඇසුණු විට තමන් පුදුමයට පත්වූ බවද කීය.
ඒ පිළිබඳව “මව්බිම” සංගක්කාරට මෙසේ ප්‍රශ්නයක් යොමු කළේය.


බොහෝ විට මින් පෙර ජනාධිපතිවරුන් විසින් විදේශීය රටවල මහ කොමසාරිස්වරුන් ලෙස පත්කරන ලද්දේ දේශපාලනයෙන් පරාජය වූ අයයි. එහෙත් ඔබට මේ යෝජනාව කරලා දේශපාලනයට එන්න කියලා පසුව යෝජනා කළොත්?
(සිනාසෙමින්…) “තවම එක යෝජනාවයි ලැබිලා තියෙන්නේ. දෙවැනි යෝජනාව තවම ආවේ නැහැ. අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමට මම ගරු කරනවා. මට ඒ අතින් අත්දැකීම් අඩුයි. ඒක මම තවදුරටත් ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පිළිතුරු දුන්නේය.


මාධ්‍යවේදීන්ගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් අදහස් දැක්වූ සංගක්කාර කියා සිටියේ තමන් සර් ඩොන් බ්‍රැඩ්මන් සමඟ සංසන්දනය කිරීම විහිළුවක් වන්නට පුළුවන් බවත්, ක්‍රීඩාවේ තාක්‍ෂණය දියුණු මෙවන් කාලයක බ්‍රැඩ්මන් ක්‍රීඩා කළා නම් ඊටත් වඩා හොඳ ලකුණු සාමාන්‍යයක් ඔහුට ලබාගන්නට තිබුණු බවත් කියා සිටියේය. විශේෂයෙන්ම තම පවුලේ සියලු දෙනාම එක්ව තමාගේ අවසාන තරගය නැරැඹීමට පැමිණීම අමතක නොවන මොහොතක් වූ බව පැවැසූ සුපිරි වමත් පිතිකරුවා “මගේ අම්මාත්, තාත්තාත් පළමු වතාවට මම ක්‍රීඩා කරන ටෙස්ට් තරගයක් නරඹන්න බිරිය සහ දරුවන් දෙදෙනාත් සමඟ ඇවිත් හිටියා. ඒකත් මට අමතක වෙන්නේ නැහැ.

මම කුඩා කාලයේ ටෙනිස් ක්‍රීඩාවටත් දස්කම් දැක්වූවා. මගේ මවුපියෝ මගේ ජීවිතයටත් ක්‍රිකට් දිවියටත් සහයෝගය දැක්වීම මගේ සාර්ථකත්වයේ රහසයි. ඒ විදියට ගෙදර හදපු අඩිතාලම මත තමයි මෙතරම් දුරක් ආවේ. විශේෂයෙන්ම මගේ බිරියයි, දරුවෝ දෙන්නයි පසුගිය අවුරුදු 15 තුළ මගේ පිටුපස සිටියා. ඒ සියලු දෙනාගේම සහයෝගය කැපවීම නිසා තමයි මේ තැනට ඇවිල්ල ඉන්නේ. මගේ ළමයි දෙන්නත් බිරියත් මගේ ක්‍රිකට් වගේම මගේ ජීවිතයට සාර්ථක සබඳතා ගොඩනඟන්න දායක වූ අය බව කියන්න ඕන” යනුවෙන් පැවැසීය.


තිබූ පීඩනය හා වෙහෙස අතින් බලද්දී ඉදිරියේදී ඉන් මිදී සිතට යම් සැහැල්ලුවක් දැනෙන බව කී සංගක්කාර ක්‍රීඩා කිරීමේ ආශාව තවමත් තිබෙන නිසා ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීම බලා සිටීම ලෙහෙසි කරුණක් නොවනු ඇතැයිද පැවැසීය. එහෙත් ඒ දේ පුරුදු විය යුතු බව කී හිටපු නායකයා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයේ ඉහළ තැනකට ගෙන යා හැකි තරුණ කණ්ඩායමක් සිටින බවට විශ්වාසය පළ කළේය.