අලකලංචි මැද ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට PSL තහනම් වෙයි

3568

පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය නියෝජනය කළ ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක James Faulkner ගෙවීම් ආරවුලක් මත එම තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබුණා.

සිය ඉවත් වීම ප්‍රකාශයට පත් කරමින් Faulkner පවසා සිටියේ පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඔහුගේ කොන්ත්‍රාත්තුවට ගරු නොකළ බවත්, එයට අදාළ ගෙවීම් සිදු නොකර ඒ වෙනුවට ඔහුට දිගටම ව්‍යාජ තොරතුරු ලබා දුන් බවයි.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය ද Faulknerගේ චෝදනා වලට ප්‍රතිචාර දක්වා තිබූ අතර ඔවුන් පවසා සිටියේ James Faulknerගේ ක්‍රියාකලාපය හෙළාදකින බවයි. එමෙන්ම ඉදිරි පාකිස්තාන සුපර් ලීග් තරගාවලි සඳහා ඔහු ලැයිස්තුගත නොකරන බවත් ඔවුන් නිවේදනය කර තිබුණා.

එමෙන්ම ඔහු පාකිස්තානයේ ආගමන බලධාරීන් සහ ක්‍රිකට් ආයතන නිලධාරීන් සමඟ පහත් ලෙස හැසිරුණු බවටත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය චෝදනා කර තිබෙනවා.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ Quetta Gladiators සමඟින් ක්‍රීඩා කළ Faulkner එම කණ්ඩායම සහභාගී වූ අවසන් තරග තුනම ක්‍රීඩා කළේ නැහැ. සිය ගෙවීම් සම්බන්ධයෙන් Faulkner කලබල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහු කීප වරක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමඟින් සාකච්ඡා කර තිබුණා.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා Faulkner තරමක් කලහකාරී ලෙස හැසිරුණු අතර නිලධාරීන් කීපදෙනෙකු සමඟින් බහින්බස් වී තිබුණා. ඉන් අනතුරුව ඔහු තරගාවලියෙන් ඉවත්ව නැවතත් ඕස්ට්‍රේලියාව වෙත යාමට තීරණය කර තිබුණා.

එහි දී ඔහු ගුවන්තොටුපළට යාමට පෙර ඔහුගේ පිත්ත සහ හිස්වැස්ම ඔහු රැඳී සිටි හෝටලයේ විශාල විදුලි පහනක් මතට විසි කර තිබෙනවා. එහි දී එම විදුලි පහනට හානි සිදුවී ඇති අතර Faulkner පිටත්ව යාමට පෙර හෝටලයට එම හානිය සඳහා මුදල් ගෙවා තිබෙනවා.

James Faulkner සිය පිත්ත සහ හිස්වැස්ම විදුලි පහනක් මතට විසිකර තිබූ අයුරු

සිය ඉවත් වීම ප්‍රකාශ කරමින් Faulkner පාකිස්තාන ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලමින් Twitter පණිවිඩ දෙකක් පළ කර තිබුණා. එහි දි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහ පාකිස්තාන සුපර් ලීග් තරගාවලි සංවිධායකයින් තමාන්ට නින්දා සහගත ලෙස සැලකූ බවත් ඔහු පවසා සිටියා.

මම පාකිස්තාන ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලනවා. නමුත් අවාසනාවකට පාකිස්තාන ක්‍රිකට් ආයතනය මගේ ගිවිසුම්ගත ගෙවීම්වලට ගරු කළේ නැහැ. ඒ නිසා මම පසුගිය තරග දෙකෙන් ඉවත් වුනා. අවසානයේ දී තරගාවලියෙන් ඉවත් වෙන්න සිදු වුනා. මම මුළු කාලයම පාකිස්තානයේ හිටියේ. ඒත් ඔවුන් මට දිගින් දිගටම බොරු කිව්වා.

පාකිස්තානයට ජාත්‍යන්තර ක්‍රිකට් නැවත ගේන්න උදව් කරන්න මට අවශ්‍ය වුනා. පාකිස්තානයේ යොවුන් දක්‍ෂයින් විශාල ප්‍රමාණයක් සිටින නිසාත්, ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරණීය නිසාත් මට පාකිස්තානයට උදව් කරන්න අවශ්‍ය වුනා. නමුත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය මට සලකපු ආකාරය නින්දාසහගතයි. ඔබ සියලු දෙනාම මගේ ස්ථාවරය තේරුම් ගනීවි කියලා මට විශ්වාසයි”, Faulkner පවසා සිටියා.

ඉන් අනතුරුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහ Quetta Gladiators ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් Faulknerගේ චෝදනා පදනම් විරහිත ලෙස හැඳින්වූ අතර ඔහුගේ හැසිරීම පිළිබඳව ද කලකිරීම ප්‍රකාශ කර තිබුණා.

Faulknerගේ නියෝජිතයා විසින් මුලින් එක්සත් රාජධානියේ බැංකු ගිණුම් විස්තර එවා ඇති අතර ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ බැංකු ගිණුමක විස්තර එවා තිබූ බව ද එම ප්‍රකාශයේ සඳහන් වනවා. ඒ වන විටත් Faulkner ඇතුළු ක්‍රීඩකයන්ට ගෙවිය යුතු මුදලින් 70%ක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ගෙවා තිබෙනවා.

එහි දී පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් Faulknerට පවසා ඇත්තේ ඒ වන විටත් ගෙවා ඇති මූලික ගෙවීම ආපසු ලබා දෙන තෙක් වෙනත් ගිණුමකට ගෙවීම සිදු කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් Faulkner හට ඔහුගේ කොන්ත්‍රාත්තුවේ ඉතිරි 30%ක මුදල ගෙවන්නේ ද යන්න තවමත් තීරණය කර නැහැ. Faulkner සිය ගිවිසුමේ කොන්දේසි කඩ කර ඇති බවට පාකිස්තාන ක්‍රිකට් ආයතනය විශ්වාස කරන අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉදිරියේ දී ගැනීමට නියමිතයි.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ වසර හත තුළ පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ ගිවිසුම්ගත බැඳීම් ඉටු නොකිරීම ගැන කිසිදු ක්‍රීඩකයෙකු පැමිණිලි කරලා නැහැ. ඔහුගේ ගිණුමට මුදල් ලැබී තිබිය දීත් Faulkner ඕස්ට්‍රේලියාවේ ඔහුගේ ගිණුමට එම මුදලම නැවත ගෙවන ලෙස දිගටම අවධාරණය කළා. එහෙම කළොත් ඔහුට දෙවරක් ගෙවන්න වෙනවා.

ඉන් අනතුරුව ඔහු තර්ජනය කළා. ඔහුගේ මුදල් ඉල්ලීම් ඉටු වන තුරු ඔහුගේ කණ්ඩායමේ තරගවලට සහභාගී වීම ප්‍රතික්ෂේප කළා. අපි වගකිවයුතු ආයතනයක් ලෙස සිකුරාදා සවස Faulkner සමඟින් සාකච්ඡාවකට එක්වුනා. ඒ සංවාදය අතරතුර ඔහුගේ පිළිකුල් සහගත හා අපහාසාත්මක හැසිරීමක් තිබුනත්, ඔහුගේ සියලු ඉල්ලීම්වලට විසඳුම් ලබා දෙන්න අපි පොරොන්දු වුනා.

ඒත් Faulkner නැවත සලකා බැලීම ප්‍රතික්ෂේප කළා. තම කණ්ඩායමට නැවත එක්වීම ඔහු ප්‍රතික්ෂේප කළා. ඉන් අනතුරුව ඔහුට නැවත යන්න ගමන් විධිවිධාන වහා සලසන ලෙස ඉල්ලා සිටියා.

සෙනසුරාදා උදෑසන පිටත්ව යාමට පෙර Faulkner හෝටලයේ දේපළවලට හිතාමතාම හානි සිදු කළා. හෝටල් කළමනාකාරීත්වයට අලාභය ගෙවීමට ඔහුට සිදු වුනා. පසුව ඔහු ආගමන නිලධාරීන් එක්ක නුසුදුසු ලෙස ක්‍රියා කර ඇති බවට බලධාරීන්ගෙන් වාර්තා සහ පැමිණිලි ලැබුණා. මේ නිසා අපි තීරණය කළා ඉදිරි පාකිස්තාන සුපර් ලීග් තරගාවලිවලට Faulkner ලැයිස්තුගත නොකරන්න. ඒ සඳහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය, තරගාවලි සංවිධායකයින් වගේම කණ්ඩායම් බලධාරීන් ඒකමතිකව එකඟ වුනා”, පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

Faulkner මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ තරඟ හයකට ක්‍රීඩා කළ අතර එහි දී කඩුලු 6ක් දවා ගනිමින් ලකුණු 49ක් ලබා ගෙන තිබුණා.

ESPNcricinfo ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<