මොහොමඩ් අමීර් හා හසන් අලිව කණ්ඩායමෙන් කැපුවා ද?

158

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් එකතු කර නිර්මාණය කර තිබුණු WhatsApp සමූහයෙන් සුපිරි පාකිස්තාන ක්‍රීඩකයින් වන මොහොමඩ් අමීර් හා හසන් අලි ඉවත්ව ඇති බව පසුගිය දා එරට මාධ්‍ය වාර්තා කළා. 

මෙයට හේතුව වී ඇත්තේ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන් දෙදෙනාට මධ්‍යගත කොන්ත්‍රාත්තු පිරිනැමීමට අකමැත්ත පළ කර තිබීමයි. ඉහත කී WhatsApp සමූහය පාකිස්තාන පුහුණුකරු හා ප්‍රධාන තේරීම් කමිටු සාමාජික මිස්බා උල් හක් විසින් ක්‍රීඩකයින්ට පුහුණුවීම් සඳහා උපදෙස් ලබා දීමට නිර්මාණය කළ සමූහයක් වීම විශේෂත්වයක්.

බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියත් නොපැවැත්වෙන ලකුණු

පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අමීර්ගේ හා හසන්ගේ මේ ක්‍රියාව එතරම් සැලකිය යුතු දෙයක් නොවන බව පවසා තිබුණේ පාකිස්තානය පුරා ක්‍රීඩාලෝලීන් මේ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින පසුබිමකයි. 

“ක්‍රීඩකයින්ට මධ්‍යගත කොන්ත්‍රාත්තු නොලැබුනොත් ඔවුන් WhatsApp සමූහයෙන් පිටව යෑම එතරම් ලොකු දෙයක් නොවේ” යැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙක් පවසා තිබූ බව India Today වෙබ් අඩවිය වාර්තා කර තිබුණා. 

නමුත් කොන්ත්‍රාත්තු නොලැබූ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් එම WhatsApp සමූහයේ සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

“එක දෙයක් පැහැදිලියි, අමීර් හා හසන් ඔවුන්ට කොන්ත්‍රාත්තු නොලැබුණු එක ගැන නම් සතුටු නැහැ” පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙක් පවසා තිබුණා. එම ක්‍රීඩකයා India Today වෙබ් අඩවිය වෙත තවදුරටත් පවසා තිබුණේ හසන්ට ඇති අයහපත් ශාරීරික යෝග්‍යතාව හා ඔහුගේ පිට කොන්දේ ආබාධය නිසා ඔහු එම සමූහයෙන් පිටව යාම පුදුමයක් බවයි.

“ඔහුට පකිස්තාන ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවන්ගෙන් උපදෙස් අවශ්‍ය මේ වගේ වැදගත් අවස්ථාවක ඇයි ඔහු ඒ සමූහයෙන් පිටවෙන්නේ.”

හසන් අලී සිය පිට කොන්දේ ආබාධය නිසා සැත්කමකට ලක්වීමට නියමිත අතර ඔහුට මාස 6-8ක් පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදු වනු ඇත.

කෙසේ වෙතත් මධ්‍යගත කොන්ත්‍රාත්තුවක් නොලැබූ පකිස්තාන සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් ඉහත කී WhatsApp සමූහයේ තවමත් සාමාජිකයෙක් ලෙස සිටින බව ද මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ආන්දෝලනාත්මක ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් නවතී

COVID-19 වයිරස තත්වය යටතේ හුදකලාව සිටින ක්‍රීඩකයින් හට උපදෙස් හා ක්‍රියාකාරකම් ලබා දීමේ අරමුණින් මිස්බා උල් හක් ප්‍රමුඛ පාකිස්තාන පුහුණුකරුවන් මෙම WhatsApp සමූහය නිර්මාණය කර තිබුණා.

පසුගිය වසරේ තමන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ දා සිට ක්‍රිකට් පාලක මණ්ඩලය තමාට සැලකූ ආකාරය පිළිබඳව තමන් අසතුටින් සිටින බව වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් පවසා සිටිනවා.

“අමීර් හරිම කනගාටුවෙන් ඉන්නේ මොකද ඔහු හිටපු පුහුණුකරු වූ මිකී ආතර්ව හොඳින්ම දැනුවත් කර තිබුණා තමන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වන බව” අමීර්ට ඉතා සමීප මිතුරෙක් මාධ්‍ය වෙත පවසා තිබුණා.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල ක්‍රීඩකයින් 18 දෙනෙකුට පමණක් මධ්‍යගත කොන්ත්‍රාත්තු පිරිනමා ඇති අතර දේශීය තරග බිමේ හොඳින්ම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් හට විශේෂ කොන්ත්‍රාත්තු පිරිනැමීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<