අයි.පී.එල් ඉතිහාසයේ දැවැන්තම ජය මුම්බායි ඉන්දියන්ස් පිළට!

851

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දැවැන්තම ජයග්‍රහණය වාර්තා කිරීමට ඊයේ (06) ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. ඒ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව ඔවුන්ගේම ප්‍රේක්ෂකයින් බහුතරයක් සිටින ෆෙරෝ ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ දී සුපිරි තරග රටාවක් නිරූපණය කරමිනි. මීට අමතරව ඊයේ පැවති අනෙක් තරගයේ දී හයිද්‍රාබාද් පිළ පරදා ජය ලැබීමට රයිසින් පූනේ ක්‍රීඩකයින් සමත් වූහ.

විශිෂ්ටයින් දණ ගැස්වූ සන්දීප් ශර්මා පන්ජාබයට ජය ගෙනෙයි

මෙවර අයි.පී.එල් තරගාවලියේ දරුණු ඉරණමකට මුහුණ පා සිටින රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට ඊයේ (06) තමන්ට සහය දක්වන ප්‍රේක්ෂකයින්…

රයිසින් පූනේ සුපර්ජයන්ට් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් අතර තරගය

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සහ ඉන්දියානු වේග පන්දු යවන ක්‍රීඩක ජාදෙව් උනද්කට් දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් මෙම තරගයෙන් ලකුණු 12ක තියුණු ජයක් වාර්තා කිරීමට රයිසින් පූනේ සුපර්ජයන්ට් කණ්ඩායමට අවස්ථාව උදා විය. ඒ අනුව ඔවුන් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ. තරගය පැවැත්වුනේ ඩෙකෑන් හිදීයි.

කාසියේ වාසිය දිනා ගත් හයිද්‍රාබාද් නායක ඩේවිඩ් වෝනර් මුලින් පන්දුවට පහර දීමට රයිසින් පූනේ පිතිකරුවන්ට ඇරයුම් කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් පූනේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 148ක් වාර්තා කළහ. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වශයෙන් බෙන් ස්ටෝක්ස් පන්දු 25කින් ලකුණු 39ක් රැස්කර ගත්තේය. ඒ එක් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමගිනි. ස්ටීවන් ස්මිත් සහ එම්.එස්. දෝනි පිළිවෙළින් ලකුණු 34 සහ 31 බැගින් රැස් කරමින් මැදපෙළ යුතුකම් ඉටු කළහ. පන්දු යැවීමේ දී හයිද්‍රාබාද් පිළ වෙනුවෙන් සිද්ධාර්ත් කෞල් කැපී පෙනෙන පන්දු යැවීමක නි‍රත වෙමින් ලකුණු 29කට කඩුලු 4ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ඩේවිඩ් වෝනර් ලකුණු 40ක් රැස් කරමින් හයිද්‍රාබාද් කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දුන්නේය. ඔහුගේ ඉනිම හතරේ පහර 4කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් විය. ශිකර් ධවාන් ලකුණු 19යි. දක්ෂ පිතිකරණයක යෙදුණු මැදපෙළ පිතිකරු යුවරාජ් සිං හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 47ක් රැස් කළේය. කෙසේ වෙතත් විලියම්සන්, හෙන්රිකස් ඇතුළු අනෙකුත් පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යා වලට දැවී යාම නිසා හයිද්‍රාබාද් පිළට අවසන් පන්දු වාරයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 13ක ඉලක්කයක් හිමිවිය.

තරගයේ ඉරණම තීරණය කෙරෙන එම පන්දු වාරය ක්‍රියාත්මක කිරීමට වමත් වේග පන්දු යවන ක්‍රීඩක ජාදෙව් උනද්කට් යෙදවීමට රයිසින් පූනේ නායක ස්ටීවන් ස්මිත් පියවර ගත්තේය. තම නායකයා සහ කණ්ඩායම තමන් වෙත තැබූ විශ්වාසය එක් දශමයකින්වත් පළුදු නොකළ උනද්කට් අවසන් පන්දු වාරය කඩුලු ත්‍රිත්වයක් ද සමඟින් නිලකුණු පන්දු වාරයක් ලෙසින් නිමා කළේය. ඒ දෙවැනි, තෙවැනි සහ සිව්වැනි පන්දු වලදී බිපුල් ශර්මා, රෂීඩ් කාන් සහ බුවනේශ්වර් කුමාර් දවා ගනිමිනි.

එදා මෙදාතුර අයි.පී.එල් තරග ඉතිහාසයේ විශිෂ්ටතම අවසන් පන්දු වාරයක් ලෙස අවිවාදයෙන්ම සටහන් කළ හැකි මෙම විශිෂ්ට පන්දු වාරයට නියමිත ස්ථානයේ පතිත වුනු, වේගය අඩාල කළ පන්දු රැසක්ම ඇතුළත් විය. ඒ අනුව හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 136කට සීමා වීම නිසා රයිසින් පූනේ සුපර්ජයන්ට් කණ්ඩායමට ලකුණු 12ක තියුණු ජයක් හිමි විය. අවසන් පන්දු වාරයේ දී දවාගත් කඩුලු තුන ද සමඟින් ලකුණු 30ට කඩුලු 5ක් දවාගත් ජාදෙව් උනද්කට් තරගයේ වීරයා සම්මානයටද හිමිකම් කීවේය. මීට අමතරව බෙන් ස්ටෝක්ස් ද කඩුලු 3ක් දවා ගත්තේය.

රයිසින් පූනේ – කඩුලු 8ක් දැවී ලකුණු 148 (පන්දුවාර 20): බෙන් ස්ටෝක්ස් 39, ස්ටීවන් ස්මිත් 34, එම්.එස්. දෝනි 31, අජින්ක්‍යා රහානේ 22, සිද්ධාර්ත් කෞල් 4/29, රෂීඩ් කාන් 1/18.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් – කඩුලු 9ක් දැවී ලකුණු 136 (පන්දුවාර 20): යුවරාජ් සිං 47, ඩේවිඩ් වෝනර් 40, ශිකර් ධවාන් 19, නමන් ඕජා 9, බිපුල් ශර්මා 8, ජාදෙව් උනද්කට් 5/30, බෙන් ස්ටෝක්ස් 3/30.


මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් අතර තරගය

මුම්බායි පිළේ ජය ගමන තවදුරටත් දීර්ඝ කළ මෙම තරගය දිල්ලි නුවර ෆෙරෝ ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක විය. මුම්බායි කණ්ඩායම සතු සුපිරි පිතිකරණ ශක්තිය නැවතත් විදහා දැක්වූ මෙම තරගයේ දී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් ක්‍රීඩකයින් තම අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කර ගැනීම සුවිශේෂී සිදුවීමක් බවට පත්විය. මේ වන විට ප්‍රසාද ලකුණු 18ක් ලබා ගනිමින් ලකුණු සටහනේ ඉහළින්ම වැජඹෙන්නේ ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනා ගත් දිල්ලි නායක සහීර් කාන් මුලින් පන්දුවට පහර දීම සඳහා මුම්බායි ඉන්දියන්ස් පිළට ආරාධනා කළේය. ඒ අනුව තම සුපුරුදු ප්‍රහාරය ඇරඹූ මුම්බායි පිතිකරුවන් තම පන්දුවාර 20 නිමා කරන්නේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 212ක් රැස්කර ගනිමිනි. විස්සයි විස්ස ක්‍රීඩාවට උපන් හපන්කම් දක්වන කොදෙව් පිතිකරුවන් දෙදෙනෙකු වන ලෙන්ඩ්ල් සිමන්ස් සහ කිරන් පොලාර්ඩ් මුම්බායි කණ්ඩායම සතුවීම ඔවුන්ට මෙම තරගයේ දී විශාල ආශිර්වාදයක් බවට පත්විය.

ජෝස් බට්ලර් වෙනුවට ආරම්භක පිතිකරණ භූමිකාවට පණ පෙවූ ලෙන්ඩ්ල් සිමන්ස් පන්දු 43කින් ලකුණු 66ක් රැස් කළේය. ඒ අකුණු සැර වන් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගිනි. ඊට නොදෙවෙනි සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කිරන් පොලාර්ඩ් මුම්බායි පන්දුවාර 20 අවසන් වන විට නොදැවී ලකුණු 63ක් ලබා ගැනීමට සමත් විය. පන්දු 35ක් පමණක් ප්‍රමාණවත් වුනු ඔහුගේ වේගවත් ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. අවසන් පන්දුවාර කිහිපයේ දී ක්‍රියාත්මක වූ හාර්දික් පාණ්ඩ්‍යා ද නොදැවී ලකුණු 29ක් රැස් කරමින් මුම්බායි ලකුණු පුවරුව ඉහළ දැම්මේය.

මුම්බායි පිතිකරුවන්ගෙන් එල්ල වුන දරුණු ප්‍රහාරය හමුවේ දිල්ලි පිළට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 213ක දැවැන්ත ඉලක්කයක් හිමි විය. එය හඹා යාමට උත්සාහ කළ දිල්ලි පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 66කට සීමා විය. බිඳ වැටුණු දිල්ලි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට ලකුණු 21ක් රැස් කර ගත් කරුන් නයර් පත්විය. පන්දු යැවීමේ දී පා දඟ පන්දු යවන ක්‍රීඩක කරුන් නයර් ලකුණු 11කට කඩුලු 3ක් ද, පිට දඟ පන්දු යවන හර්බජාන් සිං ලකුණු 22කට කඩුලු 3ක් ද බිඳ හෙලූහ. මීට අමතරව ඊයේ පන්දුවාර 2ක් පමණක් ක්‍රියාත්මක කළ ලසිත් මාලිංග ද ලකුණු 5ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් දවාලීය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු 146කිනි. ඒ අනුව වසර 10ක දීර්ඝ අයි.පී.එල් ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් දැවැන්තම ජයග්‍රහණය ලෙසින් මෙය ඉතිහාසයට එක්විය. මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන, ලසිත් මාලිංග සහ අසේල ගුණරත්න නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවන් සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට ද සතුටට කරුණක් වනු ඇත.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 3ක් දැවී ලකුණු 212 (පන්දුවාර 20): ලෙන්ඩ්ල් සිමන්ස් 66, කිරන් පොලාර්ඩ් 63*, හාර්දික් පාණ්ඩ්‍යා 29*, පාතිව් පටෙල් 25, රෝහිත් ශර්මා 10, කුරේ ඇන්ඩර්සන් 1/29, කාගිසෝ රබාඩා 1/33.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් – සියල්ලන්ම දැවී ලකුණු 66 (පන්දුවාර 13.4): කරුන් නයර් 21, කුරේ ඇන්ඩර්සන් 10, පැට් කමින්ස් 10, කරන් ශර්මා 3/11, හර්බජාන් සිං 3/22, ලසිත් මාලිංග 2/5.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට