ප්‍රේමනායක, ගැමුණු හේවායන්ට ශූරතාවය ගෙනෙයි

657
Inter Regiment football finals

අන්තර් රෙජිමේන්තු පාපන්දු තරගාවලිය තමන් සතුකරගත් ගැමුණු හේවා බලකාය, ගෝල 2 – 0ක් වශයෙන් සේවා බලකාය පරාජය කරමින් අද (09) ජය ගත්තේය. අවසන් මහා තරගය පැවැත්වුණේ තුරඟ තරග පිටියේදී යි.

ගැමුණු හේවා බලකාය සහ සේවා බලකාය අවසන් මහා තරගයට

බුද්ධි අංශ සේවා බලකා කණ්ඩායම (MIC) පරාජයට පත්කරමින් ගැමුණු හේවා බලකා කණ්ඩායමත් (GW),

බුද්ධි අංශ සේවා බලකා කණ්ඩායම පරාජයට පත්කරමින් ගැමුණු හේවා බලකා කණ්ඩායමත්, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම  පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා කණ්ඩායමත් 2017 ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබුණි.

තරගය ආරම්භ වී බොහෝ වේලාවක් යනතුරු දෙපිලේම ක්‍රීඩකයන් පන්දුව තමන් සන්තකයේ තබා ගැනීමේ දුර්වලකම් ප්‍රදර්ශනය කරන්නට විය. එහෙත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී පමණක් යුධ හමුදා සේවා බලකාය ඉදිරියෙන් සිටි බව කිව යුතුය.

16 වැනි මිනිත්තුවේදී සේවා බලකාය වෙනුවෙන් මධුශාන් ද සිල්වා එල්ල කළ පහරක් ගෝලය තුළට යන්නට ඉඩ නොදී රැක ගැනීමට ගැමුණු හේවා බලකායේ ගෝල රකින්නා වූ එස්. ප්‍රියශාන් සමත් විය. මෙම තරගයට පෙර මදුශාන් විසින් මෙම තරගාවලියේදී රැස්කොට තිබූ ගෝල සංඛ්‍යාව 7කි.

ගැමුණු හේවා බලකායෙන් ආක්‍රමණයක් දිස්වූයේ 28 වැනි මිනිත්තුවේදීයි. ප්‍රතිවාදී ගෝල රකින්නා වූ සිරිසේන වෙත එල්ල කරන ලද පහර වේගවත් එකක් නොවීය. 32 වැනි මිනිත්තුවේදී සේවා බලකාය වෙනුවෙන් මධුශාන් ද සිල්වා යළිත් උත්සාහයක් ගත් අතර එයද ව්‍යර්ථ විය.

34 වැනි මිනිත්තුවේදී එස්. ප්‍රියශාන් විසින් තවත් පහරක් නැවත්විණි. 36 සහ 38 යන මිනිත්තුවලදීත් මධුශාන් දිගු පහරවල්වලින් ගෝල ලබා ගැනීමට උත්සාහ කළ නමුත් ඒ සෑම උත්සාහයක්ම ව්‍යර්ථ විණි. පළමු අර්ධයේ හොඳම අවස්ථාව 40 වැනි මිනිත්තුවේදී සේවා බලකායේ සමීල් වෙත ලැබුණු අතර ඔහුගෙන් එල්ල වූ පහසු පහර ප්‍රියශාන් විසින් පහසුවෙන් වළකාලනු ලැබීය.

පළමු අර්ධය – ගැමුණු හේවා බලකාය 0 – 0 සේවා බලකාය     

දෙවන අර්ධයට සම්පූර්ණයෙන්ම වෙනස් ආගමනයක් සිදු කළ ගැමුණු හේවා බලකාය පන්දුව රැගෙන ඉදිරියට ඇදිණි. පළමු උත්සාහය සිරිසෝම විසින් ගත් අතර එය සාර්ථක නොවීය. නමුත් ඒ මොහොතේම උත්සාහය අත්නොහැරි කේ. ප්‍රේමනායක ගෝලයක් වාර්තා කරමින් ගැමුණු හේවායන් ඉදිරියට ගෙන ගියේය.

50 වැනි මිනිත්තුවේදී සේවා බලකායට ලැබුණු නිදහස් පහරක් ප්‍රතිවාදී ගෝලයේ හරස් දණ්ඩේ වැදී යළි පිටතට එද්දී ප්‍රහාරකයෙකු විසින් හිසින් පහරක් එල්ල කළත් එම අවස්ථාව ඔවුන්ට මඟහැරිණි.

53 වැනි මිනිත්තුවේදී ගැමුණු හේවා බලකාය වෙනුවෙන් සිරිසෝම තවත් අවස්ථාවක් නිර්මාණය කළ අතර එහි සාර්ථක ප්‍රතිඵල ඔවුනට අත්හැරිණි. 68 වැනි මිනිත්තුවේදී සිරිසේන විසින් එල්ල කරන ලද පහරක් ප්‍රියශාන් විසින් නවතාලනු ලැබිණි.

79 වැනි මිනිත්තුවේදී ප්‍රතිවාදී ගෝල කවය ආක්‍රමණය කළ ප්‍රේමනායක තවත් ගෝලයකින් ලකුණු පුවරුව වෙනස් කළේය. ඉන් පසුව තරගය අවසන් වනතෙක්ම සේවා සෙබළුන් කොතෙක් උත්සහ දැරුවත් ඔවුන්ගේ පන්දු පාලනය පළමු අර්ධයේ තරම් සාර්ථක නොවීය.

සම්පූර්ණ කාලය – ගැමුණු හේවා බලකාය 2 – 0 සේවා බලකාය

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්

කේ. ප්‍රේමනායක (ගැමුණු) – 47′, 79′.

දඬුවම් කාඩ්පත්

කහ කාඩ්පත්

ප්‍රියදර්ශන (සේවා බලකාය) – 65′

විදුරංග (සේවා බලකාය) – 69′

සිරිසෝම (ගැමුණු හේවා බලකාය) – 90 + 1

රතු කාඩ්පත්

කසුන් ප්‍රදීප් – 90′, 90 + 3        

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට