ඉතාලිය A කාණ්ඩයේ පෙරමුණට; Shaqiri ස්විස්ටර්ලන්තයට ජය ගෙනෙයි

Euro 2020

175

ලොව පුරා සිටින පාපන්දු ක්‍රීඩාලෝලීන්ගේ අවධානය සොරා ගනිමින් මේ දිනවල දී ක්‍රියාත්මක වන “Euro 2020” තරගාවලියේ A කාණ්ඩයේ තීරණාත්මක තරග දෙකක් ඊයේ (20) රාත්‍රියේ දී නිමාවට පත් වුනා.

එහි දී ඉතාලිය විසින් වේල්සය පරාජය කරමින් A කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා විට, ගෝල 3-1ක් ලෙස තුර්කිය පරාජය කරන්නට ස්විස්ටර්ලන්තය සමත් වුනා.

Italy v Wales

මෙතෙක් තරගාවලියේ අපරාජිතව ඉදිරියට පැමිණි කණ්ඩායම් දෙකක් අතර පැවති මේ තරගයේ දී ගෝල 1-0ක් ලෙස තවදුරටත් සිය අපරාජිකත්වය ආරක්ෂා කරගන්නට ප්‍රබල ඉතාලිය සමත් වුනා.

රෝමයේ Stadio Olimpico පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු අර්ධයේ සිට ම සිය ප්‍රතිවාදීන් වන වේල්සයට එරෙහිව තම ආධිපත්‍ය පැතිර වීමට ඉතාලිය සමත් වුනා. කණ්ඩායම් දෙකේම ගෝල රකින්නන් විසින් ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක් සාර්ථකව වළක්වන්නට සමත් වුනා.

26 වැනි මිනිත්තුවේ දී වේල්සයට පැතිපහරක් හිමි වුනත් වේල්ස් ක්‍රීඩක Chris Gunter එල්ල කළ පහරක් ගෝල රාමුවේ කොනක වැදි ඉවතට විසිව ගියා. ඉන් අනතුරුව 29 වැනි මිනිත්තුවේ දී ඉතාලියට ද පැතිපහරක් හිමි වුවත් එය ද ගෝලයක් බවට පත්වුනේ නැහැ.

තරගයේ ජයග්‍රාහී ගෝලය වාර්තා වන්නේ 39 වැනි මිනිත්තුවේ දී. ඉතාලි ක්‍රීඩක Marco Verratti වෙත ලැබුණු නිදහස් පහරක් Matteo Pessina විසින් සාර්ථකව එය දැල්ගත කළේ වේල්ස් ගෝල රකින්නාගේ උත්සාහය ද අපතේ යවමින්. 

Pessina විසින් පළමු ගෝලයෙන් මිනිත්තු කිහිපයකට පසුව තවත් ගෝලයක් ලබා ගන්නට ආසන්න අවස්ථාවක් නිර්මාණය කර ගත් නමුත් එම උත්සාහය අසාර්ථක වුනේ පන්දුව ගෝල රාමුවෙන් ඉවතට ඇදී යමිනි.

දෙවැනි අර්ධයේ දී ඉතාලිය එක් වෙනස්කමක් සමඟින් තරගයට පිවිසියේ Francesco Acerbi වෙනුවට Leonardo Bonucci ආදේශ කරමිනි. කෙසේ නමුත් තරගය අවසන් වන තෙක් කණ්ඩායම් දෙකම ප්‍රබල ලෙස ක්‍රීඩා කළ අතර දෙවැනි අර්ධයේ දී ගෝල ලබා ගන්නට තිබූ අවස්ථා කිසිවක් සාර්ථකව අවසන් කරන්නට දෙපිලේම ක්‍රීඩකයින් සමත් වුනේ නැහැ.

ඒ අනුව තරගය නිමා වුනේ ගෝල 1-0ක් ලෙස ඉතාලිය A කාණ්ඩයේ පෙරමුණ දිනා ගනිමින්. 

අවසන් ලකුණු තත්වය: ඉතාලිය 1 – 0 වේල්සය

ගෝල ලාභීන්:

  • ඉතාලිය – Matteo Pessina 39’

Switzerland v Turkey

අසර්බයිජානයේ Baku නුවර Olympic Stadium හි පැවති මෙම තරගයේ දී ගෝල 3-1ක් ලෙස ජයග්‍රහණ ලබා ගත්තේ ස්විස්ටර්ලන්ත කණ්ඩායම විසිනුයි. කණ්ඩායම් දෙකටම මෙම තරගය තීරණාත්මක වුනේ A කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන තීරණය කරන්නට මෙම තරගයේ ජයග්‍රහණය වැදගත් වන නිසාවෙනි.

තුර්කිය මින් පෙර ස්විස්ටර්ලන්තය සමඟ පැවති තරග ද්විත්වයම ජයග්‍රහණය කර තිබුණු අතර තරගය ආරම්භ වී 6 වැනි මිනිත්තුවේ දීම ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට ස්විස්ටර්ලන්ත ක්‍රීඩක Haris Seferović සමත් වුනා. 

ඉන්පසුව තරගයේ 26 වැනි මිනිත්තුවේ දී තුර්කියේ පීඩනය දෙගුණ කරමින් ස්විස්ටර්ලන්තය විසින් සිය දෙවැනි ගෝලය වාර්තා කරන්නට සමත් වුනා. Xherdan Shaqiri විසින් සාර්ථකව ගෝලය දැල වෙත එල්ල කළේ තුර්කි ගෝල රකින්න වන Uğurcan Çakır පසුකර යමිනි.

පළමු අර්ධය දී 2-0ක් ලෙස ලබා ගත් පෙරමුණ ආරක්ෂා කරගන්නට ස්විස්ටර්ලන්තය දෙවැනි අර්ධයට පිවිසෙද්දී තුර්කිය දෙවැනි අර්ධයට පිවිසුණේ ගෝල ලබා ගැනීමේ පිපාසයෙන් යුතුවයි.

තරගයේ 62 වැනි මිනිත්තුවේ දී විශිෂ්ට ගෝලයක් වාර්තා කරමින් තුර්කියට බලාපොරොත්තු එකතු කරන්නට İrfan Kahveci සමත් වුනේ සාර්ථකව ලබා ගත් පන්දුවක් ගෝලයේ දකුණු පසින් දැල තුලට එල්ල කරමින්. 

කෙසේ නමුත් එම ගෝලයේ සතුට මිනිත්තු කිහිපයකට පමණක් සීමා කරමින් ස්විස්ටර්ලන්තය සිය තෙවැනි ගෝලය ද වාර්තා කරන්නට සමත් වුනා. 68 වැනි මිනිත්තුවේ දී Xherdan Shaqiri විසින් වාර්තා කළ ඔහුගේ දෙවැනි ගෝලයක් සමඟින් තරගයේ පෙරමුණ ස්විස්ටර්ලන්තය සතු වුනා. 

ඉන්පසු දෙවැනි අර්ධයේ නිමා වන තෙක් කිසිදු ගෝලයක් ලබා ගන්නට දෙපිලේම ක්‍රීඩකයින් අසමත් වූ අතර ඒ අනුව 3-1ක් ලෙස තරගය නිමා වුනේ ස්විස්ටර්ලන්තයට ජයග්‍රහණය හිමිකර දෙමින්.

අවසන් ලකුණු තත්වය: ස්විස්ටර්ලන්තය 3 – 1 තුර්කිය

ගෝල ලාභීන්:

  • ස්විස්ටර්ලන්තය: Haris Seferović 6’, Xherdan Shaqiri 26’ & 68’
  • තුර්කිය: İrfan Kahveci 62’

Ukraine v Austria, North Macedonia v Netherlands, Finland v Belgium සහ Russia v Denmark යන තරග 4 අද (21) රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගවල තොරතුරු සඳහාත් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<