වසර 9කට පසුව ශ්‍රී ලංකාව මව්බිමේ දී ඉන්දියාව පරාජය කරයි

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

289

සංචාරක ඉන්දියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගය අද (23) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනේ ශ්‍රී ලංකාවට කඩුලු 3ක තියුණු ජයක් හිමිකර දෙමිනි. 

ඒ අනුව 2012 වසරට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් සිය මව්බිමේ දී ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරන්නට අද සමත් වුනා. ඒ අනුව ICC සුපර් ලීගයේ දී ශ්‍රී ලංකාව ලබා ගත් දෙවැනි ජයග්‍රහණය මෙය වුනා. 

ඒ සඳහා ලැබෙන ප්‍රසාද ලකුණු 10 ද සමඟ මුළු ලකුණු 22ක් ලබා ගනිමින්, ප්‍රසාද ලකුණු සටහනේ 12 වැනි තැන සිට 11 වැනි ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. කෙසේ නමුත් 2-1ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කළේ ඉන්දියාවයි. 

කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් දෙවැනි තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 6 දෙනෙකු වෙනස් කරමින් අද තරගයට පැමිණියේ ජාත්‍යන්තර එක්දින පිටිය සඳහා නවක ක්‍රීඩකයින් 5 දෙනෙක් හඳුන්වා දෙමිනි.

එසේම ශ්‍රී ලංකාව ද වෙනස්කම් තුනක් සිදු කරමින් අද තරගයට අවතීර්ණ වුනේ වනිඳු හසරංග, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන් වෙනුවට රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම සහ අකිල දනංජය යන ක්‍රීඩකයින් කණ්ඩායමට කැඳවමිනි.

  • ශ්‍රී ලංකාව – Avishka Fernando, Minod Bhanuka (wk), Bhanuka Rajapaksa, Dhanajaya de Silva, Charith Asalanka, Dasun Shanaka (capt), Ramesh Mendis, Chamika Karunaratne, Dushmantha Chameera, Akila Dananjaya, Praveen Jayawickrama
  • ඉන්දියාව – Prithvi Shaw, Shikhar Dhawan (capt), Sanju Samson (wk), Manish Pandey, Suryakumar Yadav, Hardik Pandya, Nitish Rana, K Gowtham, Rahul Chahar, Navdeep Saini, Chetan Sakariya

පළමු තරග දෙකට සාපේක්ෂව සිය පිතිකරණ ශක්තිය තරමක් වැඩි කරගෙන අද තරගයට පිවිසි ඉන්දියානුවන් වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ Shikhar Dhawan සහ Prithvi Shaw දෙදෙනායි.

ඔවුන් දෙදෙනා පන්දු 15ක් තුල ලකුණු 28ක සබඳතාවයක් ගොඩනංවමින් පළමු තරගයේ දී මෙන් වේගවත් ආරම්භයක් ගොඩනැංවීමට වෑයම් කළා. කෙසේ නමුත් දුෂ්මන්ත චමීරගේ වේගවත් කෙටි පන්දුවක් හමුවේ ලකුණු 13ක් ලබාගෙන සිටි Dhawan ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියා.

අනතුරුව පිටියට පැමිණි නවක ක්‍රීඩක Sanju Samson සමඟ එකතු වුනු Shaw දෙවැනි කඩුල්ල සඳහා පන්දු 80ක දී ලකුණු 74ක සබඳතාවයක් වාර්තා කළා. කෙසේ නමුත් 4 පහර 8ක් සමඟ ලකුණු 49ක් ලබාගෙන සිටි Shawගේ කඩුල්ල දවා ගනිමින් දසුන් ශානක නැවතත් තරගයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට යොමු කළා.

ඉන් පන්දුවාර 3ක් ඇතුළත Sanju Samsonගේ කඩුල්ල දවා ගැනීමට ප්‍රවීන් සමත් වුනේ ඉන්දීය ලකුණු සටහන 118/3ක් බවට පත්කරමිනි.

පන්දුවාර 23ක් වන විට ඉන්දියාව කඩුලු 3ක් දැවී ලකුණු 147ක් ලබාගෙන සිටි නමුත්, ඉන් පසුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා. ඒ නිසාවෙන් තරගය මිනිත්තු 100කට ආසන්න කාලයක් නවතා දමන්නට වුනා.

ඉන්පසුව නැවතත් තරගය ආරම්භ වුනේ එක් ඉනිමකින් පන්දුවාර 3 බැගින් අඩු කරමින් වුවත්, ඉන්දීය කණ්ඩායමේ අවසන් කඩුලු 7 ලකුණු 78ක් තුල දවා ගත් ශ්‍රී ලංකාව වර්ෂාවෙන් පසුව ඉතාමත් හොඳින් තරගයට අවතීර්ණ වුනේ ඉන්දීය මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන් හට වැඩි පීඩනයක් එල්ල කරමිනි.

 විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ පළමු අවස්ථාව අහිමි කර ගත් ශ්‍රී ලංකාව පසුව එම අවස්ථාව නිසියාකාරව භාවිතා කරමින් ඉන්දීය කඩුලු කිහිපයක්ම දවා ගැනීමට සමත් වුනේ, තරගයේ සම්පූර්ණ පීඩනය ඉන්දියාව දෙසට යොමු කරමිනි.

ඉන්දීය මුල්පෙළ වෙනුවෙන් Suryakumar Yadav 4 පහර 7ක් එල්ල කරමින් පන්දු 37ක දී ලකුණු 40ක් ලබා ගත්තා. ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් තිදෙනෙක්ම ලකුණු 40 සීමාව පසුකිරීමට සමත් වුවත් එකඳු අර්ධ ශතකයක් හෝ ලබා ගැනීමට ඔවුන්ගේ පිතිකරුවන් හට අවස්ථාවක් ලැබුණේ නැහැ.

පන්දු යැවීමේ දී නැවතත් සිය සුපුරුදු රිද්මයට පැමිණි අකිල දනංජය නියමිත පන්දුවාර 10 ලකුණු 44කට නිමා කළා. එයට සහය වුනු 22 හැවිරිදි ජයවික්‍රම ද කඩුලු 3ක් දවා ගත් අතර දසුන් ශානක සිය මංගල ජාත්‍යන්තර එක්දින තරගයට පසුව (2016) පන්දුවාර 8ක් හෝ ඊට වඩා වැඩියෙන් ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වුනා. චමීර ලකුණු 55කට කඩුලු 2යි.

ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 47ක් තුල ලකුණු 227ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වුනු මිනෝද් භානුක සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 35ක යම් සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නා. 

ලකුණු 7ක් ලබාගෙන සිටි මිනෝද්ගේ දැවී යාමට පසුව පිටියට පැමිණි භානුක රාජපක්ෂ සමඟ එක්වුණු අවිශ්ක දෙවැනි කඩුල්ල සඳහා පන්දු 105ක දී ලකුණු 109ක සබඳතාවයක් ගොඩනැංවූවා. එම සබඳතාවය 2017 වසරෙන් පසුව ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් දෙවැනි කඩුල්ල සඳහා ගොඩනැංවූ හොඳම සබඳතාවය ද වුනා.

භානුක ශ්‍රී ලංකා ඉනිම සඳහා එක් අන්තයකින් යම් ජවයක් ලබා දෙන විට අවිශ්ක අනෙක් අන්තයෙන් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය අඩිතාලම සකස් කළා. සිය තුන්වැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කළ භානුක මේ තරගයේ දී සිය මංගල එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය ලබා ගත්තා. පන්දු 56ක දී වාර්තා වුනු ඔහුගේ එම ලකුණු 65 ඉනිම සඳහා 4 පහර 12ක් ඇතුළත් වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ අවිශ්ක සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 5 වැනි අර්ධ ශතකය වාර්තා කර ගනිමින් ලකුණු 76ක් වාර්තා කරගෙන තරගයේ වීරයා බවට ද පත් වුනා. 

පන්දු 98ක දී වාර්තා වුනු අවිශ්කගේ එම වර්ණවත් ඉනිම සඳහා 4 පහර 4ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනු අතර අවසානයේ ඔහු මේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත් වුනේ සාර්ථක තරගාවලියක් නිමා කරමිනි.

අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු කිහිපයක් එක ළඟ දැවී ගිය නිසා යම් පීඩනයක් ඇති වුන නමුත්, රමේෂ් මෙන්ඩිස් ඇතුළු පසුපෙළ පිතිකුරුවන් කඩුලු 3ක ජයග්‍රහණයක් කරා තරගය රැගෙන ගියා. 

ශ්‍රී ලංකාව පන්දුවාර 39ක් අවසානයේ ලකුණු 227 සීමාව වෙත පිවිසි අතර පන්දු යැවීමේ දී ඉන්දියාව වෙනුවෙන් සිය මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ Rahul Chahar ලකුණු 54කට කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් අතරට පැමිණියා.

ඉන්දියාව – 225 (43.1): Prithvi Shaw 49, Sanju Samson 46, Suryakumar Yadav 40, අකිල දනංජය 3/44, ප්‍රවීන් ජයවික්‍රම 3/59.

ශ්‍රී ලංකාව – 227/7 (39): අවිශ්ක ප්‍රනාන්දු 76, භානුක රාජපක්ෂ 65, චරිත් අසලංකා 24, Rahul Chahar 3/54.

  • තරගයේ වීරයා – අවිශ්ක ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව)
  • තරගාවලියේ වීරයා – Suryakumar Yadav (ඉන්දියාව)

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 25, 27 සහ 29 යන දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. එහි තරග තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<