සුනාමියෙන් වැළලිය නොහැකි වූ දේවපතිරාජයන්ගේ දක්ෂතා

507

බ්‍රිතාන්‍ය ජාතිකයන් ඇතුළු රටවල් කිහිපයක් නත්තල් දිනට පසු දා එනම් දෙසැම්බර් 26දා යොදාගනු ලබන්නේ ඉතා සැහැල්ලුවෙන් සහ සැනසිල්ලේ ගත කිරීමට ය. එම දිනය ඔවුන් හඳුන්වන්නේ “බොක්සිං ඩේ” යනුවෙනි

මෙහි අතීතය වසර 800ක තරම් ඈත ය. බොක්සිං ඩේ ආරම්භ වීමට හේතු වී ඇත්තේ ඉතා පහන් හැඟීමකි. පුණ්‍යාධාර ලෙසින් මුදල් සහ ද්‍රව්‍ය රැස් කිරීම සඳහා සෑම පල්ලියකම කැටයක් තැන්පත් කර තිබේ. මේ පෙට්ටි නිල වශයෙන් විවෘත කරනු ලබන්නේ දෙසැම්බර් 26දා ය. අනතුරුව එවා හී ඇති මුදල් සහ එකතු කරනු ලබන වෙනත් ද්‍රව්‍ය අඩු ආදායම්ලාභි පවුල් වෙත බෙදා දීම් සිදු කර සියලු දෙනා සැහැල්ලුවෙන් සහ සැනසිල්ලෙන් සිටිනු ලැබේ. කතාව නම් “Box in Day” පසුව බොක්සිං ඩේ වූ බවය.

කතාව කුමක් වූවත් මෙම දිනය මීට වසර 13කට පෙර 2004 වසරේ දී ශ්‍රී ලාංකිකයන් වන අපට ගෙන ආවේ සැහැල්ලුව හා සැනසිල්ල නම් නොවේ. ඒ සුනාමි ව්‍යවසනය හේතුවෙනි.

සුනාමි ව්‍යසනය ක්‍රීඩාවකට අදාළ වෙන්නේ කෙසේ දැයි ඔබ සිතනු ඇත. ඔබට සිතන්නට බොහෝ දේ ඉතිරි කරනු ඇත. සටහනේ එන ක්‍රීඩකයන්ගේ නොපසුබට උත්සාහය, කැපවීම හා උද්යෝගය ඊට මඟ පාදනු ඇත. ThePapare.com අද සටහන සුනාමියෙන් විනාශ වී යළි නැගී සිටී රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ විශේෂයෙන්ම දේවපතිරාජ නම බැබළවූ එහි ක්‍රිකට් ක්‍රීඩාව ගැන ය.

සහසක් අවලාද මැද…

“සියලු වැරදිවල වගකීම ඔබ ගත යුතුය”. නිකරුණේ මා මෙසේ ඔබට කිවහොත් ඔබේ ප්‍රතිචාරය මාගේ කන් පිරෙන…

එකල දේවපතිරාජය පිහිටියේ ගාල්ල කොළඹ මාර්ගයටත් මහා සාගරයටත් මැදිව පිහිටි තීරුවේ ය. පළලින් මීටර් 30-40ක් වූ එම පටු ඉඩමේ මීටර් 200ක් පමණ දුරකට තැන තැන තැබූ කෝච්චි පෙට්ටි මෙන් පාසල දැකිය හැකි විය. සුනාමියෙන් විනාශ වූ දේවපතිරාජය අJත් තැනක ස්ථාපිත වන්නේ ය. ඒ ගාලු පාරෙන් රට තුළට වන්නට සැතපුම් 1 ½ක් පමණ ගිය තැන ය. එය සම්පූර්ණයෙන්ම ජපන් සහයෝගීතා ක්‍රමය යටතේ ලැබුණ ආධාර මතය.

 

සුනාමි ව්‍යවසනයට පෙර පාසලේ ඡායාරූපයක්

පාසලට නම් තැබීමේ දී කාලිංග මාඝ යුද්ධයේ දී ලංකාද්වීපය බේරා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී එය ජය ගැනීමට නායකත්වය දුන් දෙවැනි පැරකුම් රජුගේ අමාත්‍ය මණ්ඩල සෙනෙවියෙක් වෙමින් කළුතර කළුගංතොට සිට කතරගම කුඹුක්කන් ඔය දක්වා වූ ප්‍රදේශය පාලනය කළා වූ දේවපතිරාජයන්ගේ නම තබා තිබේ. දේවපතිරාජ විද්‍යාලයේ ඉතිහාසය ආරම්භ වෙන්නේ 1920 වසරෙනි. ප්‍රදේශයේ කීර්තිමත් දානපතියෙක් වූ ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඇරඹූ මෙම විද්‍යාලය, දකුණු පළාතේ ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම් කරනු ලැබූ පළමු බෞද්ධ පාසල වන්නේ ය.

දේවපතිරාජ ඇමති යුද්ධයට සමත් වුවා සේ ම දේවපතිරාජ ක්‍රීඩකයෝ ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයෝ වෙති. දේවපතිරාජ ඇමති යුද පිටියේ දී ප්‍රතිවාදීන් අඩපණ කිරීමට කළ සැලසුම්වලට නොදෙවෙනිව දේවපතිරාජ ක්‍රීඩකයෝ ප්‍රතිවාදී කණ්ඩායම් පරාජය කිරීමට සැලසුම් යොදති.

නැවත ගොඩ නැඟුණු පාසල

“ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් වගේම අධ්‍යාපනයෙන් ද අප ඉදිරියෙන් පසු වෙනවා. අධ්‍යාපනය මට්ටම අනුව සාමාන්‍ය පෙළ 75%ක පමණ ප්‍රතිශතයක් සමත් වෙන මට්ටමේ සිටිනවා. විෂය සමගාමී මෙන්ම බාහිර කටයුතුවල දී ද විද්‍යාලයේ දරු දැරියෝ ඉහළ දක්ෂතා දක්වනවා. ක්‍රිකට්, රගර්, පාපන්දු සහ මලල ක්‍රීඩාවන්ගෙන් අප ලැබූ ජයග්‍රහණ සුවිශේෂයි. විශේෂයෙන්ම බාලිකා ක්‍රිකට් කණ්ඩායම වසර දෙකක් පිට පිටම සමස්ත ලංකා ශූරතාව දිනා සිටිනවා.” විද්‍යාලයීය වත්මන් විදුහල්පති එම්. ඩබ්ලිව්. ආර්. අල්විස් මහතා පැවසුවේ ය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් බැබළෙන දේවපතිරාජ ක්‍රිකට් පුහුණුකරුවන් සේ කටයුතු කරනුයේ රංජන් ලසන්ත ද සිල්වා සහ මහේෂ් සඳරුවන් මහත්වරුන් ය. විද්‍යාලයේ පැවතෙන අනෙකුත් ක්‍රීඩාවන් තවමත් සුවිශේෂී මට්ටමට ළඟා නොවූව ද ඔවුන් ද හෙට දිනයේ ජාතික කිරුළකට ළඟා වීමේ අභිප්‍රායෙන් කඳවුරු ලා සිටිති. රගර් පුහුණුකරු ලෙසින් ළහිරු නුවන් ද සිල්වා ද, පාපන්දු පුහුණුකරු ලෙසින් රොයිල් ක්‍රිශාන්ත ද සහ මලල ක්‍රීඩා පුහුණුකරු ලෙසින් චතුරංග දුලින් මෙන්ඩිස් එකී බලාපොරොත්තුවේ පසුවෙති.

සුනාමි ව්‍යවසනය දේවපතිරාජයේ උපන් බිම අහිමි කළ ද වර්තමානයේ ස්ථාපිත බිම සේ ම පරිසරය ද ඉතා මනරම් ය. නොඋස් කඳු සහිත පරිසරයක් වසා පැතිරි ඇති විද්‍යාලයේ අඩුවකට වෙත්නම් ඒ සුනාමියෙන් පෙර ද පැවති අඩුවක් වූ ක්‍රීඩා පිටියක අඩු පාඩුවයි.

දේවපතිරාජයේ ක්‍රිකට් ආරම්භ වෙන්නේ 1997 වසරේ දී ටී. ඒ. සී. එන්. ගුණසේකර විදුහල්පති යටතේ ය. ප්‍රථම ක්‍රිකට් භාර ආචාර්යවරයා ලෙසින් සටහන්ව ඇත්තේ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පී. එච්. ආරියවංශ මහතා ය. එවකට පුහුණුකාරිත්වයේ අංජුල මෙන්ඩිස් මහතා කටයුතු කර ඇත.

දේවපතිරාජ ක්‍රිකට් ආමරිය

පාසල් ක්‍රිකට් පිටියේ ජය කෙහෙළි නංවන විද්‍යාලයන් කොතෙකුත් වෙති. මේ පාසල් අතුරිනුත් තම දක්ෂතා වසර කිහිපයක් තිස්සේම අඛණ්ඩව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන එන්නේ නම් ඒ කලාතුරකිනි. එමෙන්ම මේ දක්ෂතාවන් බාලක බාලිකා දෙඅංශයෙන්ම දක්වන්නේ නම් ද ඒ කලාතුරකිනි. එසේම මේ සියල්ලම කරනුයේ ඉතාම අඩු පහසුකම් යටතේ වී නම් ඒ ද කලාතුරකිනි. මේ සියල්ල දේවපතිරාජයට පොදු ලක්ෂණයන් ය.

ඉතා අඩු පහසුකම් යටතේ ආරම්භ වූ දේවපතිරාජ ක්‍රිකට් ක්‍රීඩාව අවස්ථා කිහිපයක දී ම කප් ගැසූව ද, පහසුකම් අද ද ඇත්තේ පෙර මට්ටමේ ම ය. ඔවුන්ගේ පුහුණු පිටිය වන්නේ රත්ගම ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයයි. එහි නිලධාරීන් දේවපතිරාජ ක්‍රීඩාව අංක එක තැනලා විශේෂත්වයක් දැක්වීම විශාල සේවයකි.

දේවපතිරාජ ක්‍රිකට් ආමරිය

දේවපතිරාජයන්ගේ ක්‍රිකට් ආම්පන්න රඳවා ඇති “ආමරිය” ද හරි අපූරු ය. එහි නිර්මාතෘවරුන් වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහ ඔවුන්ගේ දෙමාපියන් ය. ඒ උඩින් ටකරන් සෙවිලි කරන ලද ලීයෙන් ආවරණය කළ කුඩා මඩුවකි. අද දවසේ ඔවුන් සුපිරි පාසල් පවා විශ්මයට පත් කරන දක්ෂතා දක්වන්නේ එකී මඩුවේ සිට පැමිණෙමිනි.

දේවපතිරාජ ඉතිහාසයේ ක්‍රීඩාවන්ගෙන් ලැබූ ඉහළ ම ජයග්‍රහණය 2016 සහ 2017 වසර ද්විත්වයේම වයස අවුරුදු 19න් පහළ බාලිකා සමස්ත ලංකා ක්‍රිකට් ශූරියන් වීමයි. ඔවුන් එම අවස්ථා දෙකේ දී ම පරාජය කරනු ලබන්නේ පහසුකම් සපිරි සුපිරි මට්ටමේ පාසල් කණ්ඩායම් ය. 2016 වසරේ දී නිලක්ෂණා සඳමිණි යටතේ ද 2017 වසරේ දී සත්‍යා සංදීපනී යටතේ ද ඔවුන් මෙම ශූරතා දිනා ගන්නීය.

දේවපතිරාජ බාලිකා ක්‍රිකට් ආරම්භ වන්නේ 2011 වසරේ දී ය. ඒ මෙරට දී පැවති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ක්‍රියාත්මක කෙරුණු ක්‍රිකට් ප්‍රවර්ධන වැඩ සටහන යටතේ ය. ඒ වන විට විදුහල්පති ධූරයේ බන්දුල ජයසිංහ මහතා කටයුතු කළ අතර බාලිකා ක්‍රිකට් ආරම්භ කෙරුණේ ටේප් බෝල් ක්‍රිකට් ක්‍රීඩාවෙනි. අනතුරුව වැඩ බලන විදුහල්පති ලලිත් ද සිල්වා සමරසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ 2012 වසරේ දී ලෙදර් බෝල ක්‍රිකට් වංශකතාව ආරම්භ වන්නේ ය.

බාලිකා ක්‍රිකට් ආරම්භ වී තවමත් ළදරු අවදිය වූව ද නිමාවන වසරේ තායිලන්තයේ පැවති වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම නියෝජනය කිරීමට ක්‍රීඩිකාවෝ 5 දෙනෙක් වරම් ලැබුවෝ ය. ඒ පාරමී මහිංසලා, ඉරේෂා චතුරානි, සත්‍යා සංදීපනී, කවීෂා දිල්හානි සහ උමේෂා නිකේෂනී ය.

රංජන් ලසන්ත සහ මහේෂ් සඳරුවන්

මෙම කණ්ඩායමම ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටස නියෝජනය කරමින් ”සීනිගම ලේඩීස්” නමින් ඉදිරිපත් වී පසුගිය වසරේ ශූරියන් වූහ. ඔවුන් මේ වසරේ දී පළමු කාණ්ඩයෙන් තරග වදිනු ඇත. කුෂිල් ගුණසේකර මහතාගේ අධීක්ෂකත්වයෙන් යුත් ගුණ ජය සතුට පදනම මෙම කණ්ඩායමේ භාරකාරත්වය දරයි.

එමෙන්ම මේ බාලිකාවෝම නිමා වන වසරේ ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ සැහැල්ලු පන්දු සමස්ත ලංකා ශූරතාව ද දිනා ගනු ලබති. එමෙන්ම එල්ලේ ක්‍රීඩාවෙන් ද දක්ෂතා දක්වන මෙම කණ්ඩායම දැනට වසර කිහිපයක් තිස්සේම සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ වාර්තා කර තිබීම සුවිශේෂී ය.

“අපි සුවිශේෂී කණ්ඩායමක් කියල කවදාවත් සිතුවේ නැහැ. නමුත් අපේ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ගැන අපි විශ්වාසය තැබුවා. ඔවුන් කිසිදු පහසුකමක් නැතිවයි මේ තත්ත්වයට ඇවිත් තියෙන්නේ. කැපවීම සහ උනන්දුව තමයි ඔවුන්ගේ ප්‍රධාන බලවේගය.” මෙසේ පවසන්නේ බාලිකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මහේෂ්  සඳරුවන් මහතා ය. කණ්ඩායම් භාර ආචාරිණි ලෙස වර්තමානයේ දිනූෂා මනෝජි මෙනෙවිය කටයුතු කරන අතර ආරම්භක කණ්ඩායම් භාර ආචාරිනිය ලෙස එම්. ඩබ්ලිව්. චමිලා මහත්මිය කටයුතු කළාය.

දේවපතිරාජයේ බාලිකා දක්ෂතා මේ ලෙසින් ගොනු වෙද්දී බාලක දක්ෂතා ද ගොනු කිරීම වටී. ඒ අනුව ඔවුන් පළමුවෙන්ම සමස්ත ලංකා කුසලානයක් දිනා ගන්නේ සුනාමියට හරියටම මාස තුනකට පෙර 2004 සැප්තැම්බරයේ දී ය. වයස අවුරුදු 16න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයෝ පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ අනුශූරයන් වෙමිනි.

එකී ජයග්‍රහණය වාසනාවත් සමඟ ආ අවාසනාවක් සේ විණි. ඉතා අපහසුවෙන් ගොඩනගා ගත් ක්‍රිකට් ක්‍රීඩාව සුනාමියත් සමඟින් කඩා වැටුණේ බලා සිටිය දී ය. ඒ වන විට විදුහල්පති ලෙසින් ආනන්ද වීරවංශ මහතා කටයුතු කළ අතර ක්‍රිකට් භාර ආචාර්යවරයා ලෙසින් වයි. නිශාන්ත කුමාර මහතා ද පුහුණුකරු ලෙසින් රංජන් ලසන්ත ද සිල්වා මහතා ද කටයුතු කළහ.

“සුනාමියෙන් අපේ ගම්බිම් දේපළ විශාල ලෙස විනාශ වුනත් ජීවිත හානි සිදුවුණේ ඉතා අඩුවෙන්. මේක අපිට වෙස්වළාගත් ආශීර්වාදයක් වුනා. මොකද අපිට අපිත් එක්ක හිටපු ළමුන් සිටියා. නැති වුන දේ ට වඩා අපිට ඉතිරි වූ දේ ගැන විශාල වගකීමක් තිබුණා. අපි වසර කිහිපයක් තිස්සේ ගොඩනැගූ දේවල් ඉතා ක්ෂණයකින් විනාශ වුනා. මේක දරා ගන්න බැහැ තමයි. සියල්ල ගොඩනගන්න කාලයක් යන බැව් අපි දැන සිටියා. නමුත් අපි ඊට ඉතා සාර්ථකව මුහුණ දුන්නා. ඉතා ඉක්මනින් ළමුන්ගේ තත්ත්වයන් වර්ධනය කරන්න අපිට හැකි වුනා. එහි දී ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ තරගාවලි සංවිධානය කිරීම බොහෝ ඉවහල් වුනා. අපිට අවශ්‍ය වුණේ සුනාමිය ළමුන්ගේ මනසින් ඈත් කරන්න. අපි ඊට පසු වසරේ සිටම පාසල් ක්‍රිකට් තරගාවලි නියෝජනය කළා. එමගින් ඔවුන්ගේ සිතුවිලි ක්‍රිකට් මත තැබුවා. මේ වන විට අපේ ළමුන් සුනාමි තත්ත්වයෙන් සහමුලින්ම මිදිලා ඉන්නේ. ඔවුන්ගේ දැන් ලෝකය ක්‍රිකට්.” දේවපතිරාජ විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්ය වයි. නිශාන්ත කුමාර මහතා පැවැසුවේ ය.

විනාශ වී ගිය පාසල

ඒ අනුව දේවපතිරාජ ක්‍රීඩකයෝ පාසල් ක්‍රිකට් තරගාවලියන් හී මේ වන විට වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ සහ 17න් පහළ වයස් කාණ්ඩවලින් පළමු කොටසින් තරග වදිති. වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම තරග වදින්නේ දෙවැනි කොටසේය.ඔහු පැවසූ අයුරින් සුනාමියෙන් අනතුරුව දේවපතිරාජයන්ට නැවත පාසල් ක්‍රිකට් මත සුවිශේෂී සටහන් තබන්නට වසර 7ක් ගත වන්නේය. එහි දී පුහුණුකරු රංජන් ලසන්ත මහතා සුවිශේෂී කාර්ය බාරයක් කළ බවයි ඔහු පැවසුවේ.

ඒ කෙසේ වෙතත් ඔවුන් පසුගිය කාලයේ දී පාසල් ක්‍රිකට් පිටියේ සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් වූහ. ඒ අනුව ඔවුන් ළහිරු මධුශංකගේ නායකත්වය යටතේ 2013/14 වසරේ දිවයිනේ නැගී එන දක්ෂතම කණ්ඩායම ලෙසින් ද ප්‍රසන්න කරුණාවංශගේ නායකත්වය යටතේ 2015/16 වසරේ දී දිවයිනේ නැගී එන දක්ෂතම පාසල් කණ්ඩායම ලෙසින් ද සම්මාන උළෙල දෙකක දී  පාසල් ක්‍රිකට් වේදිකාවේ සම්මාන ලබන්නේය.

එමෙන්ම 2011/12 වසරේ පිට පළාත් දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් තරිඳු කෞෂාල් සම්මාන ලබන්නේය. දේවපතිරාජ ක්‍රිකට් ඉතිහාසයෙන් ජාතික කණ්ඩායම නියෝජනය කළ පළමු ක්‍රීඩකයා වන්නේ ද කෞෂාල් ය. ඊට අමතර ව 2015/16 වසරේ දී රවීන් යසස් පිට පළාත් දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් ද කඩුලු රකින ක්‍රීඩක රමිඳු නිකේශල පිට පළාත් දක්ෂතම පන්දු රකින්නා ලෙසින් ද සම්මානයට පාත්‍ර වී ඇත.

“මේ සෑම ක්‍රීඩකයෙක්ටම සුනාමිය ගැන යන්තම් හෝ මතකයක් තියෙනවා. ඔවුන්ගේ පවුල්වල කිසියම් හෝ කෙනෙක් මේ විපත්තියේ ගොදුරු වුනා. සුනාමියට පෙර සිටි කණ්ඩායම නැවත පුහුණුවීම්වලට ගෙන්වා ගැනීම තමයි මා විදි අසීරුම කටයුත්ත. ඇත්තටම ඔවුන් අතරමං වෙලා ඒ දේ කියා ගන්න බැරි තත්ත්වයකින් වගේ හිටියේ. ඒක හරි අපහසු කාලයක්. සමහර ළමුන් පිට්ටනියට ගෙන්න ගන්න මට ගෙවල්වලට යන්න වුනා. ඒ ආවත් ඔවුන් එක සිතුවිල්ලක රඳවගන්න අපහසු අවස්ථා තිබුණා. මේ නිසා අපිට හිතුවටත් වඩා කාලයක් ගියා ඔවුන්ගේ මානසික තත්ත්වයන් ගොඩ නගාගෙන ක්‍රිකට්වලට යොමු කරන්න. ඒ කාලයත් සමග බැලුවහම අද ඇත්තට ම අපිට සතුටු වෙන්න පුළුවන් වාතාවරණයකුයි තියෙන්නේ.” ඒ දේවපතිරාජ ක්‍රිකට් ලෝකයට නිරාවරණය කළ පුහුණුකරු රංජන් ලසන්ත ද සිල්වා සුනාමියත් සමඟ ගොඩ නැගූ ක්‍රිකට් ගැන කියූ කතාව ය.

අප පිච්චි අළු වී විනාශ වී ගොස් නැවත ඒ අළු මතින් උපත ලද ෆිනික්ස් කුරුල්ලෙක් ගැන අසා තිබේ. ඒ මිත්‍යා මතයකි. මෙය මිත්‍යා මතයක් වූව ද එමගින්  කියා දෙන්නට තටමන කතාව බැහැර කිරීමේ කිසිදු හැකියාවක් අපට නැත. ඒ එවැනි කතා බොහොමයක් මේ මිහිපිට සත්‍ය වී ඇති බැවිනි.

රත්ගම දේවපතිරාජයේ කතාව ද එවැන්නකි. එකී ඉතිහාසය ගොඩ නැගීමේ දී ධෛර්යවන්තව කටයුතු කළ සියලු මිනිසුන් වෙනුවෙන් ගෞරව දැක්වීම උදෙසා ThePapare.com මේ ඉඩ වෙන් කළෙමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<