හෙල්ලෙන් වීර පුතුන් බිහි කරන ශූරයා – ප්‍රදීප් නිශාන්ත

102
Daily News
 

ජපානයේ ටෝකියෝ නුවර දී පැවැති 16 වැනි ගිම්හාන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ලක් මව පදක්කම් දෙකකින් සැරසීමට උර දුන් කතාව පිටුපස සිටින දැවැන්තයා වන්නේ මලල ක්‍රීඩා පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත.

එමෙන්ම හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මේ වන විට ශ්‍රී ලංකා වාර්තා ලාභියා පිටුපස සිටින්නේ ද ඔහු. රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ විසිකිරීමේ ඉසව්වන් හී පුහුණුකරු වන ප්‍රදීප්ගේ මේ කඩඉම් ගැන ThePapare.com තබන සටහනක් මේ.

එය 2020 ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙලෙන් ආරම්භ කරමු.

“ඇත්තට ම එදා කියා ගන්න බැරි තරම් සතුටක් තිබුණේ. එක ම දවසේ ජීවිතේ ඉහළ ම ජයග්‍රහණ ලැබීම ගැන ඇති වුනේ පුදුම සතුටක්. ඒක වචනවලින් කියා ගන්න බැහැ. ඒක ඒ තරමට ම හිතට වැදුනා”, ප්‍රදීප් නිශාන්ත අප සමඟ කතා බහට එක් වෙමින් පැවසුවා.

මෙරට ඉතිහාසයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලක ඉහළ ම දක්ෂතාව දැක්වු ක්‍රීඩකයන් ගැන ලිවීමේ දි ප්‍රදීප්ගේ නමත් නිතැතින් ම ලියවිය යුතුයි. මෙරට, මෙවර දිනූ පදක්කම් දෙකේ ම හිමිකාරයන්ගේ පුහුණුකරු වන්නේ ප්‍රදිප්. එවැන්නක් මෙරට ඉතිහාසයේ සිදු වන්නේ පළමු වරටයි.

2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ F46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් සහභාගී වූ ශ්‍රි ලංකා පැරාලිම්පික් කණ්ඩායමේ නායකයා ද වූ දිනේෂ් ප්‍රියන්ත හේරත් එහි රන් පදක්කම දිනා ගන්නේ ලෝක වාර්තාවක් ද සමඟින්. එය මෙරට ක්‍රීඩකයෙක් පෑ ඉහළ ම දක්ෂතාව ලෙසින් ද සටහන් වෙනවා. F44-64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් සහභාගී වූ සමිත දුලාන් කොඩිතුවක්කු එහි ලෝකඩ පදක්කම දිනා ගන්නවා.

ප්‍රදීප් සහ දිනේෂ්

“අපි පැරාලිම්පික්වලට සහභාගී වුණේ ම කුමන හෝ පදක්කමක් ලබා ගන්නවා කියන බලාපොරොත්තුවෙන්. ඒ වෙද්දි දිනේෂ් ඉතා හොඳ මට්ටමේ හිටියා. සහභාගී වූ කණ්ඩායමෙන් දිනේෂ් කෙරෙහි තමයි අපි වැඩි බලාපොරොත්තු තබාගෙන හිටියේ. අනිත් එක දිනේෂ්ටත් ලොකු උවමනාවක් තිබුණා රන් පදක්කමකට ම යන්න. අපි ඒක කළා”, ප්‍රදීප් පවසනවා.

ප්‍රදීප්ට දිනේෂ් මුලිච්චි වෙන්නේ 2017 වසරේ දී. ඒ වෙද්දී ඔහු ප්‍රීති කුමාර සහ රෝහිත ප්‍රනාන්දු යන මහත්වරුන් යටතේ පුහුණුවීම් ලබා සිටියා.

“දිනේෂ් ක්‍රීඩාවට පිවිසෙන්නේ ආබාධිතයෙක් බවට පත් වුනාට පස්සේ. මේ නිසා ඔහු වෙනුවෙන් විශාල වෙහෙසක් දැරිය යුතු වෙනවා. පෙර පුහුණුකරුවන් දිනේෂ් ඉතා හොඳ මට්ටමකට ගෙනත් තිබුණා. මට ඒක විශාල පහසුවක් වුනා.”

ප්‍රදීප් යටතේ හැදී වැඩෙන දිනේෂ් 2019 පැරා ලෝක ශූරතාවලියේ දී රිදි පදක්කම දිනා ගන්නවා. ඒ දක්ෂතාවත් සමගින් ඔහු කෙරෙහි බලාපොරොත්තු තැබීම වැඩි වෙනවා.

“ලෝක ශූරතාවලියේ දී ලැබූ තැනත් සමඟ අපිට විශාල ලෙස මහන්සි වෙන්න වුනා. ඒ තත්ත්වය තව දුරටත් රැක ගන්න නම් එහෙම නොකර බැහැ. කොරෝනා තත්ත්වය යටතේත් අපි අපිට ලැබුණ අවස්ථාවන්වල දී පුහුණුවීම් යොදා ගත්තා. ඒ කැපවීම තමයි අද අපි භුක්ති විඳින්නේ.”

මෙවර පැරාලිම්පික් උළෙලේ දී දිනේෂ්ට තරග කිරීමට සිදු වෙන්නේ පසුගිය පැරාලිම්පික් උළෙලේ රන් පදක්කම්ලාභියා ද සමඟින්. ඔහු ඒ වෙද්දී එම ඉසව්වේ ලෝක වාර්තාවේ ද හිමිකාරයා වී සිටියා.

“අපිට ලැබුණ උත්සාහක අවස්ථාවන්වල දී අපේ අභිප්‍රාය වී තිබුණේ තමන්ගේ උපරිම දක්ෂතාව වාර්තා කරන්න. තමන්ට තමන්ගේ ම දක්ෂතාවට අභියෝග කරන්න. දිනේෂ් ඒක මනාව වටහා ගෙන ඊට මුහුණ දුන්නා. ඔහු තෙවැනි උත්සාහක අවස්ථාවේ දී ම ලෝක වාර්තා ගත විසි කිරීමේ දුර අභිබවා ගියා.”

දිනේෂ් 2016 Rio පැරාලිම්පික් උළෙලේ දී ලෝකඩ පදක්කම දිනා ගැනීමට පෑ දක්ෂතාව මීටර් 58.23ක්. එය මෙවර මීටර් 67.79ක් ලෙසට පරිවර්තනය වුනේ F46 කාණ්ඩයේ පැරාලිම්පික් උළෙලේ රන් පදක්කම සමගින් ලෝක වාර්තාවක් බවට ද පරිවර්තනය කරමින්.

ප්‍රදීප් සහ සමිත

“සමිත යුද හමුදා පොලිස් ඒකකට එක් වෙන්නෙ ම ක්‍රීඩා කරන්න. ඒ වෙද්දීත් සමිත හෙල්ල විසි කිරීමේ ඉසව්වේ යම් දක්ෂතාවක් දක්වමින් හිටියේ. යුද හමුදා මලල ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ නව තරග වාර්තාව තැබීමටත් සමිත සමත් වෙනවා. ඒත් ඊට පස්සේ සමිත අනතුරකට ලක් වෙනවා. ඊට අවුරුදු දෙක තුනකට පස්සේ සමිත නැවත ක්‍රීඩා පිටියට එන්නේ පැරා ක්‍රීඩකයෙක් ලෙස. හෙල්ල විසි කිරීමේ ඉසව්වේ බොහෝ දේවල් දැන සිටි නිසා සමිතව මේ තත්ත්වයට ගේන්න එච්චර ම අපහසු වුනේ නැහැ.”

ප්‍රදීප්ටත් සමිතටත් උවමනා වෙලා තිබුණේ ටෝකියෝ පිටියේ දී තමන්ගේ උපරිම දක්ෂතාව දක්වන්න. එසේ වූවා නම් තමන්ට පදක්කමකට යන්නට ලෙහෙසියෙන් ම හැකි වෙන බව මේ දෙදෙනාම දැන සිටියා.

“අපේ ඒ බලාපොරොත්තුව සමිතගේ පළමු විසි කිරීමෙන් ම ඉෂ්ට වුනා. සමිත මීටර් 62.11ක් දුර හෙල්ල වීසි කළා. ඒ දක්ෂතාව අපේ බලාපොරොත්තු තව තවත් ඉහල දැම්මා. නමුත් දෙවැනි අවස්ථාවේ දී සමිතගේ විසි කිරීම තරමක් පසු බැස්සා. ඒක අපිට ගොඩක් දැනුණා. නැවත සුපුරුදු රිද්මයට පැමිණියේ නැති වුනොත්, අපේ බලාපොරොත්තු සුන් වෙනවා. ඒත් සමිත අනෙකුත් අවස්ථාවන්වල දී ඉතා හොඳින් තරගයට අවතීර්ණ වුනා.”

ඒ අනුව සමිත තමන්ගේ තෙවැනි උත්සාහක අවස්ථාවේ දී මීටර් 63.49ක් ද සහ සිව්වැනි උත්සාහක අවස්ථාවේ දී මීටර් 65.61ක් ද ලෙසින් තම දක්ෂතා දක්වනවා. එය සමිතගේ හොඳම පෞද්ගලික දක්ෂතාව ද වෙනවා.

ප්‍රදීප් සහ සුමේධ

ප්‍රදීප් සහ සුමේධ රණසිංහගේ කතාව ගෙතෙන්නේ මෙරට ජාතික වාර්තාවත් සමඟින්. නමුත් ඊට පෙර තවත් කිහිප දෙනෙක්ගේ ම නම් මේ සටහනට එක් වෙනවා. ඒ සෑම කෙනෙක් ම ප්‍රදීප්ගෙන් පුහුණුව ලැබූවන් වන අතර ඔවුන් සැම කෙනෙක් ම හෙල්ල විසි කිරීමේ ශ්‍රී ලංකා වාර්තාවන් දරා සිටි අයයි.

“වරුණ ලක්ෂාන්, සජිත් මධුරංග සහ සුමේධ රණසිංහ වරින් වර ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරනවා. වර්තමානය වන විට ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරිත්වය සතු වෙන්නේ සුමේධ රණසිංහට. ඔහු 2014 අවුරුද්දේ දී මීටර් 83.04ක දක්ෂතා දක්වමින් ඒ වාර්තාව තබනවා. ඒ වගේ ම සුමේධ, 2016 රියෝ ඔලිම්පික් උළෙල ද නියෝජනය කිරීමට වරම් ලබා ගන්නවා. ඉහළ ස්ථානයක් නොලැබුනත් පුහුණුකරුවෙක් ලෙසින් මම ඒ ගැන ආඩම්බර වෙනවා. ඒ වගේ ම ඔලිම්පික් උළෙලවලට හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් වැඩිම ක්‍රීඩකයන් ප්‍රමාණයක් සහභාගී කළ පුහුණුකරු වීම ගැනත් ආඩම්බර වෙනවා.”

Pic: Prasanna Adhikari

ප්‍රදීප්ගේ අතීතය සහ වර්තමානය

“මම ක්‍රීඩාවෙන් සමු ගන්නේ මගේ ඉහළම දක්ෂතා පැවති කාලයේ. 2003 අවුරුද්දේ මෙරට පැවති ආසියානු ග්‍රෝන් ෆී තරගාවලියේ දී මම හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මීටර් 74.27ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම දිනා ගන්නවා. ඒක ඒ වෙද්දී නව ශ්‍රී ලංකා වාර්තාවක් බවටත් පත් වෙනවා. නමුත් 2004 අවුරුද්දේ මගේ දකුණු අතේ මහපටැඟිල්ලේ ඇති වූ ආබාධයක් නිසා මලල ක්‍රීඩාවට සමු දෙන්න සිදු වෙනවා. අදටත් ඒ ආබාධය වරින් වර මතු වෙනවා”, ප්‍රදීප් තම අතීතය සිහිපත් කළා.

හොරේතුඩුව ශ්‍රී චන්ද්‍රසේකර විද්‍යාලයේ දී ඇල්බීසියා ඉනි තරගයට ගඟට විසි කරමින් හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රුව-ගුණ අත-පත ගෑ ප්‍රදීප් ඊට වසර කිහිපයකට පසුව එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරයා වෙනවා. ඉන් අනතුරුව වරින් වර කැඩි බිඳී යන තම වාර්තාව නැවත තමන් සමීපයට ගැනීමට ප්‍රදීප් සමත් වෙනවා. ඒ තමන් යටතේ පුහුණුව ලැබූවන් ම යොදා ගනිමින්.

“මට සෑම විට ම අවශ්‍ය වුනේ මේ ඉසව්වේ තරගකාරීත්වයක්. ඒ ඉලක්කය තමයි මම මගේ යටතේ පුහුණුව ලැබූ අයටත් දුන්නේ. මම ක්‍රීඩා නොකළා කියල නැහැ. තවමත් මම ජීවත් වෙන්නේ ක්‍රීඩකයෙක් ලෙසින් හෙල්ල සමඟ”, ප්‍රදීප් නිශාන්ත පවසනවා.

ප්‍රදීප්ගේ මේ ගමනේ දී ඔහුට සමීප කිහිප දෙනෙක් ම වෙනවා. ඒ අතර Gateway ජාත්‍යන්තර පාසල් ජාලයේ අධ්‍යක්ෂ වෛද්‍ය හර්ෂ අලස් මහතා, ප්‍රදීප් සේවය කරන රාජගිරිය Gateway ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිතුමිය, එහි Sports Team Leader තිලකා ජිනදාස යන මහත්ම මහත්මීන් සමඟ ක්‍රීඩා අංශයේ සියලුම දෙනාම පෙරමුණේ සිටිනවා. එමෙන් ම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ක්‍රීඩා අමාත්‍යංශය නිලධාරීන් මෙන් ම කර්නල් දීපාල් හේරත් සහ ජෙනරල් අම්පෙ මොහොට්ටි යන මහත්වරුන් ඇතුළත් ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සියලුම දෙනා ද ඒ අතර වෙනවා.

මේ සියලු දෙනා සමඟ බිරිඳ නයනා කුමාරිගෙන් සහ මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ඉගනුම ලබන දියණිය, මහේලි මීනුපමා ද තමන්ගේ ක්‍රීඩා කටයුතුවලට දක්වන දායකත්වයට ප්‍රදීප් කෘතවේදීත්වය දක්වනවා.

“අපිට මේ මෙහෙයුම මෙතැනින් නතර කරන්න බැහැ. තව ලොකු ගමනක් යන්න තියෙනවා. අනිත් එක මේ ලැබූ ජයග්‍රහණ අපි ළඟ තබා ගන්න ඕන. ඒ දක්ෂතාවල ම ඉන්න ඕන. ඒ නිසා මම හිතන්නේ දැන් තමයි අපිට දුෂ්කර කාලයකට මුහුණ දෙන්න වෙන්නේ. ලබන අවුරුද්දේ ලෝක පැරා ශූරතාවලිය තියෙනවා. ඒ වගේ ම ආසියානු පැරා ශූරතාවලිය තියෙනවා. දිනේෂ්, සමිතට අමතර ව පැරා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක චමින්ද සම්පත් හෙට්ටිආරච්චිත් ඒ වෙනුවෙන් සූදානම් කරන්න ඕන. දැන් මගේ ඉලක්කය ඔවුන්ව ඒ සඳහා හොඳින් සන්නද්ධ කිරීම.”

ප්‍රදීප් නිශාන්තගේ මේ වෙහෙසකර මෙහෙයුමට ThePapare.com අපගේ උණුසුම් සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<