2022 T20 ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

10146

8 වැනි වරටත් පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා සිට නොවැම්බර් 13 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත අතර එහි නිල තරග කාලසටහන අද (21) ICC විසින් මාධ්‍ය වෙත නිකුත් කළා.

ලෝක කුසලානයේ පළමු වටයේ තරග A සහ B ලෙස කාණ්ඩ දෙකකින් පැවැත්වීමට නියමිත අතර ඒවා පිළිවෙළින් Geelong හිදී සහ Hobart හිදී පැවැත්වෙනු ඇත. මෙවර A කාණ්ඩයෙන් පළමු වටය සඳහා අවතීර්ණ වන ශ්‍රී ලංකාව, නැමීබියාව සහ සුදුසුකම් ලබා ගැනීමේ තරග හරහා පැමිණෙන තවත් කණ්ඩායම් දෙකක් සමඟ තරග වැදීමට නියමිතයි.

එසේම තරගාවලියේ පළමු තරගය වන්නේ ද ශ්‍රී ලංකා – නැමීබියා තරගය වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු වටයේ තරග තුන ඔක්තෝබර් 16,18 සහ 20 Geelong හිදී පැවැත්වීමට නියමිතයි.

පළමු වටයේ කණ්ඩායම්:

  • A කාණ්ඩය – නැමීබියාව, ශ්‍රී ලංකාව, සුදුසුකම් ලබා ගැනීමේ කණ්ඩායම් 1, සුදුසුකම් ලබා ගැනීමේ කණ්ඩායම් 2
  • B කාණ්ඩය – ස්කොට්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, සුදුසුකම් ලබා ගැනීමේ කණ්ඩායම් 1, සුදුසුකම් ලබා ගැනීමේ කණ්ඩායම් 2

කණ්ඩායම් 8ක් පළමු වටයේ දී තරග කරන අතර ඉන් කණ්ඩායම් 4ක් (කාණ්ඩ දෙකේ පෙරමුණ ගන්නා පළමු කණ්ඩායම් දෙක) සුපිරි 12 වටය වෙත සුදුසුකම් ලබා ගන්නා අතර සුපිරි 12 වටය සඳහා මේ වන විටත් කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබා අවසන්.

සුපිරි 12 වටයේ කණ්ඩායම්:

  • පළමු කාණ්ඩය – ඇෆ්ගනිස්තානය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, A කාණ්ඩයේ පළමු ස්ථානය, B කාණ්ඩයේ දෙවැනි ස්ථානය
  • දෙවැනි කාණ්ඩය – ඉන්දියාව, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බංග්ලාදේශය, A කාණ්ඩයේ දෙවැනි ස්ථානය, B කාණ්ඩයේ පළමු ස්ථානය

ඔක්තෝබර් 22 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන සුපිරි 12 වටය සඳහා තරග 30ක් ඇතුළත් වෙනවා. එහි දී කාණ්ඩ දෙකකට කණ්ඩායම් 6ක් ඇතුළත් වන පරිදි තරග පැවැත්වෙන අතර සියලු තරග Sydney, Perth, Hobart, Melbourne, Brisbane, සහ Adelaide හිදී පැවැත්වීමට සංවිධායකයින් සැලසුම් කර තිබෙනවා.

එක් කාණ්ඩයක සිටින සෑම කණ්ඩායමක්ම එහි අනෙක් කණ්ඩායම් සමඟ එක් තරගය බැගින් ක්‍රීඩා කරන අතර අවසානයේ දී ඒ ඒ කාණ්ඩයේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

එහි පළමු අවසන් පූර්ව තරගය (නොවැම්බර් 9) Sydney හිදී පැවැත්වීමට නියමිත අතර එහි දෙවැනි අවසන් පූර්ව තරගය (නොවැම්බර් 10) Adelaide හිදී පැවැත්වීමට නියමිතයි.

එම තරගවල දී ජය ගනු ලබන කණ්ඩායම් දෙක නොවැම්බර් 13 වැනිදා MCG, Melbourne හි MCG ක්‍රීඩාංගණයේ දී අවසන් මහා තරගය සඳහා මුණ ගැසීමට නියමිතයි.

2022 T20 ලෝක කුසලාන තරගාවලියේ නිල තරග කාලසටහන

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<