ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරග මාලාවේ කොළඹ අදියරේ තරග ඊයේ සහ පෙරේදා (16 සහ 17) දිනයන් හි දී කොළඹ පැරණි තුරඟ තරග පිටියේ දී පැවැත්විය. මෙම අදියරේ අවසන් තරග ඊයේ පැවති අතර අතිශය උණුසුම් තරග රාශියක් අවසානයේ සමස්ත ජයග්‍රහණය මොබිටෙල් සමාගමේ අනුග්‍රාහකත්වය දරන ඊගල්ස් කණ්ඩායම විසින් හිමි කර ගන්නා ලදි.

විශේෂත්වය නම් ඊගල්ස් කණ්ඩායම පසුගිය සතියේ මහනුවර අදියරේ ජය මෙන්ම පසුගිය වසරේ සමස්ත ශූරතාවය දිනා ගත් කණ්ඩායම වීමයි. කෙසේ නමුත් ඊයේ පැවති අවසන්  මහා තරගයේ දී ඊගල්ස් කණ්ඩායම EZY වුල්ව්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත් විය. අදියර දෙකේම  තරග සටහන් සැලකිල්ලට ගෙන සමස්ත ශූරතාවය පිරිනමන බැවින් සමස්ත ශූරතාවය මොබිටෙල් ඊගල්ස් කණ්ඩායමට හිමි විය.

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් කිරුළ කා හට ද?

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරග මාලාවේ කොළඹ අදියරේ තරග ආරම්භ වීමත් සමඟ…

කොළඹ අදියරේ ප්‍රථම දිනය මොබිටෙල් ඊගල්ස් කණ්ඩායමට එතරම් සුබදායක නොවීය. සහභාගී වූ තරග 3න් එක් තරගයක් පමණක් ජයග්‍රහණය කළ ඔවුන් ඉතාමත් අසීරු ස්ථානයක සිටින බව පෙනෙන්නට විය. කෙසේ නමුත් ඊගල්ස් කණ්ඩායම ඊයේ පැවති තරගවලට සාර්ථකව මුහුණ දෙනු දක්නට ලැබුණි. තම අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ දී ඇක්සස් කින්ග්ස් කණ්ඩායම ලකුණු 17-12ක් ලෙස පරාජය කළ ඔවුන් අවසන් පූර්ව තරගයේ දී එටිසලාට් පැන්තර්ස් කණ්ඩායම ලකුණු 33-24ක් ලෙස පරාජය කරන්නට සමත් විය. EZY වුල්ව්ස් කණ්ඩායම ද අර්ධ අවසන් පූර්ව වටයේ දී සොෆ්ට්ලොජික් වොරියර්ස් කණ්ඩායම ලකුණු 24-12ක් ලෙස පරාජය කළ අතර කාර්ගිල්ස් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 17-10ක් ලෙස අවසන් පූර්ව වටයේ දී පරාජය කරමින් අවසන් තරගයේ තම ස්ථානය තහවුරු කර ගන්නා ලදි.

කුසලානය සඳහා වන අවසන් මහා තරගයේ දී ප්‍රථමයෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් වූයේ EZY වුල්ව්ස් කණ්ඩායමයි. නෙල්සන් ඕයෝ විසින් මැනවින් පන්දුව ගුවනට යොමු කළ අතර අවසන් රේඛාව අසලින්ම වාගේ ඔහු උත්සාහක දිනුම වාර්තා කළේ ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක වූ අතර ඊට පිළිතුරු වශයෙන් ඊගල්ස් කණ්ඩායම ද ජොෂුවා බිලෝ මගින් උත්සාහක දිනුමක් වාර්තා කළේය.

ප්‍රථම අර්ධය තුල දෙපිලම උත්සාහක දිනුම් ලබා ගැනීමට දැඩි උත්සාහයක යෙදෙනු දක්නට ලැබුණු අතර ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඊගල්ස් කණ්ඩායමේ මොහොමඩ් අබ්සාල් හට කහ කාඩ්පතක් විනිසුරුවරයා විසින් නිකුත් කළේය. එහි දී ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට වුල්ව්ස් කණ්ඩායම සමත් විය. ඒ දිනූෂ චතුරංග වාර්තා කළ අගනා උත්සාහක දිනුම හේතුවෙනි.  කෙසේ වෙතත් ප්‍රථම අර්ධය නිමා වීමට ප්‍රථමයෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු පරතරය අඩු කර ගැනීමට මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම සමත් විය.

ප්‍රථම අර්ධය – EZY වුල්ව්ස් 14-12 මොබිටෙල් ඊගල්ස්

දෙවන අර්ධය ද අතිශය උණුසුම් ස්වභාවයක් ගත් නමුත් එහි දී වැඩි වාසි අත් කර ගත්තේ වුල්ව්ස් කණ්ඩායමයි. සෂාන් මොහොමඩ් වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟ EZY වුල්ව්ස් කණ්ඩායමට ප්‍රබල පරතරයක් තබා ගත හැකි වුව ද, ඊගල්ස් කණ්ඩායම ද තරගය අත් හැර දැමූ බවක් පෙනෙන්නට නොවීය. කෙසේ වෙතත් අවසන් මිනිත්තු කිහිපයේ දී නැවතත් ක්‍රියාත්මක වූ නෙල්සන් ඕයෝ ප්‍රවර්තනය කරන ලද උත්සාහක දිනුමක් ලබා දීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය EZY වුල්ව්ස් කණ්ඩායමට හිමි විය.

අවසන් ලකුණු තත්ත්වය:  EZY වුල්ව්ස් 26-12 මොබිටෙල් ඊගල්ස්    

පලිහ සඳහා වන අවසන් තරගය

වෝකර්ස් CML වයිපර්ස් සහ KBSL ඩ්‍රැගන්ස්

තරගය ආරම්භයේ පටන් තරගය සියතට ගැනීමට වෝකර්ස් CML වයිපර්ස් කණ්ඩායම සමත් විය. කවිඳු කොස්තා සහ ලහිරු ලක්ෂාන් තරගය ආරම්භයේ දී ම උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් තරගය වයිපර්ස් කණ්ඩායම වෙතට යොමු කර ගැනීමට සමත් විය. ඩ්‍රැගන්ස් කණ්ඩායමේ තිලින වීරසිංහ ද උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගයට පිවිසුනු නමුත් ප්‍රථම අර්ධය නිමාවට පත් වීමට මොහොතකට පෙර නැවත වරක් ක්‍රියාත්මක වූ ලහිරු ලක්ෂාන් තම කණ්ඩායම තවදුරටත් ඉදිරියෙන් තබන්නට සමත් විය. දෙවන අර්ධයේ දී චරිත් සෙනෙවිරත්න දෙවන අර්ධය ආරම්භයත් සමඟ වාර්තා කළ උත්සාහක දිනුම හේතුවෙන් තරගය තුල තවදුරටත් රැඳී සිටීමට KBSL ඩ්‍රැගන්ස් කණ්ඩායමට හැකි විය. කෙසේ නමුත් වොකර්ස් CML වයිපර්ස් කණ්ඩායමේ මේකලංග ප්‍රමෝද් වාර්තා කළ උත්සාහක දිනුම හේතුවෙන් තරගය නැවතත් වෝකර්ස් කණ්ඩායමට යොමුවන බවක් පෙනෙන්නට තිබුණි. අසිත පුංචිහේවා විසින් තරගය අවසන් වීමට ප්‍රථමයෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ ද එය තරගය ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් නොවීය.

අවසන් ලකුණු තත්ත්වය – වෝකර්ස් CML වයිපර්ස් 28-19 KBSL ඩ්‍රැගන්ස්

බඳුන සඳහා වන අවසන් තරගය

ඇක්සස් කින්ග්ස් සහ සොෆ්ට්ලොජික් වොරියර්ස්

තරගයේ ප්‍රථමයෙන් ලකුණු ලබා ගැනීමට සමත් වූයේ සොෆ්ට්ලොජික් වොරියර්ස් කණ්ඩායමයි. ඒ ලෆෙලා වා ක්‍රීඩකයාගේ දක්ෂතාවය හේතුවෙනි.  නමුත් එතැන් පටන් තරගය සම්පූර්ණයෙන්ම පාහේ තම අණසකට නතු කර ගැනීමට ඇක්සස් කින්ග්ස් කණ්ඩායම සමත් විය.

ඔවුන් ප්‍රථම අර්ධයේ දී උත්සාහක දිනුම් තුනක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුනි. ජෝන් වෝටා, නායක දනුෂ් දයාන් හා ලවංග පෙරේරා එම උත්සාහක දිනුම් වාර්තා කිරීමට සමත් විය. එසේම දෙවන අර්ධය ආරම්භයේ දී ම ඇබෙල් අටුනාසියා හා ජෝන් වෝටා තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට සමත් විය. වොරියර්ස් කණ්ඩායම ද ලාෆෙලා වා හා නිෂෝන් පෙරේරා මගින් තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ ද එය තරමක් ප්‍රමාද වූ සෙයක් පෙනෙන්නට තිබුණි.

ඇබෙල් අටුනාසියා විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ලකුණු 17ක පරතරයක් තබා ගනිමින් පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඇක්සස් කින්ග්ස් කණ්ඩායම සමත් විය.

අවසන් ලකුණු තත්ත්වය: ඇක්සස් කින්ග්ස් 36-17 සොෆ්ට්ලොජික් වොරියර්ස්

පලඟ ශූරතාවය සඳහා අවසන් තරගය

එටිසලාට් පැන්තර්ස් හා කාගිල්ස් ග්ලැඩියේටර්ස්

ශ්‍රී ලංකා හිටපු සත් සාමාජික රග්බි නායක ෆාසිල් මරීජාගේ උත්සාහක දිනුමත් සමඟ තරගයට පිවිසුනු පැන්තර්ස් ක්‍රීඩකයන් ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ අගනා මීටර 80 පමණ ධාවනයකට පසු වාර්තා කරන ලද උත්සාහක දිනුමත් සමඟ පැහැදිලි පෙරමුණක් ලබා ගැනීමට සමත් විය.

පළමු අර්ධය නිමා වීමට ප්‍රථමයෙන් සෙවුලෝනි ලුටු විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ඒ සමඟ එටිසලාට් පැන්තර්ස් කණ්ඩායම ප්‍රබල මට්ටමක පසු විය. කෙසේ නමුත් දෙවන අර්ධය ප්‍රථම අර්ධයට වඩා අතිශය තියුණු තරගකාරී මුහුණුවරක් ගත්තේ ය.

කාර්ගිල්ස් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ගයාන් වීරරත්න ප්‍රවර්තනය කරන ලද උත්සාහක දිනුමක් ලබා ගැනීම හේතුවෙන් තරගය දෙපිලටම දෝලනය වන බවක් පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත් නවීන් හේනකංකානම්ගේ වාර්තා කළ උත්සාහක දිනුම සමඟ එම පීඩනය මදකට පැන්තර්ස් කණ්ඩායමෙන් ඉවත් විනි. නමුත් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් පරතරය ලකුණු 3කට අඩු කර ගැනීමට සමත් විය. කෙසේ වෙතත් තරගය පැන්තර්ස් කණ්ඩායමෙන් උදුරා ගන්නට එය ප්‍රමාණවත් නොවීය.

අවසන් ලකුණු තත්ත්වය: එටිසලාට් පැන්තර්ස් 22-19 කාර්ගිල්ස් ග්ලැඩියේටර්ස්

  >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට <<