ක්‍රිකට් රහ වැටුණු, ජලයේ දී වේගවත් අපේ කාලයේ පිහිනුම් දෙවියා

550

ලෝක ක්‍රීඩාවේ ස්වර්ණමය තරගාවලිය ලෙසින් අදටත් සැලකෙන්නේ ඔලිම්පික් තරගාවලිය. මේ වන විට ලෝකයේ රටවල් 200කට අධික සංඛ්‍යාවක අති දක්ෂම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන ඔලිම්පික් තරගාවලියට තියෙන්නේ දීර්ඝ ඉතිහාසයක්. එහි සමාරම්භය කොච්චර ඈත ද කිව්වොත් 18 වැනි ශත වර්ෂය දක්වා විහිදෙනවා.

ඔලිම්පික් කියලා තරගාවලියක් මුලින්ම පැවැත්වෙන්නේ 1894 දී. ඒ ග්‍රීසියේ ඇතෑන්ස් නුවර. වසර 4කට වරක් පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියක මොකක් හරි පදක්කමක් දිනනවා කියන්නේ ලේසි පහසු දෙයක් නොවෙයි. නිදහස් රටක් විදියට ශ්‍රී ලංකාව මුලින්ම ඔලිම්පික් තරගාවලියකට සහභාගි වෙන්නේ 1948 දී වුනත්, මේ දක්වාම අපි දිනලා තියෙන්නේ රිදී පදක්කම් 2ක් විතරයි. ඩන්කන් වයිට් 1948 වසරෙදි ලංකාවට පළමු ඔලිම්පික් පදක්කම් දිනා දුන්නට පස්සේ ඊළඟ පදක්කම දිනන්න වසර 42ක් කල් බලාගෙන ඉන්න අපිට සිද්ධ වෙනවා. වයිට්ගෙන් පස්සේ ඔලිම්පික් පදක්කමක් දිනුව එකම ක්‍රීඩිකාව තමයි සුසන්තිකා ජයසිංහ. 2000 වසරෙ සිඩ්නිහි පැවති තරගාවලියෙදි මීටර 200 ඉසව්ව සුසන්තිකා ජය ගත්තට පස්සේ ගෙවුණු කාල සීමාවෙදි කාටවත් ඔලිම්පික් පදක්කමක් අහලකටවත් යන්න බැරි වුනා. ඒකෙන්ම පේනවා ඔලිම්පික් පදක්කමක් දිනන එක කොච්චර අමාරු ද කියලා.

21 වසරකට පෙර එංගලන්තය දණින් වැට්ට වූ ශ්‍රී ලාංකිකයෝ

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැයි 30 වැනිදා එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිතයි…

ලෝක වැඩිම ජනගහනයක් ඉන්න රටවල් අතරින් ඉන්දියාව ඉන්නේ 2 වැනි තැන. ඒ වගේම ඔවුන්ගේ පළමු ඔලිම්පික් සහභාගිත්වය 1900ට තරම් ඈතකට දිව යනවා.  එදා ඉඳලා මේ වෙනකම්ම ඔලිම්පික් නියෝජනය කරපු ඉන්දියාව තවම දිනලා තියෙන්‍නෙ පදක්කම් 28ක් විතරයි. ඒකෙනුත් රන් පදක්කම් තියෙන්නේ 9යි. ඒත් මේ කතාවට අදාළ වෙලා ඉන්න කෙනා ඔය කියන ඔලිම්පික් තරගාවලිවල දී සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක් කරපු කෙනෙක්. ඒ කියන්නෙ රටක් වශයෙන් මුළු ඉන්දියාවම ඔලිම්පික් වලින් දිනලා තියෙන පදක්කම් සංඛ්‍යාවට වඩා වැඩියෙන් වූ පදක්කම් සංඛ්‍යාවක් මේ කියන කෙනා තනියෙන් දිනලා තියෙනවා. අන්න ඒකයි මෙයා අසාමාන්‍ය කෙනෙක් කියලා කියන්න හේතු වුණේ. ඒ අසාමාන්‍ය කෙනා තමයි ‘මයිකල් පෙල්ස්ප්’.

‘පෙල්ප්ස්’ නම කිව්ව ගමන් එයාව අඳුන්වන්න අටුවාටීකා ඕන නෑ. ලෝකයේ බොහෝ ක්ෂේත්‍රවල තම ආධිපත්‍ය වැඩියෙන්ම තහවුරු කරගෙන සිටිනවා වගේම ක්‍රීඩාවේ ආධිපත්‍ය තමන් සතු කරගෙන සිටින ඇමරිකාවෙන් පිහිනුම් ඉසව්ව නියෝජනය කරපු පෙල්ප්ස්ව සලකන්නේ එදා මෙදා තුර ඔලිම්පික් ඉතිහාසයේ පායපු සුපිරිම තරුව විදියටයි.

පෙල්ප්ස් පිහිනුම් ඉසව්වක දී ජයග්‍රහණයක් වාර්තා කිරීමෙන් අනතුරුව

රටක් වශයෙන් ඉන්දියාව මුළු පදක්කම් 28ක් දිනා ගනිද්දී පෙල්ප්ස් තනියම පදක්කම් 28ක් දිනලා තියෙනවා. ඒකෙනුත් රන් පදක්කම් විතරක්ම 23ක්. රිදී 3ක් සහ ලෝකඩ 2කුත් දිනා ගෙන සිටින මයිකල් පෙල්ප්ස් තමයි එදා මෙදා තුර කාලෙදි ලොව වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනාගෙන සිටින ක්‍රීඩකයාගේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ. ඉන්දියාව විතරක් නොවෙයි පෙල්ප්ස් මේ වන කොට දිනලා තියෙන පදක්කම් සංඛ්‍යාව ලෝකෙ අනෙක් රටවල් දිනලා තියෙන පදක්කම් එක්ක සංසන්දනය කරනකොට රටවල් 161ක්ම ඉන්නේ පෙල්ප්ස්ට පහළින් කියලා කිව්වොත් පිළිගන්න පුළුවන් ද? ඒත් ඇත්ත ඒකයි. පෙල්ප්ස් දිනලා තියෙන පදක්කම් අතරින් රන් පදක්කම් 13ක්ම කේවල ඉසව්වලින්. ඒ වගේම කේවල ඉසව්වලින් ඔහු දිනලා තියෙන මුළු පදක්කම් ගණන 16ක්.

පෙල්ප්ස් මුලින්ම ඔලිම්පික් වරම් ලබන්නේ 2000 වසරෙදි තිබුණ සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී. ඒ වෙනකොට පෙල්ප්ස්ගේ වයස යන්තම් අවුරුදු 15 ඉක්මවූවා විතරයි. ලෝකෙ ළාබාලතම ඔලිම්පික් තරගකරුවා විදියට පළමු තරගාවලියෙදිම වාර්තා අතරට එක්වන්න පෙල්ප්ස් වාසනාවන්ත වෙනවා. 2000 දි ඔලිම්පික් එන්න වරම් ලැබුවත් පෙල්ප්ස්ගේ හොඳම තරගාවලිය වෙන්නේ 2008 තරගාවලිය. චීනයේ බෙයිජිං නුවර තිබුණ ඒ තරගාවලියෙදි විතරක් පෙල්ප්ස් රන් පදක්කම් 8ක් දිනා ගන්නවා. ඒක ලෝක වාර්තාවක්.

පෙල්ප්ස් බිඳ හෙළනු ලැබුවේ 1972 දි ජර්මනියේ පැවති  මියුනිච් තරගාවලියේ දී පිහිනුම් ඉසව්වෙන්ම රන් පදක්කම් 7ක් දිනා තරගාවලියක වැඩිම රන් පදක්කම් ලාභියා විදියට මාර්ක් ස්පිට්ස් තියලා තිබ්බ ලෝක වාර්තාව.  පෙල්ප්ස්ගේ දිවියේ ස්වර්ණමයම තරගාවලිය ඒ තරගාවලිය කිව්වත් වැරදි නෑ. මේ පෙල්ප්ස්ගේ තරග කරන කාලය තුළ තියලා තියෙන අතලොස්සක් වාර්තා විතරයි. ඔක්කොම කියන්න ගියොත් ලියල ඉවරයක් කරන්න බැරි තරම් වාර්තා පෙල්ප්සේ නම ඉදිරියෙන් සටහන් වෙලා තියෙනවා.

ඉන්දියාවෙම දැලි ගෑ අශ්වින්ගේ ‘මන්කාඩ’ය

එය 1987 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ නවවැනි තරගයයි. ස්ථානය ලාහෝරයේ ගඩාෆි ක්‍රිකට්…

ඒත් මේ ටික නම් සටහන් කරන්නම ඕන. ඒ තමයි පෙල්ප්ස්ගේ ක්‍රීඩා කාල සීමාව තුළ ඔහුගේ නමින් ගිනස් වාර්තා 26ක්ම සටහන් වී තිබීම. ඒ වාර්තා 26 මොනවද කියන එක මේ වෙලාවේ සටහන් නොකළත් අන්තර්ජාලයට ගොස් පෙල්ප්ස්ගේ විකිපීඩියා එක බැලුවොත් ඒ සියලු තොරතුරු ඒ විදියටම පිළිවෙළට සටහන් වෙලා තියෙනවා.

1985 ජුනි මස 30 වැනිදා මෙලොව එළිය දැකලා තියෙන පෙල්ප්ස් අඩි 6කුත් අඟල් 4ක උසින් යුක්ත අයෙක්. පියාසර කරන මාළුවා කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මේ විශිෂ්ටයා, පිහිනුම් ක්‍රීඩාවෙන් ලෝකෙට දීලා තියෙන දේට ඇගැයීමක් වශයෙන් ඔහු උපන් බෝල්ටිමෝර්හි මාවතක් මයිකල් පෙල්ප්ස් මාවත කියලා නම් කිරීමට ඇමරිකානු රජය පියවර ගෙන තියෙනවා.

අවුරුදු 4කට වරක් පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියක දී පදක්කමක් දිනා ගන්නවා කියන්නේ ඒ ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට හිමි වන්නේ විශාල වටිනාකමක්. ඒ ඒ රටවලින් ලැබෙන මුදල් වගේම ප්‍රචාරක සන්නාම තුළින් කෝටි ගණන් මුදල් ඉපැයීමේ අවස්ථාව උදාවෙන නිසා. එහෙම එකේ පදක්කම් 28ක් දිනාගත්ත කෙනෙක්ට ඔය කියන දේවල් ආදේශ කරාම ලැබෙන ගාණ හිතාගන්න පුළුවන් ද? විදෙස් වාර්තාවල කියන ආකාරයට පෙල්ප්ස් එක වසරකට විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 55ක් පමණ ආදායමක් ලබනවා කියලා තමයි කියන්නේ.

ක්‍රීඩාවට සමුදීලා ඉන්න පෙල්ප්ස් මේ වන විට ගෙවා දමමින් ඉන්නේ තම 35 වැනි විය.  රනින් සැරසුණු තරග දිවියට ඔහු සමු දුන්නේ රියෝද ජැනයිරෝ නුවර 2016 දී තිබුණු ඔලිම්පික් තරගාවලියෙන්. පෙල්ප්ස්ගේ අවසන් තරගාවලියෙදි හරි අපූරු සිදුවීමක් වුනා. ඒ පිහිනුම් ක්‍රීඩාවෙන් මුලු ලෝකෙම දිනලා හිටපු පෙල්ප්ස්, තම සමුගැනීමේ තරගයෙදි 21 හැවිරිදි ආධුනික ක්‍රීඩකයකු හමුවේ පරාජයට පත්වීම. ඒ ඉසව්වෙන් පස්සේ තිබ්බ මාධ්‍ය හමුවේ දී රන් පදක්කම දිනුව ජෝසෆ් ස්කූලිං, කිව්ව දෙයක් ගැන මුළු ලෝකයේම අවධානයට ලක් වුනා. ජෝසෆ්ගේ වීරයා වෙලා ඉඳලා තියෙන්නේ පෙල්ප්ස්.

ඒ හින්දම 2008 වසරෙ දී චීනයේ තිබුණු ඔලිම්පික් තරගාවලිය නරඹන්න ගිය ජෝසෆ් අමාරුවෙන් හරි පෙල්ප්ස් එක්ක ඡායාරූපයක් අරගත්ත බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. ඒ වෙනකොට ජොසෆ්ගේ වයස අවුරුදු 15ක්. කොහොම හරි තමන් සතුව තිබුණ අධිෂ්ඨානශීලීත්වය නිසාම ක්‍රීඩා ලෝකයේ වීරයා වෙලා හිටපු කෙනාව, ක්‍රීඩාවෙන් සමුගන්න කලින් පරාජය කිරීමේ වාසනාව ජෝසෆ්ට හිමි වුනා.  අවුරුදු 8කට පෙර තමන් සමඟ ඡායාරූපයක් ගත්ත මේ පුංචි කොලු ගැටයා, තමන්ට අභියෝගයක් වෙයි කියලා කවදාවත් පෙල්ප්ස් නොසිතන්නට ඇති කියලා තමයි ඒ ඡායාරූපයත් එක්කම එවකට මාධ්‍ය වාර්තා කර සිටියේ.

පෙල්ප්ස් පරාජයට පත්වූ ජෝසෆ් ස්කූලිං සමඟ 2008 වසරේ දී ගත් ඡායාරූපය

ජෝසෆ් දින්න ඒ රන් පදක්කම, සිංගප්පූරු ඉතිහාසයේ දිනූ පළමු ඔලිම්පික් රන් පදක්කම විදියට සටහන් වුනා. එතැන දී ජෝසෆ් කියලා තියෙන්නේ “මට ඕන වුණේ ඔහු (පෙල්ප්ස්) වගේ වෙන්න. ඔහු නොමැති නම් අද මං මෙතැන නැහැ” යනුවෙන්. ජෝසෆ් තම ජයග්‍රහණය ගැන එහෙම කියද්දී  සමුගැනීමේ තරගයෙදි ලද පරාජය ගැන පෙල්ප්ස් අදහස් දක්වලා තිබුණා. “කවුරුත් පරදින්න කැමති නෑ. ඒ වගේම මමත් මේ පරාජය නිසා සතුටින් නොවෙයි ඉන්නේ. එහෙම වුනත් මම ජෝ (ජෝශප්) ගැන ආඩම්බරයි” යනුවෙනි.  

විශ්‍රාම ගියාට පස්සේ පිහිනුම් පුහුණුකරුවකු සහ උපදේශකවරයකු විදියට කටයුතු කරන පෙල්ස්ප්, ඔහුගේ නමින් හදලා තියෙන ‘මයිකල් පෙල්ප්ස් පදනම’ මගින් කරන විවිධ සමාජ සේවා කටයුතුවල ද නිරත වෙනවා. ඔය අල්ල පනල්ලෙ තමයි පෙල්ප්ස් ඉකුත්දා ඉන්දියාවේ සංචාරයක නිරත වෙන්නේ.

පළමු ඉන්දියානු සංචාරය වෙලා තියෙන මේ සංචාරය කිසිදාක අමතක නොවන අත්දැකීම් සම්භාරයක් ජීවිතයට එක් කරගන්න පුළුවන් වුනා කියලා තමයි පෙල්ප්ස් කියලා තියෙන්නේ. ඇමරිකාවට ක්‍රිකට් කියන්නේ හරිම නුපුරුදු දෙයක්. ඒත් ඇමරිකානුවෙක් වුණු පෙල්ප්ස්, ඉන්දීය සංචාරය අතරතුර ද දැන් පැවැත්වෙන අයි. පී. එල්. තරගාවලිය නරඹන්නත් ඉඩක් වෙන් කරගෙන. දිල්ලි කැපිටල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල එක්ක ෆෙරොස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ තිබුණ තරගය තමයි පෙල්ප්ස්ගේ ජීවිතයේ මුලින්ම නරඹලා තියෙන ක්‍රිකට් තරගය. ඒ තරගය නරඹන්න ගිය පෙල්ප්ස්ට ඒක හරි අමුතු අත්දැකීමක් ඇති කරවන්නක් වෙලා.

ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පන්ට්ගෙන් පිතිකරණ පුහුණුව ලබන මයිකල් පෙල්ප්ස්

ඒ හැඟීම පෙල්ප්ස්ගේ වචන වලින්ම කියලා තියෙන්නේ මෙන්න මේ විදියට. “ඇත්තටම මෙය මගේ පළමු ඉන්දියානු සංචාරය. ඒ සංචාරයෙදි අයි. පී. එල්. තරගයක් නැරඹීමට ලැබීම මට අවස්ථාවක් උදාවුනා. ඒක උද්වේගකර හැඟීමක් ඇති කරවන්නක් වුනා කිව්වොත් හරි. මෙය මම නරඹපු පළවැනි ක්‍රිකට් තරගාවලිය. එකෙදි ක්‍රීඩකයින් එල්ල කරපු හයේ පහර, හතරේ පහර එල්ල කිරීම වගේම කඩුලු දවා ගන්න එකත් හරි අපූරුයි. ඒ විතරක් නොවෙයි ඒ වෙලාවල්වලදී  ක්‍රීඩාලෝලීන් ඒ වෙනුවෙන් දක්වන ප්‍රතිචාරයත් පුදුමය දනවනවා. ඇත්තම කිව්වොත් එය මාව විශ්මයට පත් කළා කියලා කිව්වොත් හරි” යැයි පවසන පෙල්ප්ස්, “එහෙම ආශාවක් ඇති වුනත් මම හිතන්නේ නෑ මම ඊළඟට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙයි කියලා. කොහොම වුනත් ඉදිරියෙදීත් ක්‍රිකට් තරග නැරඹීමට නම් මට විශාල කැමැත්තක් ඇතිවෙලා තියෙනවා කියලා කියන්න ඕන” යැයි ද වැඩිදුරටත් පවසා තිබේ.මේ අතර මෙම තරගයට පෙර දිල්ලි කැපිටල්ස් පිල කරපු පුහුණු සැසියකටත් මයිකල් පෙල්ප්ස්ට එක්වන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. එතැන දි ඒ කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා විදියට කටයුතු කරන රිෂාබ් පන්ට් එක්ක එකතු වෙලා පිතිකරණ පුහුණුවක ද පෙල්ප්ස් නියැළුණා කියලා තමයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. ඒ පිළිබඳව පෙල්ප්ස් අදහස් දක්වලා තිබුණේ මෙන්න මේ විදියට.

“ඔවුන් හරි සුහදශීලී කණ්ඩායමක්. මම ලබපු පිතිකරණ පුහුණුවෙදි ඒ සම්බන්ධව වැදගත් කරුණු කීපයක්ම දැන ගන්නට මට හැකියාව ලැබුණා. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ මූලිකම අංගයක් විදියට සැලකෙන පිත්ත අල්ලන ආකාරය. ඒ වගේම පන්දුවකට පහර දෙන්නෙ කොහොමද කියන එක ගැන ඔවුන් මට කියලා දුන්නා. ක්‍රිකට් ක්‍රීඩාවයි බේස්බෝල් ක්‍රීඩාවයි අතර තියෙන්නේ සමීප සම්බන්ධයක්. ඒ වගෙමයි ගොල්ෆ් ක්‍රීඩාවත් එක්කත් තියෙන්නේ ඒ වගේම සම්බන්ධතාවක් කියලා මට හිතෙනවා. ඒ පුහුණුවීම් වලදී ටෙනිස් පන්දුව යොදාගෙන නිවැරදිව පන්දුවට පහර දීමේ හැකියාව මට උදා වුනා කියලා කිව්වොත් හරි. එය ඉතාම සිත් ගන්නා සුලු අත්දැකීමක්. කොහොම වුනත් මගේ මීළඟ ඉන්දීය සංචාරය වන විට මා මීට වඩා හොඳින් පන්දුවට පහර දීමේ හැකියාව වැඩි දියුණු කරගත හැකි වේවි කියලා මට විශ්වාසයි” යනුවෙන් වැඩිදුරටත් කියයි.

පෙල්ප්ස් එහෙම කියලා තියෙද්දී, එයාට ගුරුහරුකම් දුන්න රිෂාබ් පන්ට් ද ඒ ගැන අදහස් දක්වලා තිබුණා. එතැන දී පන්ට් කියලා තියෙන්නේ,  ක්‍රිකට් ගැන දැන ගන්න හරි පුරුදු වෙන්න හරි ඕන නම්, ඕනෑම වෙලාවක පැමිණෙන්න කියල. “එයාට ක්‍රිකට් ගැන දැන ගන්න හරි සෙල්ලම් කරන්න හරි ඕන වුනොත් ඕනම වෙලාවක එන්න කියලා කිව්වා. පෙල්ප්ස් කියන්නේ නියම වීරයෙක්. එයා තමයි ඔලිම්පික් එදා මෙදා ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් සහ පදක්කම් සංඛ්‍යාවක් දිනුව ක්‍රීඩකයා. එයා වගේ කෙනෙක්ව දැකීමත් මම ලබපු භාග්‍යයක් විදියටයි සලකන්නේ” යනුවෙන් පවසයි.

ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් කියන්නේ ඇතැම් විට දෙවියන්ටත් උඩින් ඉන්න පිරිසක්. ඒ තරමටම ඉන්දියාවේ මිනිස්සු ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගරු කරනවා. රිෂාබ් පන්ට් කියන්නෙත් ඒ වගේ ගරුත්වයකට, ඇදහීමකට ලක්වෙන කෙනෙක්. ඒ වගේ ගරුත්වයකට, එහෙමත් නැත්නම් අදහන චරිතයක් බවට පත්වෙලා ඉන්න පුද්ගලයෙක් වුන රිෂාබ් පන්ට්, පෙල්ප්ස් සමඟ ගනුදෙනු කිරීමට ලැබීමත් ඔහුගේ ජීවිතයේ භාග්‍යයක් විදියට සලකනකොට, කවදාවත් දෙවියන් දැකලා නැති, ඒත් දෙවියන් අදහන ජනතාවට, පෙල්ප්ස් කියන්නේ ඇසින් දුටු දෙවි කෙනෙක් කියලා කිව්වට කිසිම වැරැද්දක් නෑ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<