මෙසීගේ වාසනාවෙන් ආර්ජෙන්ටිනාව අවසන් 16ට; ප්‍රංශය, ඩෙන්මාර්කය, ක්‍රොඒෂියාව ඉදිරියට

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය

3089

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කාණ්ඩ අදියරේ සිය අවසන් තරග සඳහා ඊයේ (26) C කාණ්ඩයේ කණ්ඩායම් හතර හා D කාණ්ඩයේ කණ්ඩායම් හතර සහභාගී විය.

C කාණ්ඩයේ පළමු තරග දෙකේ දී ගෝල 2-0ක් ලෙස ඕස්ට්‍රේලියාව පරාජය කරමින් පේරු දේශය ඕස්ට්‍රේලියාවේ 16 දෙනාගේ වටයේ සිහින බොඳ කළ අතර මෙවර තරගාවලියේ පළමු ගෝල රහිත තරගයේ ලෙස ඩෙන්මාර්ක් ප්‍රංශ ගැටුම ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඊයේ දිනයේ දෙවන තරග දෙක මෙවර ලෝක කුසලානයේ පෙරලිකාරීම සිදුවීම් වූ D කාණ්ඩයේ කණ්ඩායම් හතර අතර පැවැත්වුන අතර ප්‍රබල ආර්ජෙන්ටිනාව හා නයිජීරියාව සාන්ත පීටර්ස්බර්ග් නුවර සාන්ත පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේ දීත්, අයිස්ලන්තය හා ක්‍රොඑ්ෂියාව Rostov-On-Donහි  Rostov Arena ක්‍රීඩාංගණයේ දීත් එකම මොහොතේ තරග වැදුණි. සුපිරි තරගයකට අනතුරුව ගෝල 2-1ක් ලෙස නයිජීරියාව පරාජය කරමින් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට ආර්ජෙන්ටිනාව සමත් වූ අතර ප්‍රබල ක්‍රොඒෂියාව හමුවේ ගෝල 2-1ක පරාජයක් ලැබීමට කෝඩුකාර අයිස්ලන්තයට සිදුවිය.  

ක්‍රොඑ්ෂියාව මේ තරගය වන විටත් අවසන් 16ට සුදුසුකම් ලබා තිබූ අතර ආර්ජෙන්ටිනාව, නයිජීරියාව හා අයිස්ලන්තය යන කණ්ඩායම් තුනටම මේ තරගය ජයග්‍රහණය කර අවසන් 16යේ වටයට පිවිසීමට අවස්ථා හිමිව තිබීම නිසා ඊයේ දිනයේ තරග දෙකම ඉතා උණුසුම් විය.

සටන්කාමි ආර්ජෙන්ටිනාව අවසන් මොහොතේ නයිජීරියාව හඬවයි

ජයග්‍රහණයේ පිපාසාවෙන් සිටි ආර්ජෙන්ටිනා කණ්ඩායම ඊයේ දිනයේ පෙර තරග දෙකේ දී මෙන් නොව සුපිරි ක්‍රීඩා විලාසයක් දියත් කළ අතර ඔවුන් පන්දුව සියතේම වැඩි වේලාවක් කබාගෙන දක්ෂ ක්‍රීඩා විලාසයක නිරත වූයේ නයිජීරියාවට ප්‍රබල පීඩනයක් එල්ල කරමිනි.

පෙර තරගයේ දී දුර්වල ගෝල රැකීමක යෙදුණු ආර්ජෙන්ටියානු ගෝල රකින්නා CABALLERO කණ්ඩායමෙන් ඉවත් කර තිබුණේ ARMANI හට ගෝල රැකීමේ වගකීම භාර දෙමිනි.

අයිස්ලන්තයට එරෙහිව සිය දඬුවම් පහර සාර්ථක කර ගැනීමට නොහැකි වූ නිසා මේ තරගාවලිය පුරාම විවේචනයට ලක්වූ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සුපිරි ගෝලයක් සමඟින් පළමු ආර්ජෙන්ටිනා වෙඩි මුරය තැබුවේ මෙවර ලෝක කුසලානයේ 100 වන ගෝලය වාර්තා කරමිනි.

සියලු දෙනා බලා සිටි මෙසීගේ මෙවර ලෝක කුසලානයේ මංගල ගෝලය තරගය ආරම්භයේම ප්‍රේක්ෂකයින්ට දැක ගැනීමට ලැබුණි

14 වන මිනිත්තුවේ දී Banega අලංකාර ලෙස මෙසීට යොමු කළ පන්දුව මනාව ග්‍රහණය කර ගත් මෙසී නයිජීරියා ආරක්ෂක ක්‍රීඩකයා මර්දනය කරමින් සිය දකුණු පාදයෙන් අලංකාර ලෙස පන්දුව දැල වෙත යොමු කළේ නැවත වතාවක් තමන්ගේ විශිෂ්ටත්වය මනාව පෙන්නුම් කරමිනි. මේ මෙවර ලෝක කුසලානයේ මෙසී වාර්තා කළ පළමු ගෝලයයි.

මෙසී අලංකාර ලෙස එම ගෝලය සම්පූර්ණ කළේය

පළමු අර්ධය පුරා විශිෂ්ට ලෙස ක්‍රීඩා කරමින් මෙසී වෙත සුපිරි පන්දු යොමු කිරීමක් සිදු කළ Banega 32 වන මිනිත්තුවේ දී Angel Di Mariaට දක්ෂ ලෙස පන්දුව යොමු කළ අතර ඔහුත් ඉතා ඉක්මනින් පන්දුවත් සමඟ නයිජීරියා ආරක්ෂක වළල්ල ඉක්මවා ගියේ නිසැක ගෝලයක් බලාපොරොත්තුවෙනි. නමුත් Di Maria පසුපසින් පැමිණි Leon Balogun අනවශ්‍ය බාධා කිරීමක් පසුපසින් කරමින් Di Maria බිම හෙළුවේ නිසැක ආර්ජෙන්ටිනා ගෝලයක් අහිමි කරමින් කහ කාඩ්පත් අවවාදයක් ලබා ගනිමිනි.

රතු කාඩ්පතක් ලබා දිය හැකි වරදක් වුවත් විනිසුරු එසේ සිතුවේ නැත

අනතුරුව මෙසී විසින් එහි නිදහස් පහර ලබා ගත් අතර සුපිරි පා පහරක් එල්ල කළ නමුත් අවාසනාවන්ත ලෙස සුපිරි ගෝලයක් කෙස් ගහෙන් ආර්ජෙන්ටිනාවට ගිලිහි ගියේ පන්දුව ගෝල රාමුවේ ගැටීම නිසයි.

සුපිරි ක්‍රීඩකයා පෙර තරගවල දී නොව ඊයේ ඉතාමත්ම ප්‍රබල ක්‍රීඩා රටාවක යෙදෙනු දක්නට ලැබුණි

පළමු අර්ධය: ආර්ජෙන්ටිනාව 01 – 00 නයිජීරියාව

දෙවන අර්ධය ආරම්භයේ පළමු අර්ධයේ ආර්ජෙන්ටිනා ආක්‍රමණ හමුවේ ආරක්ෂාකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළ නයිජීරියානු ක්‍රීඩකයෝ ආක්‍රමණකාරී ක්‍රියා පිළිවෙතක නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 49 වන මිනිත්තුවේ දී ඔවුන්ට දඬුවම් පහරක් හිමි විය.

MASCHERANO අතින් වරදක් සිදු වූ නමුත් ඔහු තරගය පුරා ලේ ගලන මුහුණක් ද සමඟින් නොසැලී ආර්ජෙන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කළේය

MASCHERANO විසින් BALOGUN හට අනවශ්‍ය බාධා කිරීමක් කළ බව පවසමින් විනිසුරු එම දඬුවම් පහර ලබා දුන් අතර MOSES විසින් ඉතා සන්සුන්ව එම දඬුවම් පහර ප්‍රවර්තනය කළේ ආර්ජෙන්ටිනා ප්‍රේක්ෂකයින් මදකට නිශ්ශබ්ද කරමිනි.

MOSES ඉතා සන්සුන්ව ගෝල සම කළේ ආර්ජෙන්ටිනාව දැඩි පීඩනයක හෙළමිනි

ඒ අතරම අනෙක් තරගයේ දී අයිස්ලන්තය ද ගෝලයක් වාර්තා කළ අතර ආර්ජෙන්ටිනා ක්‍රීඩකයින්ට එය ද මහත් පීඩනයක් වූ බව නොඅනුමානය. මන්ද අයිස්ලන්ත ක්‍රීඩකයින් ඒ තරගය ජය ගත්තා නම් ආර්ජෙන්ටිනා කණ්ඩායම මේ තරගය ජය ගත්ත ද ගෝල පරතරය මත 16 දෙනාගේ වටයට යන කණ්ඩායම තීරණය වන බැවිනි.

අනතුරුව ආර්ජෙන්ටිනා කණ්ඩායම පන්දුව තමන් සතුව තබාගෙන ක්‍රීඩා කළ අතර ප්‍රතිප්‍රහාර ලබා දීමට හැකි අවස්ථාවල දී  නයිජීරියානු ක්‍රීඩකයින් ද ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සමත් විය. ඔවුන්ගේ අවාසනාවට එකදු අවස්ථාවක් හෝ සාර්ථක වූයේ නැත.

76 වන මිනිත්තුවේ දී ආර්ජෙන්ටිනා ක්‍රීඩකයෙකු දඬුවම් පහර චතුරශ්‍රයේ දී පන්දුව ස්පර්ශ කළේ යැයි පවසමින් විනිසුරු ‘VAR’ තාක්ෂණයෙන් එම අවස්ථාව නැවත සලකා බැලූ නමුත් විනිසුරු තීරණය කළේ එය සිතා මතා සිදු වූ HandBall අවස්ථාවක් නොවන බවටයි. කෙසේ වෙතත් ඊයේ ඉරානය හා පෘතුගාලය අතර තරගයේ දී එවැනිම අවස්ථාවකට දඬුවම් පහරක් ලබා දීමට විනිසුරු ක්‍රියා කළේය.

අනතුරුව මිනිත්තු ගණනක් පුරා අවස්ථා රාශියක් උදා කරගනිමින් පන්දුව තමන් සතුවම තබා ගනිමින් ආර්ජෙන්ටිනා ක්‍රීඩකයෝ ප්‍රබල උත්සහ කිරීම් රාශියක නිරත වූ අතර ආර්ජෙන්ටිනා ප්‍රේක්ෂකයින් හා ක්‍රීඩකයින් මෙන්ම ප්‍රේක්ෂකාගාරයේ සිටි සුපිරි විශිෂ්ටයා, ඩියෙගෝ මැරඩෝනා ද සතුටු කඳුලින් පිරවූ ජයග්‍රාහි ආර්ජෙන්ටිනා ගෝලය වාර්තා කිරීමට MARCOS ROJO සමත් වූයේ ආර්ජෙන්ටිනාවේ වීරයා වෙමිනි.

ROJOගේ අලංකාර ගෝලය ආර්ජෙන්ටිනා ප්‍රේක්ෂකයින් සතුටු කඳුලින් හැඬවීමට සමත් විය

පිටියේ කොනේ සිට එවූ හරස් (cross) පන්දු යොමු කිරීමක් අලංකාර ලෙස නයිජීරියානු ගෝල රකින්නා මග හරිමින් දැල වෙතට යොමු කරමින් ආර්ජෙන්ටිනාවට 16 දෙනාගේ මේසයේ පුටුවක් වෙන් කරන්නට ROJO සමත් වූයේ ඔහු වසර හතරකට පෙර බ්‍රසීලයේ දී නයිජීරියාවට එරෙහිව ජයග්‍රාහි ගෝලය වාර්තා කළ මතක අලුත් කරමිනි.  

අවසාන ලකුණු තත්වය: ආර්ජෙන්ටිනාව 02 – 01 නයිජීරියාව

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • ආර්ජෙන්ටිනාව – මෙසී 14’, ROJO 86’
  • නයිජීරියාව – මෝසස් 51’

සටන්කාමී කොඩුකාරයින් ගෞරවය සමඟ පිටව යයි

අයිස්ලන්ත ක්‍රොඒෂියා තරගයත් ඉතා වැදගත් තරගයක් වූයේ අයිස්ලන්තයටත් අවසාන 16ට පිවිසීමේ අවස්ථාවක් තිබූ නිසාවෙනි.

කෙසේ වෙතත් සිය ප්‍රධාන ක්‍රීඩකයින් රැසක් විවේක ගන්වමින් ක්‍රොඒෂියාව මේ තරගයට පිවිසුණු නමුත් ජයග්‍රහණය ඔවුන්ගෙන් ගලවන්නට අයිස්ලන්තයට හැකි වූයේ නැත.

පළමු අර්ධය පුරා අයිස්ලන්ත ක්‍රීඩකයින්ට පන්දුව ලබා නොදී පන්දුව තමන් වෙතම රඳවා ගෙන ක්‍රොඒෂියා ක්‍රීඩකයින්  ක්‍රීඩා කළ අතර පළමු අර්ධය පුරා එකදු කණ්ඩායමක් වත් ගෝලයක් වාර්තා කරගන්නට සමත් වූයේ නැත.

පළමු අර්ධය: ක්‍රොඒෂියාව 00 – 00 අයිස්ලන්තය

පෙරළි රැසක් සිදු වූ දෙවන අර්ධයේ කණ්ඩායම් දෙකම ප්‍රබල සටනකට පිවිසුණි. Milan Badelj දෙවන අර්ධය ආරම්භයේම චතුරශ්‍රයේ පිටත සිට අලංකාර ප්‍රහාරයක් එල්ල කළ ද, පන්දුව ගෝල රාමුවේ වැදී ඉවත ගියේ ඉතා ආසන්න අවස්ථාවක් ලෙසය.

කාලය අපතේ නොයැවූ BADELJ 53 වන මිනිත්තුවේ දී නැවත ක්‍රියාත්මක වූ අතර මෙවර නම් ඔහුගේ ඉලක්කය නැවතුණේ දැල තුලය.

ක්‍රොඒෂියාව ඊයේ තරගයට පිවිසුණු නවකයින් රැසක්  සමඟිනි

76 වන මිනිත්තුවේ දී අයිස්ලන්ත කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර Sigurdsson එම දඬුවම් පහර සාර්ථක කර ගත්තේ අනෙක් තරගයේ තරග කළ ආර්ජෙන්ටිනාව ද දැඩි පීඩනයකට ලක් කරමිනි.

ඒ දඬුවම් පහරත් සමඟ අයිස්ලන්තය නැවත තරගයට අවතීර්ණ විය

අවසන් මිනිත්තුව තෙක් අයිස්ලන්තය ප්‍රබල සටනක නිරත වූ අතර 90 වන මිනිත්තුවේ දී PERIŠIĆ අයිස්ලන්ත සියලු බලාපොරොත්තු බිඳ දැමුවේ අලංකාර ගෝලයක් සමගිනි.

අවසන් මිනිත්තුවේ අයිස්ලන්ත බලාපොරොත්තු බිඳ වැටුණි

ඒ අනුව කෝඩුකාර අයිස්ලන්තයට අවාසනාවන්ත ලෙස සිය ලෝක කුසලාන සවාරිය නිම කරන්නට සිදු විය.

අවසන් ලකුණු තත්වය  ක්‍රොඒෂියාව 02 – 01 අයිස්ලන්තය

  • ක්‍රොඒෂියාව – BADELJ 53’, PERIŠIĆ 90’
  • අයිස්ලන්තය – Sigurdsson 76’

පේරු දේශය ඕස්ට්‍රේලියානු සිහින බොඳ කරද්දී ප්‍රංශය හා ඩෙන්මාර්කය ඉදිරියට

ඩෙන්මාර්කයට අවසන් 16යේ ස්ථානයක් නිසැකවම තහවුරු කර ගැනීම සඳහා ප්‍රංශය සමඟ තරගයෙන් එක ප්‍රසාද ලකුණක් අවශ්‍ය වූ අතර පේරු දේශය සමඟ තරගයේ ජයක් වාර්තා කර ගතහොත් ප්‍රංශයේ උදව්වත් සමඟ ඕස්ට්‍රේලියාවට ද අවසන් 16යේ ස්ථානය තහවුරු කර ගැනීමට හැකි වනු ඇත. ප්‍රංශය මේ වන විටත් අවසන් 16ට පිවිස අවසන්ය.

කෙසේ වෙතත් ගෝල 2-0ක් ලෙස ඕස්ට්‍රේලියාව පරාජය කරමින් පේරු දේශය ඕස්ට්‍රේලියානු 16 දෙනාගේ වටයේ සිහින බොඳ කළ අතර මෙවර තරගාවලියේ පළමු ගෝල රහිත තරගයේ ලෙස ඩෙන්මාර්ක් ප්‍රංශ ගැටුම ජය පරාජයෙන් තොරව අවසන් විය

ප්‍රංශ ඩෙන්මාර්ක් ගැටුම ජය පරාජයෙන් තොරයි

පළමු අර්ධයේ ඩෙන්මාර්ක් ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ නමුත් ප්‍රබල ප්‍රංශ ක්‍රීඩකයෝ ඔවුන්ට ගෝලයක් වාර්තා කර ගැනීමට ඉඩ ලබා දුන්නෙම නැත.

ප්‍රංශය ද කිහිප වතාවක්ම ඩෙන්මාර්ක් දඬුවම් චතුරශ්‍රයේ සිට උත්සාහක දිනුමක් වාර්තා කිරීමට උත්සහ කළ ද, ඔවුන්ගේ උත්සාහයන් ද සාර්ථක කර ගැනීමට ඩෙන්මාර්ක් ආරක්ෂක ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැත.

පළමු අර්ධය අවසානයට පෙර පළමු අර්ධයේ එකම ආසන්න අවස්ථාව ලෙස Eriksenගේ ප්‍රබල උත්සාහයක් ඉතා දක්ෂ ලෙස ප්‍රංශ ගෝල රකින ක්‍රීඩක MANDANDA හා Hernandez ව්‍යර්ථ කළේ නිසැක ඩෙන්මාර්ක ගෝලයක් වළක්වමිනි.

පළමු අර්ධය: ප්‍රංශය 00 – 00 ඩෙන්මාර්කය

දෙවන අර්ධයේ නම් කණ්ඩායම් දෙකට පැහැදිලි අවස්ථා හිමි නොවූ අතර මෙවර ලෝක කුසලානයේ පළමු ගෝල රහිත තරගය ලෙස මේ තරගය ඉතිහාසයට එක්විය.

අවසාන ලකුණු තත්වය: ප්‍රංශය 00 – 00 ඩෙන්මාර්කය

ඕස්ට්‍රේලියානු 16 දෙනාගේ වටයේ සිහින බිඳිමින් පේරු ගෞරවය රැක ගනි

මේ තරගයේ ජය ඕස්ට්‍රේලියාවට අත්‍යවශ්‍යම වූයේ 16 දෙනාගේ වටයට පිවිසීමේ ඔවුන්ගේ සියලු බලාපොරොත්තු මේ තරගයේ ජය මත රඳා පැවතීම නිසයි. කෙසේ වෙතත් සිය ගෞරවය උදෙසා සටන් කළ පේරු ක්‍රීඩකයෝ ගෝල 2-0ක් ලෙස තරගයේ ජය ඩැහැ ගත්තේ කැන්ගරුවන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තු බිඳ හෙළමිනි. මේ වසර 40කට පසු පේරු වාර්තා කළ පළමු ලෝක කුසලාන ජයයි.

පළමු අර්ධයේ ආරම්භයේ සිටම ප්‍රබල සටනක නිරත වූ පේරු ක්‍රීඩකයෝ තරගයේ 18 වන මිනිත්තුවේ දී සිය පළමු ගෝලය වාර්තා කළේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දැඩි පීඩනයකට නතු කරමිනි.

Andre Carrillo වෙත යොමු වූ දිගු පන්දු යොමු කිරීමක් අලංකාර ලෙස ග්‍රහණය කර ගත් ඔහු Mat Ryan පසු කරමින් අලංකාර ලෙස පන්දුව දැල තුලට යොමු කළේ තරගයේ පළමු ගෝලය ලෙසයි.

Carrillo ගෞරවය දිනා ගැනීමේ සටනේ පළමු වෙඩිමුරය තැබීමට සමත් විය

1982 ලෝක කුසලානයේ දී Guillermo la Rosa ලෝක කුසලාන ගෝලයක් වාර්තා කළ පසු ලෝක කුසලාන ගෝලයක් වාර්තා කළ පළමු පේරු ජාතිකයා වීමේ ගෞරවය Andre Carrillo දිනා ගන්නා ලදි.   

පළමු අර්ධය: ඕස්ට්‍රේලියාව 00 – 01 පේරු

දෙවන අර්ධය ආරම්භයත් සමඟ 50 වන මිනිත්තුවේ දී GUERRERO අලංකාර ගෝලයක් වාර්තා කළේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සම්පූර්ණයෙන්ම අසරණ කරමිනි.

අනතුරුව අවස්ථා රාශියක් උදාකර ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමත් වුවද ඉන් එක අවස්ථාවක් වත් සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි වූයේ දිනය පුරා අවාසනාව ඔවුන් සමඟ සිටි හෙයිනි.

GUERRERO ගෝලයත් සමඟ පේරු දේශය ඉතිහාසගත ජයක් තහවුරු කරගත්තේය

අවසාන ලකුණු තත්වය: ඕස්ට්‍රේලියාව 00 – 02 පේරු

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • පේරු – Andre Carrillo 18’, GUERRERO 50’  

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<