ඕෂධී කුරුප්පු ජීවන ගමනින් සමුගනියි

55855

ශ්‍රී ලංකාව නියෝජනය කළ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වූ ඕෂධී කුරුප්පු අද (08) සිය ජීවන ගමනින් සමුගත්තා.

මිය යන විට 27 වැනි වියෙහි පසු වූ ඕෂධී කුරුප්පු හට 2020 වසරේ දී ලියුකේමියා රෝගය වැළඳී තිබූ බවට හඳුනාගත් අතර වසර දෙකක් එයට එරෙහිව සටන් කිරීමෙන් අනතුරුව ඇය අද (08) මෙලෙස අප අතරින් වෙන්වුනා.

කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වූ ඕෂධී, කුඩා කළ සිට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දස්කම් දැක්වූ අතර එම නිසාවෙන් 2015 වසරේ දී ජාත්‍යන්තර බැඩ්මින්ටන් පිටියට පිවිසීමට ඇයට හැකි වුනා.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංචිතය නියෝජනය කරමින් 2016 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ ඕෂධී, එහි කාන්තා කණ්ඩායම් ඉසව්වේ දී ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් රිදී පදක්කම දිනාගත්තා.

එම තරගාවලියට අමතරව ඕෂධී හට 2016 වසරේ පැවති ආසියානු බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවය සහ 2017 වසරේ පැවති Summer Universiade තරගාවලිය නියෝජනය කිරීමට ද හැකි වුනා.

ක්‍රීඩාවෙන් මෙන්ම අධ්‍යාපනයෙන් ද සමත්කම් දැක්වූ ඕෂධී 2019 වසරේ දී සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණ විශේෂ විද්‍යාවේ දී උපාධිය නිමා කිරීමට සමත්ව තිබීම ද විශේෂත්වයක්.

මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවට සේවයක් ඉටු කළ ඇය අප හදවත් තුළ සදාකාලිකව ජීවමාන වන අතර Thepapre.com අපි ඇයගේ පවුලේ සැමට සහ ඥාතීන්ට අපගේ සාතිශය සංවේගය පළ කර සිටින්නෙමු.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<