ධනංජය ඉන්දියාව සමඟ තරගයෙන් ඉවතට?

ICC Cricket World Cup 2023

955
Dananjaya De Silva, Sri Lanka Cricket, ICC Cricket World Cup 2023, CWC23, Angelo Mathews, Dushan Hemantha, Dunith Wellalage, Injury, Sadeera Samarawikrama, India, Wankhede Stadium, BCCI, India Cricket, Afghanistan, Netherlands, Asia Cup 2023 , Featured, Free, Cricket

හෙට (02) ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගයෙන් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු ධනංජය ද සිල්වා ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වනවා.

පසුගිය සඳුදා (30) ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු තරගයෙන් කඩුලු 07ක පරාජයකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) සවස මුම්බායි හි Wankhede ක්‍රීඩාංගණයේ දී පුහුණු සැසියකට සහභාගී වුනා.

ඔවුන් හෙට දිනයේ දී සත්කාරක ඉන්දියාව සමඟ මෙම ක්‍රීඩාංගණයේ දී ම තරග වැදීමට නියමිත අතර, මෙම තරගයේ දී ධනංජයට සිය ස්ථානය අහිමි වී යනු ඇති බවයි වාර්තා වන්නේ.

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 88ක් ක්‍රීඩා කරමින් 25ක පමණ පිතිකරණ සාමාන්‍යයක් සහිතව ක්‍රීඩා කරන ධනංජය මෙවර තරගාවලියේ මෙතෙක් ඉනිම් පහක දී ලබා ගැනීමට සමත් වී ඇත්තේ ලකුණු 87ක් (11, 25, 7, 30 සහ 14) පමණයි. එමෙන්ම දඟපන්දු යවන්නෙකු ලෙස ද ඔහු මෙතෙක් තරගාවලියේ එකඳු කඩුල්ලක් හෝ දවා ගැනීමට සමත් වී නැහැ.

මේ අනුව ධනංජයගේ පිතිකරණ ස්ථානය වූ අංක හයේ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කරනු ඇති බවත්, ඇෆ්ගනිස්තානය සමඟ තරගයේ දී මැතිව්ස් ක්‍රීඩා කළ අංක හත පිතිකරණ ස්ථානය දුනිත් වෙල්ලාලගේ හෝ දුශාන් හේමන්ත විසින් පුරවනු ඇති බවත් ThePapare වෙත වාර්තා වනවා.

නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමඟ පැවැත්වුණු සුපිරි හතර වටයේ තරගයේ දී දුනිත් විසින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර, ඔහු එහි දී පිත්තෙන් ලකුණු 42ක් ද වාර්තා කිරීමට සමත් වුනා.

නමුත් මෙවර තරගාවලියේ මෙතෙක් ඔහු පිතිකරණයේ යෙදුණු ඉනිම් තුන තුළ ලබා ගැනීමට සමත් වී ඇත්තේ ලකුණු 12ක් පමණයි. එමෙන්ම ඔහු දවා ගැනීමට සමත් වී ඇත්තේ ද කඩුලු 2ක් පමණයි. මේ අතර දුශාන් හේමන්ත මෙවර ලෝක කුසලානයේ නෙදර්ලන්තය සමඟ තරගයට පමණක් ක්‍රීඩා කළ අතර එහි දී ඔහු කඩුලු දවා ගැනීමට සමත් වුනේ නැහැ.

ධනංජයගේ ස්ථානය අනතුරේ වැටුණ ද ඇෆ්ගනිස්තානය සමඟ තරගයේ දී පන්දු 21කින් ලකුණු 15ක් ලබා ගත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ පිතිකරණ ස්ථානය නම් හෙට දිනයේ ද ආරක්ෂා වනු ඇති බව අපේක්ෂා කරනවා.

මේ අතර එංගලන්තය සමඟ පැවැත්වුණු තරගයේ පිතිකරණයේ යෙදෙමින් සිටිය දී සදීර සමරවික්‍රමගේ ඇඟිල්ලක තුවාලයක් ඇති වූ අතර ඇෆ්ගනිස්තානය සමඟ තරගයේ දී පන්දු රකිමින් සිටිය දී එය තවත් උග්‍ර වී තිබෙනවා.

මේ නිසා ඔහුගේ ඇඟිල්ලට මැහුම් කිහිපයක් දමා ඇති බව කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් සඳහන් කර ඇති අතර, මේ නිසා ඔහු අද සවස පැවැත්වුණු පුහුණු සැසියට ද සහභාගී වුනේ නැහැ. කෙසේ වෙතත් හෙට තරගයට ඔහු බොහෝ දුරට සහභාගී වනු ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<