අවස්ථාවක් එනතෙක් වසර 3ක් බලා සිටි Lucknow නවකයා

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

709

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වන විට පැවැත්වෙනවා. එහි දී පසුගිය සිකුරාදා (29) පැවති තරගයේ දී Lucknow Super Giants ජයග්‍රහණය වාර්තා කළේ Punjab Kings පරාජය කරමින්.

මෙම තරගයේ දී Lucknow Super Giants පිතිකරණයෙන් තරමක් පසුබෑමකට ලක්ව සිටිය ද දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයක්.

Lucknow Super Giants කණ්ඩායමේ මැදපෙළ බිඳවැටීමක් තිබිය දීත් ඔවුන් සිය පන්දුවාර 20 තුළ තරගකාරී ලකුණු 153ක් වාර්තා කළා. ඒ කඩුලු 8ක් අහිමි කරගනිමින්.

කෙසේ වෙතත් Punjab Kings නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 133කට සීමා කිරීමට Lucknow Super Giants පන්දු යවන්නන් සමත් වුනා. එම ජයග්‍රහණය Lucknow Super Giants කණ්ඩායමේ හයවැනි ජයග්‍රහණය ලෙස සටහන් වුනා. එම ජයග්‍රහණයේ දී දුෂ්මන්ත චමීර, Krunal Pandya සහ Mohsin Khan ප්‍රබල දස්කම් දැක්වීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී දුශ්මන්ත චමීර පන්දු 10ක් තුල වේගවත් ලකුණු 17ක් ලබා ගත් අතර, Mohsin Khan පන්දු 6ක දී නොදැවී ලකුණු 13ක් ලබා ගැනීමට සමත් වුනා. Mohsin Khan පන්දු යැවීමේ දී සිය පන්දුවාර 4 තුළ කඩුලු 3ක් ද දවා ගැනීමට සමත් වුනා.

Mohsin ඔහුගේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගය සඳහා Gujarat Titans තරගයට සහභාගී වූ අතර ඔහු නැවතත් Lucknow Super Giants කණ්ඩායමට පිවිසියේ Mumbai Indians තරගයේ දීයි.

Mohsin පසුගිය වසර තුන තුළ Mumbai Indians කණ්ඩායමේ සාමාජිකයෙකු වූ නමුත් ඔහුට එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබී තිබුණේ නැහැ. සිකුරාදා පැවති තරගය තුල ජයග්‍රාහී දස්කම් දැක්වීමකින් අනතුරුව 23 හැවිරිදි ඔහු මෙතෙක් විවෘත නොවූ ගමනක් විවෘත කිරීමට සමත්ව සිටිනවා.

අවුරුදු තුනක් මම අවස්ථාවක් එනකම් බලාගෙන හිටියා. මම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගයක ක්‍රීඩා කරනවා දැකීම ඔවුන්ගේ සිහිනයක් බව මගේ දෙමවුපියන් නිතරම කියනවා. දැන් මම සෙල්ලම් කරනකොට වැඩියෙන්ම සතුටු වෙන්නේ මගේ අම්මයි තාත්තයි”, ඉන්දීය ප්‍රිමියර් ලීග් හි නිල වෙබ් අඩවියේ පැවති සංවාදයක දී Mohsin Khan විසින් Deepak Hooda වෙත පවසා සිටියා.

මම ඉතාමත් සතුටු වෙනවා. මොකද මම ඔවුන්ගේ සිහිනය සැබෑ කරනවා. මම අද මගේ දස්කම් දැක්වීම මගේ දෙමාපියන් වෙනුවෙන් කැප කරනවා”, Mohsin Khan පවසා සිටියා

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ මෙතෙක් Lucknow Super Giants කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අත්දැකීම් පිළිබඳව ද Mohsin පවසා සිටියා.

මම පොඩි කාලේ ඉඳන් කරමින් සිටි දේ මම දිගටම අනුගමනය කරනවා. මම මගේ නායකයා වන KL Rahul සහ සහායක කාර්ය මණ්ඩලය සමඟ දිගටම සාකච්ඡා පවත්වමින්, ඔවුන් මට ලබා දෙන ඕනෑම උපදෙසක් මගේ ක්‍රීඩාවක එකතු කරන්න උත්සාහ කරනවා”, Mohsin පැවසීය.

මම Mumbai Indians කණ්ඩායමේ අවුරුදු තුනක් හිටියා. එතන ගොඩක් දක්‍ෂ ක්‍රීඩකයන් හිටියා. ඒ නිසා මට ක්‍රීඩා කරන්න අවස්ථාවක් නොලැබුණත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම මේ කණ්ඩායමෙත් පුහුණු කාර්ය මණ්ඩලය ඉතාමත් හොඳයි. මට මෙහි දී බොහෝ දේ ඉගෙන ගැනීමටත් හැකි වෙනවා.”

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<