ලොව දක්‍ෂතම වෙඩිතැබීමේ කණ්ඩායම ශ්‍රී ලංකාව

311
International Metallic Silhouette Shooting

දකුණු අප‍්‍රිකාවේ පැවැති 12 වැනි ජාත්‍යන්තර ලෝහක ඡායා වෙඩිතැබීමේ තරගාවලියේ (International Metallic Silhouette Shooting Union (IMSSU) කුඩා සිදුරු සැහැල්ලු රයිෆල් සහ කුඩා සිදුරු ඡායා රයිෆල් ඉසව්වේ විශිෂ්ට දක්‍ෂතා දක්වමින් එම ඉසව්වේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තරගාවලිය ඉකුත් 02 වැනිදා සිට 16 වැනිදා දක්වා බ්ලුපොන්ටන්හිදී පැවැති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි විය.

ලෝක ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත තරගාවලියේදී, රන් පදක්කම් 18ක්, රීදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කම් 11ක් සමගින් පදක්කම් 38ක් දිනාගැනීමට සමත්විය.

එහිදී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් සහභාගි වූ කපිතාන් පී.කේ.ජී.එස්. ගයංග සමස්ත තරගාවලියේදී රන් පදක්කම් 08ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් සුවිශේෂී දක්‍ෂතා දැක්වීමට සමත්වූ අතර, ඒ හේතුවෙන් ඔහු කුඩා සිදුරු සැහැල්ලු රයිෆල් සහ කුඩා සිදුරු ඡායා රයිෆල් ඉසව්වේ ලොව අංක එකේ වෙඩි තැබීමේ ශූරයා බවට පත් විය.

ඔහුට අමතරව කණ්ඩායමේ කළමනාකරු සහ ක්‍රීඩක ලෙස සහභාගි වූ මේජර් සංජීව රත්නායක රන් පදක්කම් 05ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 05ක්ද, යුද හමුදා බලලත් නිලධාරී නන්දන වීරසිංහ රන් පදක්කම් 04ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 03ක්ද, කණ්ඩායම් නායක බි‍්‍රගේඩියර් සුදර්ශන වැලිකල රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02ක්ද, කෝප‍්‍රල් රොෂාන් ගුණවර්ධන රිදී පදක්කමක්ද දිනාගැනීමට සමත් වූහ.

ඔවුන්ට අමතරව තරගාවලියේ කනිෂ්ඨ අංශය නියෝජනය කරමින් සහභාගි වූ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ඉෂාර අඹේපිටිය රිදී පදක්කම් 02ක් දිනාගැනීමට සමත් විය.

මෙවර තරගාවලිය සඳහා ප්‍රංශය, ජර්මනිය, නවසීලන්තය, නෝර්වේ, ෆින්ලන්තය හා සත්කාරක දකුණු අප්‍රිකාව ඇතුළු තවත් රටවල් කිහිපයකින් කණ්ඩායම් සහභාගි විය. ඔවුන් අතරින් අනුශූරතාව ප්‍රංශය විසින් දිනාගත් අතර, සත්කාරක දකුණු අප්‍රිකාවට එහි තෙවැනි ස්ථානය හිමිවිය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී, කුඩාසිදුරු සැහැල්ලු ඡායා රයිෆල් වෙඩිතැබීම, කුඩාසිදුරු සැහැල්ලු ඡායා විවෘත රයිෆල් වෙඩිතැබීම, විශාල සිදුරු දඩයම් රයිෆල් වෙඩිතැබීම, වායු රයිෆල් සහ වායු පිස්තෝල වෙඩිතැබීම යන තරග ඉසව් යටතේ තරග කළේය.

ලෝක ශූර ශ‍්‍රී ලංකා කණ්ඩායම ජුලි 18 දිවයිනට පැමිණි අතර, ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ සභාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් නියෝජනය කරමින් ක්‍රීඩා ව්‍යාපෘති නිලධාරී ඒ. කොස්තා යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදාව සහ ජයග්‍රාහී කණ්ඩායමේ පවුල්වල සාමාජිකයෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට