එංගලන්තය ඉදිරියට යද්දී පෘතුගාලයෙන් දුර්වල ක්‍රීඩා රටාවක්  

FIFA 2026

1
FIFA 2026

2026 පාපන්දු ලෝක කුසලානයේ 07 වැනි දිනය ද අද (18) උදෑසන නිමාවට පත් වුනා.

ඊයේ (17) රාත්‍රියේ පෘතුගාලය සහ කොන්ගෝ දේශය අතර තරගයෙන් ආරම්භ වී අද දිනය තුළ ද තවත් තරග ත්‍රිත්වයක් ක්‍රියාත්මක වූ අතර, එම තරග අතුරින් එංගලන්තය සහ ක්‍රොයේශියාව අතර තරගයට වැඩි අවධානයක් යොමු වූ බව නොරහසක්.

පෘතුගාලය සහ DR කොන්ගෝ

පෘතුගාලය මෙවර තරගාවලියට සහභාගී වන්නේ ලෝක කුසලානය දිනා ගැනීමට ඉහළ සම්භාවිතාවක් ඇති රටක් ලෙසිනුයි. කෙසේ වෙතත් ඊයේ දිනයේ දී ඔවුන් බලාපොරොත්තු වූ තරම් යමක් සිදු කිරීමට අසමත් වුනා.

තරගයේ 06 වැනි මිනිත්තුවේ දී Joao Neves විසින් පෘතුගාලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර, තරගයේ 45+5 මිනිත්තුවේ දී කොන්ගෝ වෙනුවෙන් Yoane Wissa විසින් ගෝලයක් වාර්තා කළා.

එය කොන්ගෝ දේශය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ වාර්තා කළ පළමු ගෝලය ලෙසයි ඉතිහාසයට එක් වුනේ.

මෙම තරගයේ දී පෘතුගාල ක්‍රීඩක Cristiano Ronaldo විසින් ක්‍රීඩා කළ ආකාරය විශාල ලෙස විවාද තත්වවලට ලක් වෙමින් පවතිනවා.

මේ වන විට Ronaldo විසින් පෘතුගාලය වෙනුවෙන් ප්‍රධාන තරගාවලිවල දී ගෝල රහිතව තරග 10ක් ක්‍රීඩා කර තිබෙනවා. එමෙන්ම ඔහු ක්‍රීඩා කළ අවසන් ලෝක කුසලාන තරග 05 තුළ එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට සමත් වී නැහැ. මෙම තරගය තුළ ඔහු පන්දුව ස්පර්ශ කිරීමට සමත් වුනේ අවස්ථා 25ක දී පමණයි. එය ද ඔහුගේ පාර්ශවයෙන් ඉතා දුර්වල දත්තයක් ලෙසයි සටහන් වන්නේ.

කෙසේ වෙතත් තරගය 1-1ක් ලෙස අවසන් වීම නිසා කොන්ගෝ දේශය ලෝක කුසලානයක පරාජය නොවී සිටීමට සමත් වූ පළමු තරගය ලෙසත් මෙය වාර්තා අතරට එක් වුනා.

එංගලන්තය සහ ක්‍රොයේශියාව

මෙවර තරගාවලියේ මෙතෙක් පැවැත්වුණු තවත් ප්‍රබලයින් අතර සටනක් ලෙස මෙය සැලකිය හැකි.

තරගයේ පළමු අර්ධයේ දී එංගලන්තය වෙනුවෙන් Harry Kane විසින් ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වූ අතර, දෙවැනි අර්ධය තුළ Jude Bellingham සහ Marcus Rashford එක් ගෝලයක් වාර්තා කරමින් තරගය ජය ගැනීමට සමත් වූ අතර, මෙම අතරවාරයේ දී ක්‍රොයේශියාව විසින් තවත් ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වුනා.

මෙය එංගලන්තය විසින් 2002 වසරෙන් පසුව ලෝක කුසලානයක දී ශ්‍රේණිගත කිරීම්වල 15 වැනි ස්ථානයෙන් ඉහළ සිටින කණ්ඩායමක් පරාජය කළ පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක් වුනා.

එමෙන්ම 2014 වසරෙන් පසුව ක්‍රොයේශියාව ලෝක කුසලාන මූලික වටයේ තරගයක් පරාජය වූ පළමු අවස්ථාව ලෙසත් මෙය සටහන් වුනා.

මේ අතර Harry Kane එංගලන්තය වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලි ත්‍රිත්වයක ගෝල වාර්තා කළ දෙවැනි ක්‍රීඩකයා බවට පත් වීමටත් සමත් වීම විශේෂත්වයක්. එමෙන්ම පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම දඬුවම් පහර සාර්ථක කරගත් ක්‍රීඩකයා ලෙස ද ඔහුගේ නම සටහන් වී තිබෙනවා.

එමෙන්ම Bellingham විසින් මෙහි දී වයස අවුරුදු 23 සම්පූර්ණ වීමට පෙර ලෝක කුසලාන ද්විත්වයක ගෝල වාර්තා කළ දෙවැනි ක්‍රීඩකයා ලෙස Peleට පමණක් දෙවැනි වෙමින් වාර්තා අතරට එක් වුනා.

ඝානා සහ පැනමා

මෙම තරගයේ 90+5 මිනිත්තුවේ දී තරගයේ වාර්තා වූ එකම ගෝලය වාර්තා කිරීමට ඝානා කණ්ඩායම සමත් වුනා.

ඒත් සමඟම තරගයෙන් 1-0ක ජයක් ලබා ගැනීමට ඝානා කණ්ඩායම සමත් වූ අතර, මෙය ඔවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ලැබූ 06 වැනි ජය ලෙසයි වාර්තා අතරට එක් වුනේ. මේ අතරම පැනමාව තමන් මෙතෙක් සහභාගී වී ඇති ලෝක කුසලාන තරග 04ම පරාජයට පත් වී තිබෙනවා.

උස්බෙකිස්තානය සහ කොලොම්බියාව

මෙම තරගයේ පළමු අර්ධය තුළ උස්බෙකිස්තානය විසින් කොලොම්බියාවට එරෙහිව ඉහළ සටනක් ලබා දුන්නා. එම අර්ධය තුළ කොලොම්බියාව එක් ගෝලයක් පමණක් වාර්තා කළ අතර, දෙවැනි අර්ධය තුළ ඔවුන් තවත් ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් මෙම කාලය තුළ උස්බෙකිස්තානය වාර්තා කර ගැනීමට සමත් වුනේ එක් ගෝලයක් පමණක් වුවත් එය ඔවුන්ගේ පළමු ලෝක කුසලාන ගෝලය ලෙසයි වාර්තා අතරට එක් වුනේ.

මෙහි දී කොලොම්බියාව වෙනුවෙන්  Luis Diaz විසින් ගෝලයක් සහ Assist එකක් ලබා දුන් අතර, 2014 ලෝක කුසලානයෙන් පසුව එවන් දස්කමක් දැක්වූ පළමු කොලොම්බියානු ක්‍රීඩකයා වීමට ඔහුට හැකි වුනා.

මේ අයුරින් තරගාවලියේ 07 වැනි දිනයට අදාළ තරග නිමාවට පත් වනවා. එමෙන්ම මේ වන විට තරගාවලියට සහභාගී වන කණ්ඩායම් සියල්ලම එක් තරගය බැගින් ක්‍රීඩා කර අවසානයි.

තරගාවලියේ 08 වැනි දිනය සඳහා ද තරග 04ක් පැවැත්වීමට නියමිතයි.

  • අද රාත්‍රි 9.30 – චෙක් සහ දකුණු අප්‍රිකාව
  • හෙට අලුයම 12.30 – ස්විස්ටර්ලන්තය සහ බොස්නියා
  • අලුයම 3.30 – කැනඩාව සහ කටාර්
  • උදෑසන 6.30 – මෙක්සිකෝව සහ දකුණු කොරියාව

එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>