ශානක හා ගුණතිලකගේ අඩුව පුරවන්න මිලන්ත හා ප්‍රනාන්දු

607

කඩුලු රකින පිතිකරුවෙක් වන ලහිරු මිලන්ත හා වමතින් වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා A කණ්ඩායම හා බංග්ලාදේශ A කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකා A සංචිතයට ඇතුලත් කර ඇත.

බංග්ලාදේශ සංචාරයේ ශ්‍රී ලංකා A කණ්ඩායමේ වගකීම් දිමුත්ට

ජුනි මස 26 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා A කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය සඳහා තෝරා ගනු ලැබූ ක්‍රීඩකයින්…

බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා A කණ්ඩායම පසුගිය 12 වැනිදා නිල වශයෙන් මාධ්‍යයට නිකුත් වූ අතර එම සංචිතයේ උපනායක ලෙස නම් කර තිබූ දසුන් ශානක හා ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු  පිණිස කොදෙව් දේශයට  කැඳවා ඇත. එයට හේතු වූයේ ඇන්ජලෝ මැතිව්ස් හා ආබාධයකට ලක්වූ ලහිරු ගමගේ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අතරතුර සංචාරයෙන් ඉවත්ව හදිසියේම මෙරටට පැමිණීමයි.

එබැවින් ශ්‍රී ලංකා A කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ පුරප්පාඩුව පියවීම වෙනුවෙන් සූදානම්ව තබා තිබූ ප්‍රනාන්දු හා මිලන්තව ශ්‍රී ලංකා A කණ්ඩායමට කැඳවීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

බංග්ලාදේශ සංචාරයේ ශ්‍රී ලංකා A කණ්ඩායමේ වගකීම් දිමුත්ට

ජුනි මස 26 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා A කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය සඳහා තෝරා ගනු ලැබූ ක්‍රීඩකයින්…

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙක් වන මිලන්ත අවසන් වරට පැවැත්වුණු දේශීය ක්‍රිකට් තරගාවලි තුළ හොඳින් ලකුණු අතර සිටි අතර ඔහු රාගම ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු එකඳු සිව්දින තරගයක් සඳහා හෝ ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කර නොමැති අතර විශ්ව ප්‍රනාන්දු ජාත්‍යන්තර ක්‍රිකට් තරග වල අංශ තුනේම තරග නවයක් සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇත. 2017 වර්ෂයේ දෙසැම්බර් මස පැවති ශ්‍රී ලංකා – ඉන්දීය ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රනාන්දු අවසන් වරට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇති අතර අනතුරුව ඔහුගේ කොඳු පෙළ ආශ්‍රිතව ඇතිවූ ආබාධ තත්වයක් නිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එතරම් දුරට දැක ගැනීමට නොහැකි විය.

මේ මස 26 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා A කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට සිව්දින තරග හතරක් හා එක්දින තරග තුනක් ඇතුලත් වේ. ශ්‍රී ලංකා A කණ්ඩායම සිව්දින තරග සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ ජුනි මස 23 වැනිදා දිවයිනෙන් පිටව යාමට නියමිත අතර  එම තරගාවලියේ එක්දින තරග සඳහා ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට ලැබීමට යම් හැකියාවක් ඇති බව ThePapare.com වෙත දැනගන්නට ලැබී ඇත.

තරග කාලසටහන,

දිනය තරගය ක්‍රීඩාංගනය

 

ජුනි 26 සිට 29 දක්වා පළමු සිව්දින තරගය ෂෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය (ප්‍රධාන ක්‍රීඩාංගණය), කොක්ස් බසාර්
ජූලි 03 සිට 06 දක්වා දෙවන සිව්දින තරගය ෂෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය (ඇකඩමි ක්‍රීඩාංගණය), කොක්ස් බසාර්
ජූලි 10 සිට 13 දක්වා තෙවන සිව්දින තරගය සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සිල්හෙට් (SICS)
ජූලි 17 පළමු එක්දින තරගය සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සිල්හෙට් (SICS)
ජූලි 19 දෙවන එක්දින තරගය සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සිල්හෙට් (SICS)
ජූලි 22 තෙවන එක්දින තරගය සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සිල්හෙට් (SICS)

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<