ඉඳුනිල් හේරත් වාර්තා පොත් අතරට

128
Indunil Herath & Gayanthika Abeyrathne

තුර්කිමේනිස්ථානයේ අෂ්ගබාත් නුවර දී පැවැත්වෙන 6 වන ආසියානු ගෘහස්ථ හා සටන් කලා තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව්වල ආරම්භක දිනයේ දී පිළිවෙළින් පිරිමි හා කාන්තා මීටර 800 ධාවන ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ඉඳුනිල් හේරත් සහ ගයන්තිකා අබේරත්න ඔවුන්ගේ ඉසව්වල පළමු වටයේ තරගවල ප්‍රථම ස්ථාන දිනා ගනිමින් මීළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

ආසියානු ගෘහස්ථ හා සටන් කලා තරගාවලියට 21ක්

5 වන වරට පවත්වනු ලබන ආසියානු ගෘහස්ථ හා සටන් කලා තරග මාලාව (AIMAG) මෙම මස 18 වන දා සිට 20..

මීටර 800 පළමු වටයේ දෙවන තරග වටය සඳහා සහභාගී වූ ඉඳුනිල් හේරත් එහි දී තරගයට ඉතා හොඳ ආරම්භයක් ලබා ගන්නට සමත් විය. කසකස්තානය නියෝජනය කරමින් තරගය සඳහා සහභාගී වූ කුර්ෂිජන් අක්මාදලෙව්, ඉඳුනිල් හට අභියෝගයක් එල්ල කිරීමට උත්සාහ කළ ද, ඉඳුනිල් ඔහුගේ සුපුරුදු රිද්මයට පැමිණීම නිසා එම උත්සාහය අසාර්ථක විය. එහි දී ඉඳුනිල් තරගයේ මීටර 400ක දුර තත්පර 55.89ක දී සම්පූර්ණ කිරීමට සමත් විය.

අනතුරුව තරගයේ දෙවන වටයේ දී සිය වේගය ඉහළ නැංවූ ඔහු තරගය මිනිත්තු 1:53.79ක දී අවසන් කිරීමට සමත් වූයේ මීටර 800 ඉසව්ව සඳහා නව ශ්‍රී ලංකා ගෘහස්ථ වාර්තාවක් පිහිටුවමිනි. එහි දී ඔහු බිඳ දැමීමට සමත් වූයේ ඊට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේ රේනෝ හිදී පැවති බිල් කොස්බි ආරාධිත තරගාවලියේ දී කුමාර අමරසේකර විසින් මිනිත්තු 1:57.11ක කාලයක් වාර්තා කර ගනිමින් පිහිටුවනු ලැබූ වාර්තාවයි. එමෙන්ම එහි දී පළමු වටය යටතේ පැවති තරග වට හතර අවසානයේ හොඳම කාලය වාර්තා කර ගැනීමට ඉඳුනිල් සමත්ව තිබූ අතර ඒ අනුව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩකයින් 12 දෙනාගේ ලැයිස්තුවේ මේ වන විට ඔහු ඉහළින්ම රැඳී සිටී. ඉඳුනිල් සහභාගී වන අවසන් පූර්ව වටයේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (19) ප.ව. 07.15ට ආරම්භ වීමට නියමිතයි.

මීටර 800 කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන ගයන්තිකා අබේරත්න ඇය සහභාගී වූ පළමු වටයේ තරගය ජයග්‍රහණය කරමින් තරගයේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් විය. එහි දී පළමු තරගය සඳහා සහභාගී වූ ඇය ඉසව්ව අවසන් කිරීම සඳහා වැය කළ කාලය මිනිත්තු 2:12.93ක් ලෙස සටහන් විය. ඒ අනුව මේ වන විට නිමාලි ලියනආරච්චි සමඟින් එක්ව මීටර 800 කාන්තා ඉසව්වට නව ජීවයක් එක්කරන්නට ගයන්තිකා සමත්ව ඇත. මෙහි දී ගයන්තිකා ද අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අතර ඇය සහභාගී වන අවසන් තරගය එළඹෙන 20 වන දින ප.ව. 07.15ට ආරම්භ වනු ඇත.

මේ ආකාරයට ඉඳුනිල් සහ ගයන්තිකා තම ඉසව්වල හොඳම කාලය වාර්තා කර ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු ඉහළ ගොස් ඇති අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ (AASL) සභාපති ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ඔවුන් දෙදෙනාගේ මෙම දස්කම් වෙනුවෙන් ඔවුන්ට සුබ පැතුම් එක්කර සිටි අතර ඔවුන් එම ඉසව්වල දී රන් පදක්කම් දිනාගනු ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අපේක්‍ෂා කරන බව ද ඔහු පවසා සිටියේ ය.

ThePapare.com සමඟින් අදහස් දැක්වූ තේරීම් කමිටුවේ සභාපති, ජාතික වාර්තාකරු සමන් කුමාර මහතා ප්‍රකාශ කර සිටියේ;

“ඔවුන් දෙදෙනාම ඉහළ දස්කම් දැක්වූවා. අපේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තියෙන එකම අවාසිය තමයි ඔවුන් ගෘහස්ථ ධාවන පථවලට එතරම් පුරුදු නැති එක. ගෘහස්ථ ධාවන පථ තියෙන්නේ මීටර 200 ධාවන පථ විදිහට. මේ ගයන්තිකා ගෘහස්ථ ධාවන පථයක තරග වැදුණ පළවෙනි වතාව. ඉඳුනිල් මීට පෙර පැවති ආසියානු ගෘහස්ථ තරගාවලිය සඳහා සහභාගී වුනා. ගයන්තිකා ක්‍රීඩාවට එන්නේ සූරියවැවෙන්. ඉඳුනිල් වලල ප්‍රදේශයෙන්. එහි දී ඔවුන් බොහෝ විට පුහුණුවීම්වල නිරත වුනේ මීටර 200 ධාවන පථෙවල. ඒ නිසා ඔවුන්ට ඒක වාසියක් වෙන්න ඇති. කොහොම වුනත් අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් පදක්කමක් දිනා ගනියි කියලා.”

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<