ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් කන්ද උඩරට අගනුවරට

1142

මෙරට ප්‍රධානතම සත් සාමාජික රග්බි තරගාවලිය වන ‘ශ්‍රී ලංකා සුපර් සෙවන්ස්’ අදියර දෙකක් යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි පළමු අදියර ජුලි මස 8 සහ 9 දෙදින තුල පැවැත්වෙන්නේ මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමිනුයි. එහි දෙවන අදියර ජුලි 15 සහ 16 දෙදින තුල කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩක වෙන්දේසියට දේශීය ක්‍රීඩකයන් 138ක්

මෙම ‘ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් ‘ සංකල්පයේ මංගල තරගාවලිය පසුගිය වසරේ අදියර දෙකක් යටතේ පැවැත්වුනේ කොළඹ තුරඟ තරග රග්බි පිටියේ දීයි. එහි දී කණ්ඩායම් හිමිකාර සමාගම් 8ක් යටතේ කණ්ඩායම් තරග වදින ලදි.

පසුගිය වසරේ තරගාවලියේ අදියර දෙක පුරාවටම ක්‍රීඩාශීලීත්වය සහ උද්යෝගය වර්ධනය කරමින් විදෙස් ක්‍රීඩකයන් රැසක් තරග වැදීම එම තරගාවලිය වඩාත් වර්ණවත් කිරීමට හේතුවක් විය.

එම තරගාවලියේ ප්‍රධාන තරග අංශයේ ජය මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම හිමි කර ගත් අතර, පාසල් අංශයේ ජයග්‍රාහකයන් බවට පත් වුනේ කොළඹ ඉසිපතන විද්‍යාලයයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා ප්‍රවර්ධන සමාගම වන ඩයලොග් ආසිආටා මෙවර තරගාවලිය තවදුරටත් පුළුල් කරමින් කන්ද උඩරටට නවමු අත්දැකීමක් තිලිණ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, තරගාවලි සංවිධායකයන් සහ ශ්‍රී ලංකා රග්බි බලධාරීන් එක්ව ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් පළමු අදියර මහනුවර දී පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ, මෙරට වාණිජ අග නගරයෙන් එපිටට රග්බි ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ සංකල්පයේ තවත් එක පියවරක් ලෙසයි.

මීට පෙර කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලිය පැවති අවධියේ දී එහි අදියර කිහිපයක් මහනුවර මෙන්ම ගාල්ල නගරයේ ද පවත්වා තිබේ. මහනුවර අවිවාදයෙන්ම මෙරට රග්බි ක්‍රීඩාව සඳහා මහත් ඇල්මක් දක්වන ජනතාවක් වෙසෙන ප්‍රදේශයක් ලෙස පෙන්වා දිය හැකිය.

මේ අනුව මහනුවර – නිත්තවෙල ක්‍රීඩාංගණය මෙවර ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් පළමු අදියර සඳහා සත්කාරකත්වය ලබා දෙන අතර, එළඹෙන ජුලි මාසය රග්බිලෝලීන්ගේ මනදොළ පිනවන ඉහළ මට්ටමේ රග්බි අත්දැකීමක් ශ්‍රී ලංකාව උණුසුම් කරන කාල සීමාවක් බවට පත්වනු නොඅනුමානය.

තරගාවලියේ ජයග්‍රාහකයන් තීරණය කෙරෙන දෙවන අදියර ජුලි 15 සහ 16 දෙදින තුල කොළඹ තුරඟ තරග රග්බි ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇති.

>>තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට<<