බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්?

166

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියට පෙර දින 14ක නිරෝධායන කාලයක් අනිවාර්ය කරන්නේ නම්, එම ටෙස්ට් තරගාවලිය සඳහා ඔවුන්ට සහභාගී වීම සිදුකළ නොහැකි බව බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානී නස්මුල් හසන් මහතා පවසා සිටියි. 

ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශ පැවසූ පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බංග්ලාදේශ කණ්ඩායම දින 14ක අනිවාර්ය නිරෝධායන කාලයක් අවසන් කළ යුතු බව පැවසූ පසු බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය එයට පිළිතුරු දක්වමින් මෙම ප්‍රකාශය සිදුකර ඇත.

තවත් කියවන්න:

පෙර පැවති සැලසුම් වලට අනුව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙම මස 27 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ දින 14ක නිරෝධායන කාලයක් (කිසිඳු පුහුණුවීම් කටයුත්තක් නොමැතිව) පසුකළහොත් එය අවසන් වීමට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් මස 12 වැනිදායි. 

නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව එනම් ඔක්තෝම්බර් මස 18 වැනිදා සිට ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙදින පුහුණු තරග වලට පෙර ඔවුන්ගේ පුහුණුවීම් සිදුකිරීම සඳහා තිබෙන දින ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පවසමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මෙසේ ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කර සිටියි. දැනට සැලසුම් කර තිබෙන තරග කාලසටහන අනුව ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ ටෙස්ට් තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ඔක්තෝම්බර් මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. 

“ගොඩක් රටවල්වල නිරෝධායන කාලය තියෙන්නේ දින 7යි, ඒ කාලය තුළත් ඒ කණ්ඩායම් පුහුණුවීම් කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපිට මුලින් කිව්වා නිරෝධායන දින ගණන වෙනස් කරගන්න පුළුවන් කියලා. ඒකත් කමක් නැහැ, හැබැයි නිරෝධායන කාලය තුළ පුහුණුවීම් කරන්න අවස්ථාවක් ලැබෙන්නෙත් නැතිනම් අපිට මේ තරගාවලිය ගොඩාක් අවාසි වෙන්න පුළුවන්.” යැයි හසන් මහතා වැඩිදුරටත් පැවසීය. 

තවද බංග්ලාදේශ පුහුණු සැසි සඳහා ශ්‍රී ලංකාවේ කිසිඳු දෙවන පෙළ ක්‍රීඩකයෙකු ලබාදීමට අවස්ථාවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටි නිසාවෙන්, බංග්ලාදේශය ඔවුන්ගේ පුහුණුවීම් සඳහා අවශ්‍ය දෙවන පෙළ ක්‍රීඩකයින් ද රැගෙන පැමිණීමට සූදානමින් සිටියේය. නමුත් බංග්ලාදේශ ක්‍රීඩකයින් සහ නිලධාරීන් සමඟ 30 දෙනෙකුට වඩා වැඩි සංචිතයක් සඳහා පහසුකම් සැපයීම අසීරු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංග්ලාදේශයට දන්වා ඇත. 

ශ්‍රී ලංකා මූලික පුහුණු ටෙස්ට් සංචිතය:දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, ලහිරු උදාර, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, මිනෝද් භානුක, ලහිරු තිරිමාන්න, සන්තුෂ් ගුණතිලක, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙනිය, දුවිඳු තිලකරත්න, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු. 

බංග්ලාදේශ මූලික පුහුණු ටෙස්ට් සංචිතය: මොමිනුල් හක් (නායක), තමිම් ඉක්බාල්, සද්මන් ඉස්ලාම්, සයිෆ් හසන්, ඉම්රුල් කයිස්, සෞම්‍යා සර්කාර්, මුෂ්ෆිකූර් රහීම්, මොහොමඩ් මිතුන්, ලිටන් දාස්, නස්මුල් හසන් ෂැන්ටෝ, මොසැඩෙක් හුසේන්, මහමුදුල්ලා, යසීර් අලී, නුරුල් හසන්, මෙහෙදි හසන් මෙරාජ්, ටයිජුල් ඉස්ලාම්, Sanjamul Islam, නයීම් හසන්, මුස්තාෆිසුර් රහ්මාන්, රුබෙල් හුසේන්, ෂෆියුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ්, අල් අමීන් හුසේන්, සයිෆුදින්, Ebadat Hossain, අබු ජයද්, හසන් මහමුද්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<