කොරෝනා වලින් පස්සේ ක්‍රිකට් පටන් ගන්නේ මෙහෙමයි

122
Sri Lanka Cricket

කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් පනවා තිබූ විවිධ සමාජ සීමාවන් ක්‍රමයෙන් ලිහිල් කිරීමට විවිධ රජයන් කටයුතු කරගෙන යන නිසාවෙන් ලොව පුරා දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ සියලු ක්‍රිකට් තරග සහ තරගාවලි නැවත ආරම්භ කිරීම අරමුණු කර ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පුළුල් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

>>දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ තවත් අර්බුදයක්!<<

ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂිත ලෙස නැවත ආරම්භ කිරීම සඳහා මඟ පෙන්වීමක් ලබා දීමේ අරමුණින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වෛද්‍ය උපදේශක කමිටුව විසින් වෛද්‍ය සාමාජික නියෝජිතයන් සමඟ සාකච්ඡා කොට නැවතත් ලොව පුරා ක්‍රිකට් තරග ආරම්භ කළ යුතු ආකාරය සහ එහි දී පිළිපැදිය යුතු කරුණු ඇතුළත් සවිස්තරාත්මක ලේඛනයක් සකස් කර ICCය වෙත පිළිගන්වා තිබේ. 

තරගය/තරගාවලිය ආරම්භයට පෙර/අතරතුර/පසුව, පුහුණුවීම්වල දී, රටින් රටට හෝ සංචාරය කරන විට, නවාතැන් ගන්නා විට සහ තවත් විවිධ අවස්ථාවන් හි හැසිරිය යුතු ආකාරය සහ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ පුළුල් ලෙස අධ්‍යනය කරමින් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

ලොව පුරා සිටින ක්‍රීඩකයන් සියලුම දෙනා නැවත පුහුණුවට පැමිණෙන විට අදාළ රජය විසින් පවසා තිබෙන සියලුම මාර්ගෝපදේශ අනුගමනය කිරීම කළ යුතු අතර එය නිරීක්ෂණය සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නිසි පත්වීමක් තිබෙන ප්‍රධාන වෛද්‍යවරයකු හෝ ජෛව ආරක්ෂණ නිලධාරියෙකු සිටීම අනිවාර්ය වේ.

තරගාවලියක් හෝ තරගයක් සඳහා සංචාරය කිරීමට පෙර උෂ්ණත්ව පරීක්ෂාවන් සහ Covid-19 පරීක්ෂණ (PCR) සහ අවම ලෙස දින 14ක නිරෝධායන කාලයක් පවත්වන ලෙස නිර්දේශ කිරීමට ICCය විසින් පියවර ගෙන තිබේ.

ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා නවාතැන් පහසුකම් තෝරා ගැනීමේ දී පුහුණු වීම් කටයුතු හා තරගය පැවැත්වෙන ස්ථාන සඳහා හැකි තරම් ළඟින් පිහිටි මෙන්ම ආරක්ෂිත ලෙස නවාතැන් පහසුකම් ගැනීමට හැකි ස්ථානයක් තෝරාගන්නා ලෙස ද ICCය විසින් සියලුම තරග සංවිධායකයින් වෙත දැනුම් දී තිබේ.

සෑම විටම ක්‍රීඩකයන් අතර මීටර් 1.5ක දුරක් (හෝ අදාළ රජයන් විසින් පෙන්වා දී ඇති පරිදි) පවත්වා ගැනීම සහ පුද්ගලික උපකරණ හොඳින් සනීපාරක්ෂිතව තබා ගැනීම සඳහා උපදෙස් ලබා දී ඇත. එසේම පුහුණුවීම් සඳහා හෝ තරගයට පෙර/පසුව/අතරතුර ක්‍රීඩා පිටිවල තිබෙන පොදු කාමර/වැසිකිළි භාවිතය සිදු නොකරන/හැකිතාක් අවම කරන ලෙස දන්වා ඇත. 

>>මොහොමඩ් අමීර් හා හසන් අලිව කණ්ඩායමෙන් කැපුවා ද?<<

තරග පැවැත්වෙන විට ඒ සෑම ස්ථානයකම වෛද්‍ය සම්පත්/ සෞඛ්‍ය ආරක්ෂක අවශ්‍යතාවයන්, ප්‍රමාණවත් පරිදි තිබිය යුතු අතර ක්‍රිකට් පන්දුව වයිරසය සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රධාන සම්ප්‍රේෂණ මාධ්‍යයක් බව ICCය විශ්වාස කරනු ලැබේ. 

ඒ නිසාවෙන් පන්දුව ආරක්ෂිතව කළමනාකරණය කිරීම සඳහා ක්‍රීඩකයින්ට පැහැදිලි මඟ පෙන්වීමක් ලබා දීමට මෙහි දී නිර්දේශ කර ඇති අතර, පන්දුව සමඟ සම්බන්ධ වන විට සහ ඉන්පසුව සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කරමින් සිටීම, ක්‍රීඩකයන්ට පන්දුව සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් පසු ඔවුන්ගේ ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ නොකිරීම, පන්දුව හැසිරවීමේ දී අත්වැසුම් පැලඳීම ගැන සලකා බැලීම, පන්දුව ඔබ දැමීම සඳහා ඛේට ලවණ භාවිතා නොකිරීම වැනි කරුණු කාරනා කිහිපයක් ගැන ICCය මෙහි දී දැඩි ලෙස අවධානය යොමු කර තිබේ.

තරගයට පෙර/පසුව, තරගය පැවැත්වෙන විට සමාජ දුරස්ථභාවය තබා ගැනීමේ දී ක්‍රීඩකයින්ගේ හිස්වැසුම්, තුවා, පන්දුව පිස දමන රෙදි කැබලි ආදිය කිසිවක් විනිසුරුට හෝ වෙනත් ක්‍රීඩකයෙක්ට ලබා දීම සිදු නොකළ යුතු අතර එය තමන් සතුවම හෝ ක්‍රීඩා පිටියේ 4 සීමාවෙන් එපිට නිසි ආරක්‍ෂිත ස්ථානයක තැබීමට කටයුතු කරන ලෙස ද දන්වා තිබේ.

තරග සඳහා සංචාරය කරන විට ඉතා දැඩි නීති රීති ද ක්‍රියාත්මක කරන ලෙස එහි දන්වා ඇති අතර, ඒ සඳහා පළමුවෙන්ම අදාළ රජයන් විසින් නියම කර ඇති මාර්ගෝපදේශ පිළිපැදිය යුතුය. 

තවද, වරලත් ගුවන් ගමන් භාවිතා කිරීම, ගුවන් යානයේ ප්‍රමාණවත් සමාජ දුරස්ථභාවය සහ නවාතැන් ගනු ලබන හෝටල් තෝරා ගැනීමේ දී ක්‍රිකට් කණ්ඩායම හෝ කණ්ඩායම් සඳහා වෙන්වූ විශේෂ මහල් වෙන් කිරීම සඳහා එම හෝටලයෙන් ඉල්ලීම් කළ යුතු බව ද එහි දන්වා ඇත.

පුහුණුවීම් වලට කලින් අදියර 4ක්,

ICC විසින් ලබා දුන් මේ මාර්ගෝපදේශ සංග්‍රහය තුල ක්‍රීඩකයින් පුහුණුවීම්වලට පැමිණෙන විට අදියර 4ක් සහ අදාළ රජයන් විසින් නියම කර ඇති මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බව එහි ප්‍රකාශ කර තිබේ.

  1. සමාජ දුරස්ථ සම්මතයන්ට අනුකූලව, තනි තනිව සිදු කළ හැකි පුහුණු කටයුතු තනි තනිව සිදු කිරීම. 
  2. සමාජ දුරස්ථ සම්මතයන්ට අනුකූලව, කුඩා කණ්ඩායම්වල (ක්‍රීඩකයන් තිදෙනෙකුට වඩා අඩු) පුහුණුවීම් සමඟ සම්බන්ධ වීම.
  3. සමාජ දුරස්ථ සම්මතයන්ට අනුකූලව, තරමක් විශාල ක්‍රීඩක ප්‍රමාණයක් සමඟ පැවැත්වෙන පුහුණු කටයුතුවල දී පුහුණුකරුවන් ද සමඟ පුද්ගලයින් 10ක් හෝ ඊට අඩුවෙන් සිටිය යුතුය.
  4. එකිනෙකාගෙන් ආරක්ෂිත දුරක් පවත්වා ගනිමින් එනම් සමාජ දුරස්ථ සම්මතයන්ට අනුකූලව, සංචිත පාදක පුහුණුවීම් සිදු කිරීම.

එම අදියර 4 තුල ක්‍රියාත්මක වන විට ක්‍රීඩකයින්ට සුදුසු සහ ඔවුන්ට ඇති විය හැකි ආබාධ අවම වන ලෙස පුහුණු වීමේ කටයුතු කළමනාකරණය කිරීම ඉතාමත් වැදගත් වනු ඇත. 

>>බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියත් නොපැවැත්වෙන ලකුණු<<

පන්දු යවන්නන්ට තිබෙන මාර්ගෝපදේශ,

දීර්ඝ කාලයකට පසුව නැවතත් තරග/පුහුණුවීම් සඳහා සහභාගී වන විට ඔවුන්ට ශාරීරික ආබාධ ඇතිවීමේ යම් වැඩි ප්‍රවණතාවක් තිබෙන නිසාවෙන් (විශේෂයෙන් වේගපන්දු යවන්නන්) නිසි පුහුණු වීම්  දින/සති ගණනක් සම්පූර්ණ කළ පසුව තරග සඳහා සහභාගී වන ලෙස ද එහි දක්වා ඇත.

නිරෝධායන කාලය සහ ක්‍රීඩා පිටිය තුල දී වන සැමරුම්,

පෙරට වඩා පිටිය තුල දී සිදු කරනු ලබන සැමරීම් හැකිතාක් අවම කරන ලෙසත් තරගය/තරගාවලිය සඳහා සහභාගී වන සියලුම දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම සහ නිරෝධායන කාලයක් නිර්දේශ කිරීමට ICC තීරණය කර තිබේ.

දියවැඩියාව, දුර්වල ප්‍රතිශක්තිය, හෘදයාබාධ වැනි රෝගී තත්වවලින් පෙළෙන ක්‍රීඩකයින්/පුහුණු කාර්ය මණ්ඩලය/සහායක කාර්ය මණ්ඩලය සහ වයස් ගත පුද්ගලයින් මේ වයිරසය සඳහා ගොදුරු වීමට වැඩි ඉඩක් තිබෙන නිසා ඔවුන් කෙරෙහි යම් විශේෂ අවධානයක් දැක්වීමට ද කටයුතු කරන ලෙස අදාළ ක්‍රිකට් ආයතන වලින් ICC ඉල්ලීමක් සිදු කරයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<