2026 පාපන්දු ලෝක කුසලානයේ කණ්ඩායම් 32 පිළිමළුන් පිටුදැකීමේ තරග ඊයේ (29) දිනයෙන් ආරම්භ වුනා.
කැනඩාව සහ දකුණු අප්‍රිකාව
මෙම කණ්ඩායම් ද්විත්වයම පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට ලෝක පිළිමළුන් පිටු දැකීමේ තරග වටයට සුදුසුකම් ලබා ගත් අතර, මෙහි දී කණ්ඩායම් ද්විත්වයම කරට කර සටනක නිරත වෙමින් ඉතා හොඳ තරගයක් ක්‍රියාත්මක කළා.
තරගයේ අවසන් මොහොත තෙක් එකදු කණ්ඩායමක් හී ගෝල වාර්තා කිරීමට සමත් නොවූ අතර, තරගයේ 90+2 මිනිත්තුවේ දී කැනඩා ක්‍රීඩක S. Eustáquio විසින් තරගයේ වාර්තා වූ එකම ගෝලය වාර්තා කරමින් කැනඩාව කණ්ඩායම් 16 තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
ඒත් සමඟින් ම මෙවර ලෝක කුසලානයේ සත්කාරක රටක් ලෙසින් කැනඩාව සිය හොඳම ලෝක කුසලාන ගමන සටහන් කරන අතරේ, දකුණු අප්‍රිකාව ද මෙතෙක් ඉතිහාසයේ සිය හොඳම ලෝක කුසලාන ගමනේ නිමාව සනිටුහන් කළා.
බ්‍රසීලය සහ ජපානය
මෙම තරග වටයේ ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත් පළමු තරගය ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයට පෙර ජපානය ඉතා විශ්වාසයකින් යුතුව මාධ්‍යය ට අදහස් ද දක්වා තිබුණා. තරගය ආරම්භයේ පටන් බ්‍රසීලය වැඩි වශයෙන් පන්දුව පාලනය කළත් ජපානය විසින් සිය ආරක්ෂාව වැඩි කරමින් බ්‍රසීල ඉදිරි පෙළ පාලනය කිරීමට උත්සාහ ගන්නා බව දක්නට ලැබුණා.
ඒ අතරවාරයේ දී තරගයේ 29 වැනි මිනිත්තුවේ දී ජපානය වෙනුවෙන් K. Sano විසින් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර, ඉන් පසුව ඔවුන් තවදුරටත් සිය ආරක්ෂාව තර කිරීමට උත්සාහ කළා.
තරගයේ පළමු අර්ධය තුළ බ්‍රසීලය සම්පූර්ණයෙන්ම පාලනය කළ ජපානය දෙවැනි අර්ධයේ දී ද සිය සුපුරුදු තරග රටාව අනුගමනය කළත්, බ්‍රසීලය සිය සැලැස්ම වෙනස් කරමින් ඉතා ආක්‍රමණශීලී තරග රටාවකට අවතීර්ණ වෙමින් ක්‍රීඩාවේ නියැලුණා. මෙහි දී තරගයේ 56 මිනිත්තුවේ දී Casemiro විසින් ගෝලයක් වාර්තා කරමින් තරගය සම කිරීමට සමත් වූ අතර, තරගයේ 90+6 මිනිත්තුවේ දී ආදේශක ක්‍රීඩකයකු ලෙස පැමිණි G. Martinelli විසින් තරගයේ ජයග්‍රාහී ගෝලය බ්‍රසීලය වෙනුවෙන් වාර්තා කරමින් ජපානයේ ලෝක කුසලාන සිහින බොඳ කිරීමට සමත් වුනා.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා/
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
පැරගුවේ සහ ජර්මනිය
පැරගුවේ කණ්ඩායම ලෝක කුසලානයට පිවිසෙන්නේ 2010 වසරෙන් පසුව වන අතර, ජර්මනිය යනු පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ විශිෂ්ටතම කණ්ඩායමක් ලෙසයි පිටියට අවතීර්ණ වුනේ.
කෙසේ වෙතත් තරගය ආරම්භයේ පටන් ම කණ්ඩායම් දෙකම කරට කර සටනකට අවතීර්ණ වෙමින් ජයග්‍රහණය සොයා යාමට උත්සාහ දැරුවා
තරගයේ 42 වැනි මිනිත්තුවේ දී පැරගුවේ කණ්ඩායම වෙනුවෙන් Julio Enciso විසින් ගෝලයක් වාර්තා කළ අතර, ජර්මනිය වෙනුවෙන් Kai Havertz තරගයේ 54 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා.
මේ අනුව තරගය නැවතත් සම මට්ටමට පැමිණි අතර, මේ අතර වාරයේ දී ජර්මනිය වෙනුවෙන් වාර්තා වූ තවත් ගෝලයක් VAR මගින් අවලංගු කෙරුණා. තරගයේ තීරණය අතිරේක කාලය තුළින් ද ලබා ගැනීමට නොහැකි වූ පසුව දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තෝරා ගැනීමට සිදු වූ අතර, මෙහි දී දඬුවම් පහර අවස්ථා 06ක් දක්වා ම තරගය ක්‍රියාත්මක වුනා. මෙහි දී ජර්මනිය පහර 3ක් සාර්ථක කර ගනිද්දී, පැරගුවේ පහර 04ක් සාර්ථක කර ගනිමින් ලෝක කුසලානයේ ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී පැරගුවේ වෙනුවෙන් දැල් රැකීමේ නිරත වූ Orlando Gillගේ දක්ෂතා විශේෂයෙන්ම කැපී පෙනුණා.
මේ අනුව ජර්මනියට මෙවර ලෝක කුසලානයෙන් ඉවත් වී යාමට සිදු වුනා.
නෙදර්ලන්තය සහ මොරොක්කෝව
මෙම තරගය ද ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගනිමින් ක්‍රියාත්මක වූ අතර, නෙදර්ලන්තය වෙනුවෙන් පළමු සහ එකම ගෝලය තරගයේ 72 වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට Cody Gakpo සමත් වුනා.
එතැන් පටන් නෙදර්ලන්තයට සිය ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීම සඳහා පමණක් සටන් වැදීමට ඉතිරි වී තිබූ නමුත්, මොරොක්කෝ ක්‍රීඩක Issa Diop විසින් තරගයේ 90+1 මිනිත්තුවේ දී නෙදර්ලන්ත ආරක්ෂාව අබිබවා යාමට සමත් වෙමින් තරගය නැවතත් සම මට්ටමට රැගෙන ඒමට සමත් වුනා.
මේත් සමඟින් තරගය අතිරේක කාලය දක්වා ද ඇදී ගිය අතර, එහි දී ද කණ්ඩායම් දෙකම ගෝල වාර්තා නොකිරීම මත තරගයේ තීරණය ලබා ගැනීම සඳහා දඬුවම් පහර ක්‍රියාත්මක කිරීමට සිදු වුනා.
මෙහි දී නෙදර්ලන්තය විසින් පහර දෙකක් සාර්ථක කර ගනිද්දී, මොරොක්කෝව පහර ත්‍රිත්වයක් සාර්ථක කර ගනිමින් තරගය ජය ගැනීමට සමත් වූ අතර, මොරොක්කෝ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ දැල් රකින ක්‍රීඩක Yassine Bounou විසින් ඉතා විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නා.
මේ අනුව නෙදර්ලන්තයට ද මෙවර ලෝක කුසලානයෙන් ඉවතට යාමට සිදු වුනා.
2026 පාපන්දු ලෝක කුසලානයේ කණ්ඩායම් 32 පිළිමළුන් පිටුදැකීමේ තරග වටයේ තවත් තරග ත්‍රිත්වයක් අද සහ හෙට (01) පැවැත්වීමට නියමිතයි.
- අද රාත්‍රි 10.30 – නෝර්වේ සහ අයිවරි කෝස්ට්
- හෙට අලුටම 2.30 – ප්‍රංශය සහ ස්වීඩනය
- හෙට උදෑසන 6.30 – මෙක්සිකෝව සහ ඉක්වදෝරය
එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>






















