කොස්ටා, රොනාල්ඩෝ හා සුවාරෙස් රටවල් තුනක් හඬවයි

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය

1840

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්වැනි දිනය වූ ඊයේ (20) දිනයේ පළමු තරගය ලෙස ප්‍රබල පෘතුගාලය හා මොරොක්කෝව තරග වැදුණු අතර සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝගේ සුපිරි ගෝලයෙන් ගෝල 1-0ක ජයක් ලබන්නට පෘතුගාලය සමත් විය.

නව වීරයෙක් සමඟින් රුසියාව අවසන් 16ට; ජපන්, සෙනගාල් මෙහෙයුම් සාර්ථකයි

2018 FIFA ලෝක කුසලාන තරගාවලියේ සයවැනි දිනය වූ ඊයේ (19) දිනයේ ආරම්භක තරගය..

දෙවන තරගය ලෙස උරුගුවේ හා සවුදි අරාබිය තරග වැදුණු අතර ගෝල 1-0 ක් ලෙස එම තරගය ජය ගන්නට උරුගුවේ සමත් විය. මේ තරග දෙකේ ලත් පරාජයන් නිසා මොරොක්කෝවට හා සවුදි අරාබියට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනු ඇත.

තෙවැනි තරගය ලෙස ප්‍රබල ස්පාඤ්ඤය ඉරානය හමු වූ අතර නොසිතූ අභියෝගයකින් පසු ගෝල 1-0 ක ජයක් හිමි කර ගැනීමට ස්පාඤ්ඤය සමත් විය.

‘VAR’ නිසා ස්පාඤ්ඤය බේරේ

දිනයේ තෙවැනි තරගය ලෙස ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම සමඟින් පෙරළිකාරී ඉරානය Kazan හි Kazan ක්‍රීඩාංගණයේ දී පැවැත්වුන අතර තියුණු තරගයකට පසු ගෝල 1-0ක් ලෙස තරගයේ ජය හිමි කර ගැනීමට ප්‍රබල ස්පාඤ්ඤය සමත්විය. B කාණ්ඩයේ තරගයක් ලෙස මේ තරගය පැවැත්විය.

ඉරාන ක්‍රීඩකයින් ස්පාඤ්ඤ ක්‍රීඩකයින්ට විශිෂ්ට තරගයක් ලබා දුන්නේ ඔවුන් කිසි ලෙස බලාපොරොත්තු නොවූ ලෙසින්ය.

ඉරාන කණ්ඩායම ගෝලයක් ලබා ගත්ත ද අවාසනාවන්ත විනිසුරු ‘VAR’ භාවිතයෙන් එය Off Side අවස්ථාවක්  බව තීරණය කළේ රැස්ව සිටි ක්‍රීඩාලෝලීන්ගේ ජය ඝෝෂා තත්පර කිහිපයකට සීමා කරමිනි.

පළමු මිනිත්තුවේ සිටම ක්‍රීඩකයින් හය දෙනෙකු සිය දඬුවම් පහර චතුරශ්‍රයේ රඳවමින් ඉරානය නොසිතූ පීඩනයක් ස්පාඤ්ඤ කණ්ඩායමට එල්ල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ස්පාඤ්ඤ ක්‍රීඩකයින් හට කිසිදු ගෝලයක් පළමු අර්ධයේ රැස්කර ගැනීමට නොහැකි විය. දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රීඩා කළ ඉරාන ක්‍රීඩකයින් ආක්‍රමණයට වඩා ආරක්ෂාවට උනන්දු වීම නිසා පළමු අර්ධයේ පන්දුව ළඟ තබා ගැනීම දැක්වුණේ 27%ට 73%ක් ලෙස ස්පාඤ්ඤය වැඩි කාලයක් ඉරාන අර්ධයේ රැඳෙමින්.

ඉරාන ගෝල රකින්නා වූ Ali BEIRANVAND වෙනම නාටකයක් පිටිය පුරා දිගහැරියේ වරෙක ඉතා හොඳ ගෝල රැකීම් ද, වරෙක කාලය කා දමමින් ද, වරෙක සිදු නොවූ බාධා කිරීමක් වූ බව හුවාදක්වමින් බිම වැටි රඟපා පෙන්වමින්ය.

(ඉරාන දැල් රකින්නා ස්පාඤ්ඤ අවස්ථා කිහිපයක්ම ව්‍යර්ථ කිරීමට සමත්විය-FIFA.com )

කෙසේ නමුත් ඔහු ප්‍රමුඛ ඉරාන ආරක්ෂක වළල්ල පළමු අර්ධයේ දී  ස්පාඤ්ඤ අවස්ථා 10ක්ම ව්‍යර්ථ කිරීමට සමත් විය.

පළමු අර්ධය: ස්පාඤ්ඤය 00 – 00 ඉරානය

දෙවන අර්ධයේ දී ඉරානය ද සිය අර්ධයෙන් එළියට පැමිණි අතර ඉතා ආසන්න අවස්ථා කිහිපයක්ම ඔවුන්ට ගිලිහි ගියේ අවාසනාවන්ත ලෙසයි.

49 වන මිනිත්තුවේ දී ලූකාස්ගේ උත්සාහයක් දෙවරක්ම නැවැත්වීමට ඉරාන ගෝල රකින්නා සමත් වූයේ විශිෂ්ට දක්ෂතාවයක් පෙන්නුම් කරමිනි.

කෙසේ වෙතත් පළමු තරගයේ දී පෘතුගාලයට එරෙහිව ගෝල දෙකක් වාර්තා කළ ඩියෙගෝ කොස්ටා මෙවරත් ස්පාඤ්ඤය බේරා ගැනීමට පැමිණි අතර ඔහුගේ ප්‍රහාරය ඉරාන ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙකුගේම පාදවල වැදී දැල තුලට ගියේ ස්පාඤ්ඤ ප්‍රේක්ෂකයින්ට සැනසුම් සුසුමක් ලබා දෙමිනි.

(කොස්ටා නැවත වරක් ස්පාඤ්ඤය බේරා ගැනීමට සමත් විය – FIFA.com )

අනතුරුව තරගය වෙනතක් ගත් අතර ඉරානය ස්පාඤ්ඤ අර්ධයට ප්‍රබල ආක්‍රමණ දියත් කරන්නට විය. 59 වන මිනිත්තුවේ ඉතා ආසන්න අවස්ථාවක් ඔවුන්ට ගිලිහි ගියේය.

61 වන මිනිත්තුවේ දී ඉරානයේ S EZATOLAHI ඉරාන බලාපොරොත්තු දෙගුණ තෙගුණ කරමින් ගෝලයක් වාර්තා කළ නමුත් ඉතා අවාසනාවන්ත ලෙස එම සතුට මිනිත්තුවකට වඩා පැවතුනේ නැත. ’VAR’ තාක්ෂණය යොදා ගෙන වීඩියෝ දර්ශන පරික්ෂා කර 2018 ලෝක කුසලානයේ පළමු වරට ගෝලයක් නිශ්ප්‍රභ කරන්නට විනිසුරු පියවර ගත්තේය.

(VAR තාක්ෂනය නිසා ඉරාන සිහින බොඳ විය-FIFA.com)

අනතුරුව 81 වන මිනිත්තුවේ දී ලද ඉතාමත්ම ආසන්න පන්දු යොමු කිරීමක් සිය හිසෙන් දැල වෙත යොමු කිරීමට මෙහ්ඩි කළ උත්සහයක් අපතේ ගියේ ඉරාන බලාපොරොත්තු සුන් කරමිනි.

(අවසාන ඉරාන උත්සහය ද වතුරේ ගියේය – FIFA.com)

2006 ලෝක කුසලානයේ Fernando Torresට පසුව ලෝක කුසලනයක පළමු තරග දෙකේම ස්පාඤ්ඤය වෙනුවෙන් ගෝල වාර්තා කළ පළමු වැන්නා බවට පත්විය.

අවසන් ලකුණු තත්වය: ස්පාඤ්ඤය 01 – 0 ඉරානය

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • ස්පාඤ්ඤය – කොස්ටා 54’

Luis Suarez ගේ හුදකලා ගෝලය සවුදිය නැවත ගෙදර යවයි

අද දිනයේ දෙවන තරගය ලෙස Rostov හි Rostov ක්‍රීඩාංගණයේ දී ප්‍රබල උරුගුවේ කණ්ඩායම හා සවුදි අරාබිය තරග වැදුණු අතර සවුදි කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කරමින් උරුගුවේ ගෝල 1-0 ක් ලෙස තරගයේ ජය හිමි කර ගැනීමට සමත් විය.

A කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය පැවැත්වුණු අතර ඒ අනුව A කාණ්ඩයෙන් 16 දෙනාගේ වටයට සත්කාරක රුසියාව හා උරුගුවේ පිවිසෙනු ඇති.

පළමු තරගයේ දී සත්කාරක රුසියාව හමුවේ ගෝල 5-0ක අන්ත පරාජයකට ලක් වූ සවුදි ක්‍රීඩකයෝ මේ තරගයේ දී සෑහෙන තරම් ප්‍රබල අභියෝගයක් උරුගුවේ ක්‍රීඩකයින්ට ලබා දුන් නමුත් සිය 100 වන ජාත්‍යන්තර තරගයට සහභාගී වූ Luis Suarez ගේ හුදකලා ගෝලය නැවැත්වීමට ඔවුන්ට හැකි වූයේ නැත.  

තරගයේ ආරම්භයේ දී සිට වෙනස්ම වූ ක්‍රීඩා රටාවක නිරත වූ සවුදිය සිය ආරක්ෂක වළල්ල මැනවින් සංවිධානය කරගෙන සිටි අතර කාවානිගේ හා SUAREZගේ සංකලනය මනා ලෙස ආරක්ෂා කිරීමට ඔවුන්ට හැකි විය.    

23 වන මිනිත්තුවේ දී උරුගුවේ හට ‘Corner’ අවස්ථාවක් හිමි වූ අතර උරුගුවේ ක්‍රීඩකයා එල්ල කර ප්‍රහාරයෙන් පන්දුව ලබාගැනීමට සවුදි ගෝල රකින්නා වූ ALOWAIS ඉදිරියට පැමිණියේය. අවාසනාවට ඔහුගේ දෑතේ ගෑවී නොගෑවී ඇදුණු පන්දුව SUAREZගේ පාදය අසලටම ආවේ සිය 52වන ජාත්‍යන්තර ගෝලය ලබා ගැනීමට ඉඩහසර විවර කරමිනි. SUAREZ එම අවස්ථාවෙන් අලංකාර ලෙස පන්දුව දැල වෙතට යොමු කළේය.

(මේ SUAREZ ගේ 57 වන ජාත්‍යන්තර ගෝලයයි-FIFA.com)

පළමු අර්ධය: උරුගුවේ 01 – 00 සවුදි අරාබිය

දෙවන අර්ධයේ කණ්ඩායම් දෙකම අතපසු කිරීම් රාශියක් සිදුකළේ අවස්ථා රාශියක් අපතේ යවමිනි.කෙසේ නමුත් අවසාන මිනිත්තු 10 පුරාවට සවුදි ක්‍රීඩකයෝ තව දුරටත් ලෝක කුසලානයේ රැඳී සිටින්නට ප්‍රබල උත්සහයක් දැරුවද එම උත්සාහය සාර්ථක වුයේ නැත.

අවසාන ලකුණු තත්වය උරුගුවේ 1-0 සවුදී අරාබිය

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • උරුගුවේ- SUAREZ 23’

සූරවීර රොනාල්ඩෝ මොරොක්කෝව හඬවයි

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්වැනි දිනය වූ අද (20) දිනයේ පළමු තරගය ලෙස ප්‍රබල පෘතුගාලය හා මොරොක්කෝව මොස්කව් හි Luzhniki Stadium ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝගේ සුපිරි ගෝලයෙන් ගෝල 1-0ක ජයක් ලබන්නට පෘතුගාලය සමත් විය.

ඒ අනුව මොරොක්කෝ කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය අවසන් වන්නේ තවත් එක තරගයක් ඉතිරිව තිබිය දී ය.

නව වීරයෙක් සමඟින් රුසියාව අවසන් 16ට; ජපන්, සෙනගාල් මෙහෙයුම් සාර්ථකයි

2018 FIFA ලෝක කුසලාන තරගාවලියේ සයවැනි දිනය වූ ඊයේ (19) දිනයේ ආරම්භක තරගය….

කෙසේ වෙතත් තරගය පුරා පෘතුගාලය එතරම් ස්ථාවර නොවූ අතර ඔවුන්ගේ ආරක්ෂක ක්‍රීඩා විලාසය තිබුණේ අපේක්ෂිත මට්ටමට වඩා බොහෝ පහළින්ය. අනෙක් අතට මොරොක්කෝ ක්‍රීඩකයින් එක ගෝලයක් වාර්තා කිරීමට ප්‍රබල උත්සහයක් දැරූව ද පෘතුගාල ගෝල රකින්නා වූ Rui Patricio තාප්පයක් සේ ගෝල රාමුව ඉදිරියේ රැඳෙමින් මොරොක්කෝ බලාපොරොත්තු සුන් කළේය. Younes Belhandaගේ ඉතා අසන්න අවස්ථාවක් ඔහු ව්‍යර්ථ කළේ නිසැක මොරොක්කෝ ගෝලයක් වළක්වමිනි.

සිව්වැනි මිනිත්තුවේ දී පෘතුගාලයට ‘corner’ අවස්ථාවක් හිමි වූ අතර Bernardo Silva යොමු කළ පන්දුව කිසිවෙකු නොසිතූ ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය හිසෙන් ගෝලය වෙත යොමු කලේ ආරම්භයම තරගය තමන් වෙත හරවා ගනිමින්.

රොනාල්ඩෝගේ ගෝලය ඔහුගේ 85 වන ජාත්‍යන්තර ගෝලය විය.  – FIFA.com

මේ ගෝලයත් සමඟම රොනාල්ඩෝ 2018 ලෝක කුසලානයේ දී වාර්තා කර ඇති ගෝල ගණන ගෝල 4ක් දක්වා ඉහළ ගිය අතර 1956 එංගලන්තයේ දී පැවති ලෝක කුසලානයේ දී පෘතුගාල ක්‍රීඩක Eusebio ගෝල 9ක් වාර්තා කිරීමෙන් පසු ගෝල හතරේ සීමාව ඉක්මවා ගිය දෙවැනි පෘතුගාල ජාතිකයා බවට පත්වීමට රොනාල්ඩෝ සමත් වුනා.

මේ රොනාල්ඩෝගේ 85 වන ජාත්‍යන්තර ගෝලයයි. ඒ අනුව රොනාල්ඩෝ වැඩිම ජාත්‍යන්තර ගෝල ගණනක් හිමි යුරෝපීය ක්‍රීඩකයා බවට පත්වීමට ද සමත් වුනා. ඔහු අද පසුකර ගියේ Ferenc Puskasගේ වාර්තාවයි.

පළමු අර්ධය: පෘතුගාලය 01 – 00 මොරොක්කෝව

දෙවන අර්ධයේ ද මොරොක්කෝ ක්‍රීඩකයින් අවස්ථා 10ක් පමණ ගෝල ලබා ගැනීමට උත්සහ කළ ද නියමිත පරිදි එල්ලයට ගිය අවස්ථා 4 ඔවුන්ට ගෝලයක් ලබා දීමට සමත් වුනේ නැහැ.

මොරොක්කෝ පුහුණුකරු Renard’ යොදා ගත් 4-3-3 ක්‍රීඩා විලාසය ආක්‍රමණ සඳහා ඉතා හොඳ ප්‍රතිඵල පෙන්නුම් කළ ද නිසි ඉදිරි පෙළ ප්‍රහාරක ක්‍රීඩකයෙකු නැති වීම පැහැදිලිවම කැපී පෙනුණි.

මොරොක්කෝ ක්‍රීඩකයෝ ප්‍රබල උත්සාහයක නිරත වුවත් Rui Patricio ඔවුන්ගේ උත්සාහයන් වළක්වන්නට සමත් විය – FIFA.com

මොරොක්කෝව මෙවර ලෝක කුසලානයට එක් වූයේ වසර 20කට පමණ පසුව වූ අතර 1986 මෙක්සිකෝවේ දී මොරොක්කෝව අතින් පරාජය වූ පෘතුගාලය තරගය අවසානයේ ගෝල 1-0ක් ලෙස සිය පළිගැනීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට සමත් විය.

අවසාන ලකුණු තත්වය: පෘතුගාලය 01 – 00 මොරොක්කෝව

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • පෘතුගාලය – ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 4’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<