2018 FIFA ලෝක කුසලාන තරගාවලියේ සයවැනි දිනය වූ ඊයේ (19) දිනයේ ආරම්භක තරගය ලෙස ප්‍රබල කොලොම්බියාව හමුවේ ගෝල 2-1ක නොසිතූ ජයක් වාර්තා කිරීමට පෙරළිකාර ජපානය සමත් විය.

මායාකාර හැරී කේන් එංගලන්තයට ජයගනෙද්දී ලුකාකු පැනමාව බිඳ දමයි

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද (18) දිනයේ පළමු තරගය ලෙස කොරියාව හා ස්වීඩනය…

දිනයේ දෙවන තරගයේ දී පෝලන්තය ගෝල 2-1 ලෙස තරගයේ ජය සෙනගාලයට පූජා කළේය. තෙවන තරගයේ දී සත්කාරක රුසියාව ඊජිප්තුව හමු වූ අතර ගෝල 3-1ක් ලෙස ඊජිප්තුවේ ලෝක කුසලාන බලාපොරොත්තු අවදානමේ දමමින් 16 දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු  කර ගැනීමට රුසියාව සමත් විය.

සත්කාරක රුසියාව 16 දෙනාගේ වටයට පිවිසෙයි; ඊජිප්තුව අවදානමේ

දිනයේ තෙවන තරගය ලෙස සත්කාරක රුසියාව හා ඊජිප්තුව සාන්ත පිටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර ගෝල 3-1ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට රුසියාව සමත් විය. නවක රුසියානු ක්‍රීඩක CHERYSHEV මේ තරගයේ ද වටිනා ගෝලයක් වාර්තා කරමින් රුසියාවට ජය මාවත හෙළි කිරීමට සමත් විය.

පළමු තරගයේ දී ගෝල 5-0ක් ලෙස සවුදි අරාබිය පරාජය කරමින් සත්කාරක රුසියාව තරගාවලියට පිවිසුණු අතර මේ තරගයේ ද ඉතා ප්‍රබල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමින් ඊජිප්තු කණ්ඩායම සම්පූර්ණයෙන්ම පසුපස පාදයට ඇද දැමීමට ඔවුන් සමත් විය. අද තරගයේ දී ඊජිප්තු සුපිරි ක්‍රීඩක Mohamed Salah ඊජිප්තු කණ්ඩායමට එක්වූ නමුත් රුසියානු ක්‍රීඩකයින් ඔහුව හා අලංකාර ලෙස ආවරණය කරමින් ඔහුගේ නිදහස සම්පූර්ණයෙන් අහිමි කිරීමට සමත් විය.

තරගයේ පළමු අර්ධයේ කිසිදු කණ්ඩායමක් ගෝල වාර්තා කිරීමට අසමත් වූ නමුත් ඊජිප්තු දඬුවම් චතුරශ්‍රය රුසියානු ක්‍රීඩකයින් සිය නිවහන කර ගත්තේ තරගයේ වැඩි කාලයක් එහිම රැඳෙමිනි. කෙසේ නමුත් උරුගුවේ තරගයේ මෙන්ම හොඳින් දැල් රැකීමේ නිරත වූ Mohamed Elshenawy ඉතා ආසන්න රුසියානු අවස්ථා කිහිපයක්ම නැවැත්වීමට සමත් විය.

පළමු අර්ධය: රුසියාව 00 – 00 ඊජිප්තුව

තරගාවලියේ පෙරළිකාරම කණ්ඩායම ලෙස හැඳින්විය හැකි සත්කාරක රුසියාව දෙවන අර්ධයේ විශිෂ්ට ක්‍රීඩා විලාසයක් පෙනුම් කළේ ඊජිප්තු ආරක්ෂක වළල්ල සම්පෙූර්ණයෙන්ම බිඳ දමමිනි.

දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟම ඊජිප්තු කණ්ඩායමේ භයානක සිහිනය ආරම්භ වූ අතර එය භයානකම සිහිනයක් වූයේ ඔවුන් පළමු තරගයේ දී උරුගුවේ හමුවේ ද අවසන් මොහොතේ පරාජයක් ලද නිසයි. මේ තරගයේ පරාජය නිසා ඔවුන්ට බොහෝ දුරට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනු ඇත.

47 වන මිනිත්තුවේ රුසියාවේ Roman Zobnin යොමු කළ ප්‍රහාරයක් ගෝල රාමුවෙන් ඉවතට ඇදෙන්නට ගිය නමුත් අවාසනාවන්ත ලෙස පන්දුවට සිය පාදය යොමු කළ ඊජිප්තු නායක Ahmed Fathi පළමු රුසියානු ගෝලය නොමිලයේ ලබා දෙන්නට සමත් විය. මේ 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වාර්තා වූ 5 වන ‘Own Goal’ අවස්ථාව වූ අතර ලෝක කුසලාන තරගාවලියක වැඩිම ‘Own Goal’ අවස්ථා වාර්තා වුනේ 1998 ලෝක කුසලානයේ දී ය. ඒ ගෝල ගණන 6 කි.

(ඊජිප්තු නායකයා පළමු ගෝලය නොමිලයේම රුසියාවට ලබාදුන්නේය -FIFA.com)

ලෝක කුසලානයට පෙර කිසිවෙකුත් නම අසා නොතිබූ රුසියානු නවක ක්‍රීඩකයෙකු වූ, පළමු තරගයේ සවුදි අරාබියට එරෙහිව ගෝල ද්විත්වයක් වාර්තා කළ CHERYSHEV නැවත වරක් ක්‍රියාත්මක වෙමින් 59 වන මිනිත්තුවේ දී Mario Fernandes පන්දු යොමු කිරීමක් අලංකාර ලෙස දැල් රකිනා මගහරිමින් දැල් වෙත යොමු කළේ පළමු ගෝලයෙන් අසරණ වී සිටි ඊජිප්තුව තවත් අසරණ කරමිනි.CHERYSHEV කණ්ඩායමට පිවිසුණේ Alan Dzagoev ආබාධයකට ලක්වූ නිසාවෙනි.

(CHERYSHEV රොනාල්ඩෝ සමග වැඩිම ගෝල ලාභීන්ගේ සටහනේ පෙරමුණේ සිටියි-FIFA.com)

අනතුරුව කාලය අපතේ නොයැවූ DZYUBA, 62 වන මිනිත්තුවේ තමන් හට යොමු වූ පන්දුව අලංකාර ලෙස ගෝල රාමුවේ පහළ කොනෙන් දැල වෙත යොමු කළේ ජයග්‍රහණයේ අවසන් ඇණය ද ගසමිනි.

සවුදි තරගයේ ද CHERYSHEV හා DZYUBA ගෝල වාර්තා කළ අතර මේ තරගයේ ද ඔවුන් දෙදෙනාගේ ප්‍රහාරයන් රුසියාවට 16 දෙනාගේ වටයේ ස්ථානයක් තහවුරු කර දෙන්නට සමත් විය.

අනතුරුව 73 වන මිනිත්තුවේ දී ‘VAR’ තාක්ෂණයේ සහයෙන් ඊජිප්තුවට දඬුවම් පහරක් හිමි වූ අතර සුපිරි ඊජිප්තු ක්‍රීඩක M SALAH එම අවස්ථාව සාර්ථක කර ගැනීමට සමත් විය.

(SALAHගේ ලෝක කුසලාන සිහිනය බොඳවියයි-FIFA.com)

ඉතිරි කාලය පුරා M SALAHව ආවරණය කරමින් රුසියානු ආරක්ෂක ක්‍රීඩකයින් විශිෂ්ට ලෙස ක්‍රීඩා කළේ ඔහුගේ ෆාරාඕ වරුන්ගේ ලෝක කුසලාන සිහිනයට දැවැන්ත අවදානමක් එක් කරමිනි.  

අවසාන ලකුණු තත්වය: රුසියාව 03 – 01 ඊජිප්තුව

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • රුසියාව – Ahmed Fathi(OG) 47’ , CHERYSHEV 59’, DZYUBA 62’
  • ඊජිප්තුව – M SALAH 73’

පෝලන්ත අතපසුවීම් හමුවේ සෙනගාලය ජය ගනී

දිනයේ දෙවන තරගය ලෙස පෝලන්තය හා සෙනගාලය මොස්කව් හි Spartak ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර දුර්වල පෝලන්ත ක්‍රීඩා විලාසය හමුවේ ගෝල 2-1ක ජයක් වාර්තා කිරීමට සෙනගාලය සමත් විය.

බයර්න් මියුනික් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක Robert LEWANDOWSKI ගේ නායකත්වයෙන් පෝලන්ත කණ්ඩායම පිටියට පිවිසුණු අතර ලෝක කුසලාන යුරෝපා තේරීම් තරගවල දී වැඩිම ගෝල රැස්කරගත් ක්‍රීඩකයා වූයේ ද ඔහුය. සෙනෙගාල් ක්‍රීඩකයෝ Robert LEWANDOWSKI අනර්ඝ ලෙස ආවරණ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට පළමු වරට නිසි ලෙස ගෝල රාමුවට එල්ල වූ ප්‍රහාරයක් දියත් කිරීමට මිනිත්තු 50ක් පමණ ගත විය.

තරගයේ පළමු මිනිත්තුවේ සිට කණ්ඩායම් දෙකම කරට කර තරගයකට පිවිසුණු නමුත් සෙනගාලය පෝලන්තයට වඩා ඉක්මනින් පිටියේ ස්ථාවර විය.

පෝලන්තය සිය පළමු අත්වැරැද්ද 37 වන මිනිත්තුවේ දී කළ අතර සෙනගාල් ක්‍රීඩක Idrissa Gana GUEYE දැල වෙත එල්ල කළ ප්‍රහාරයක් වැළැක්වීමට පෝලන්ත ක්‍රීඩක CIONEK උත්සහ කරද්දී ඔහුගේ පදයේ වැදී පන්දුව දැල වෙත ගියේ නොමිලයේම සෙනගාලයට සිය පළමු ගෝලය ලබා දෙමිනි.

(CIONEK අවාසනාවන්ත ලෙස ගෝලයක් පූජා කළේය-FIFA.com)

පෝලන්ත ක්‍රීඩකයෝ කෙතරම් උත්සහ කළ ද පළමු අර්ධයේ ගෝලයක් රැස් කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබුණේ නැත.

පළමු අර්ධය: සෙනගාලය 01 – 00 පෝලන්තය

දෙවන අර්ධයේ පෝලන්ත ක්‍රීඩකයෝ සෙනගාල් ක්‍රීඩකයින්ට ඉතා හොඳ පීඩනයක් යොමු කළ ද 60 වන මිනිත්තුවේ සිදු වූ තවත් අත්වැරදීමක් නිසා ඔවුන්ට ජයග්‍රහණයේ බලාපොරොත්තු බිඳ ගැනීමට සිදු විය.

මේ සිදුවීමට පෝලන්ත ක්‍රීඩකයින් සම්පූර්ණයෙන් විරුද්ධත්වය පල කළ ද විනිසුරු එය සැලකිල්ලට ගත්තේ නැත. පිටියේ මැද ක්‍රීඩකයින් හුවමාරු කරන ස්ථානය අසල සෙනගාල් ක්‍රීඩකයෙකු වූ NIANG යම් කිසි ආබාධයකට ප්‍රතිකාර ගනිමින් සිටි අතර පෝලන්ත ක්‍රීඩක Krychowiakගේ දුර්වල පන්දු යොමු කිරීමක් සෙනගාල් ක්‍රීඩකයෙකු ලබාගෙන පන්දුව සෑහෙන දුරක් පිටියේ ඉදිරියට යොමු කළේය.

ඉදිරියේ කිසිවෙකු නැති බව දුටු NIANG එක්වරම සීමාව ආසන්නයේ සිට පිටිය මැදට පැමිණ පන්දුව ලබාගෙන ඉදිරියට ගිය අතර දෙවන හා අවාසනවාන්තම වැරැද්ද කරමින් පෝලන්ත ගෝල රකින්නා වූ Szczesny අනවශ්‍ය දුරක් ඉදිරියට පැමිණ පන්දුව ගැනීමට උත්සහ කරද්දී ඔහුගේ හිසට ඉහළින් පන්දුව යොමු කළ NIANG ඔහු පසු කර ඉදිරියට ගොස් කිසිවෙකු නොමැති දැල වෙත නිදහසේ පන්දුව යොමු කළේය.

(NIANG පෝලන්ත ගෝල රකින්නා ගේ වරදින් මැනවින් ප්‍රයෝජන ගැනීමට සමත්විය-FIFA.com)

අනතුරුව පෝලන්ත ක්‍රීඩකයෝ ප්‍රබල උත්සාහයක නිරත වූ අතර ඔවුන්ගේ උත්සාහය සාර්ථක කරගැනීමට හැකි වූයේ 86 වන මිනිත්තුවේ දී ය. ඒ වන විටත් ජයග්‍රහණයේ බලාපොරොත්තු ඔවුන්ගෙන් සෑහෙන දුරකට ගොස් තිබුණි.

‘corner’ අවස්ථාවකින් ලද පන්දුවක් KRYCHOWIAK විසින් සිය හිසෙන් අලංකාර ලෙස දැල වෙත යොමු කළේ මොහොතකට බලාපොරොත්තු දල්වමිනි.

(KRYCHOWIAK ගෝලයෙන් සුළු වෙලාවකට පෝලන්තයට බලාපොරොත්තු ගෙන ඒමට සමත්විය-FIFA.com)

නමුත් තවත් ගෝලයක් සඳහා ඔවුන්ට කාලය ප්‍රමාණවත් වූයේ නැත.

අවසන් ලකුණු තත්වය: සෙනගාලය 02 – 01 පෝලන්තය

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • සෙනගාලය – CIONEK (OG) 37’, NIANG 60’
  • පෝලන්තය – KRYCHOWIAK 86’

ප්‍රබල කොලොම්බියාව හමුවේ ජපානයට නොසිතූ ජයක්

2018 FIFA ලෝක කුසලාන තරගාවලියේ සයවැනි දිනය වූ අද (19) දිනයේ ආරම්භක තරගය ලෙස ප්‍රබල කොලොම්බියාව හමුවේ ගෝල 2-1ක නොසිතූ ජයක් වාර්තා කිරීමට පෙරළිකාර ජපානය සමත් විය. H කාණ්ඩයේ තරගයක් ලෙස Saransk හි Mordovia Arena ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්වුනා.

ජපානය මීට පෙර 18 වතාවක් දකුණු ඇමරිකානු රටවල් හා තරග කර ඇති අතර මේ ඔවුන් තරගයක් ජය ගත් පළමු අවස්ථාවයි. 2018 ජුනි 07 වන විට තිබුණු ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල කොලොම්බියාව 16 වන ස්ථානයේ සිටින අතර ජපානය සිටින්නේ 61 වන ස්ථානයේ වීම විශේෂත්වයක්.

සුපිරි කොලොම්බියානු ක්‍රීඩක හා 2014 ලෝක කුසලානයේ වැඩිම ගෝල ලාභියා වූ බයර්න් මියුනික් කණ්ඩායමේ James RODRIGUEZ අද කොලොම්බියාව වෙනුවෙන් තරගය ආරම්භ නොකළ අතර එය ද ඔවුන්ට අවාසියක් වුනා.

(තෙවන මිනිත්තුවේ දී ම ජපානයට දඬුවම් පහරක් හිමි වුනා. -FIFA.com)

තරගයට පෙරළිකාර ආරම්භයක් ලබා දෙමින් තරගයේ තෙවන මිනිත්තුවේ දී කොලොම්බියානු ක්‍රීඩක C SANCHEZ හට රතු කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු පියවර ගත්තේ සිය දඬුවම් පහර චතුරශ්‍රය තුල දී සිතාමතාම පන්දුවට අත යොදා බාධා කරමින් ගෝලයක් වැළැක්වුවා යැයි තීරණය කරමින්. වාද විවාද රැසක් අවසානයේ KAGAWA ජපානය වෙනුවෙන් එම දඬුවම් පහර ලබා ගත් අතර එය සාර්ථක කර ගනිමින් තරගයේ පෙරමුණ ගැනීමට ජපානය සමත් වුනා. ලෝක කුසලාන ඉතිහාසයේ තරගයක අරම්භයකින් පසුව දෙවැනියට ඉක්මනින්ම රතු කාඩ්පතක් ලබා ගත් ක්‍රීඩකයා බවට C SANCHEZ අද ඉතිහාසගත වුනා. මේ 2018 ලෝක කුසලානයේ පළමු රතු කඩ්පතයි.      

නොසිතූ ලෙස එක් ක්‍රීඩකයෙකු අහිමි වූ කොලොම්බියාව ආරම්භයේ සිටම පිටියේ ස්ථාවර වීමට සමත් වූයේ නැහැ. කෙසේ වෙතත් ජපන් ක්‍රීඩකයෝ ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් කොලොම්බියාව වෙත නොසිතූ පීඩනයක් එල්ල කළා.

සුපිරි ක්‍රීඩක Falcao ප්‍රමුඛ කොලොම්බියානු ක්‍රීඩකයින් අවස්ථාවන් කිහිපයක්ම උදා කරගත්ත ද ආරම්භයේම ඉහළ මානසික මට්ටමක සිටි ජපන් ක්‍රීඩකයෝ ඔවුන් එම අවස්ථා සාර්ථක කර ගැනීමට කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැත.

කෙසේ වෙතත් 39 වන මිනිත්තුවේ දී ගෝල රාමුවට ආසන්නයේ කොලොම්බියාවට නිදහස් පහරක් හිමි වූ අතර J QUINTERO විශිෂ්ට ලෙස එහි ප්‍රවර්තනය ලබා ගනිමින් ගෝලයක් බවට පරිවර්තනය කළේ පීඩනය නැවත ජපානය දෙසට යොමු කරමින්. ජපන් ක්‍රීඩක බිත්තියට ඉහළින් නොව පහළින් බිම දිගේ පන්දුව යොමු කළ ඔහු අලංකාර ගෝලයක් වාර්තා කළේ කිසිවෙකු නොසිතූ ලෙසයි.

(QUINTERO පන්දුව බිම දිගේ යොමුකළේ ජපන් ආරක්ෂක බිත්තිය ගුවනේ සිටියදීය -FIFA.com)

පළමු අර්ධය: කොලොම්බියාව 01 – 01 ජපානය

දෙවන අර්ධයේ ද නොසිතූ පීඩනයක් එක ක්‍රීඩකයෙකු අහිමි වූ කොලොම්බියාවට එල්ල කරන්නට OSAKO හා KAGAWA ප්‍රමුඛ ජපන් ක්‍රීඩකයින් සමත් වුනා.

දෙවන අර්ධයේ නොසිතූ ලෙස වැඩි කාලයක් පන්දුවට එල්ලී සිටියේ ජපානයයි. කොලොම්බියාවට කිසිදු අවස්ථාවක් නොලැබෙන බව පෙනී ගිය පසු ආබාධ අවදානමක් හේතුවෙන් අතිරේක බංකුවේ සිටි සුපිරි ක්‍රීඩක James RODRIGUEZ ද පිටියට එවන්නට කොලොම්බියානු පුහුණුකරු පියවර ගනු ලැබුවා.

(ආබාධ අවධානමක් හේතුවෙන් James RODRIGUEZ අද තරගය ආරම්භ කලේ නැත- FIFA.com)

කෙසේ වුවත් ඔහුගේ ආගමනයෙන් ද තරගයේ වෙනසක් කරන්නට ජපන් ක්‍රීඩකයෝ ඉඩ ලබා දුන්නේ නැත.

73 වන මිනිත්තුවේ දී තරගය උඩු යටිකුරු කරමින් HONDA ගේ ‘corner’ අවස්ථාවක් අලංකාර ලෙස සිය හිසෙන් යොමු කළ OSAKO සුපිරි ගෝලයක් වාර්තා කරමින් වසර 4කට පෙර කොලොම්බියාව ජපානයට අත්කර දුන් දරුණු පරාජයේ පළිය ගැනීමට සමත් වූයේ සියල්ලන් පුදුම කරමින්ය.

(OSAKO තරගයේ ජය තහවුරු කළා-FIFA.com)

අවසාන මිනිත්තු කිහිපයේ කොලොම්බියා ක්‍රීඩකයින් ප්‍රබල උත්සහයක් එල්ල කළ ද තරගය රැක ගැනීමට ආරක්ෂාකාරී ක්‍රීඩා විලාසයක නිරත වූ ජපානය ඉතිහාස ගත ජයක් වාර්තා කිරීමට සමත් වුනා.  

අවසාන ලකුණු තත්වය: කොලොම්බියාව 01 – 02 ජපානය

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • කොලොම්බියාව- J QUINTERO 39’
  • ජපානය – KAGAWA 6 ‘(PEN),  OSAKO 73’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<