දකුණු ආසියානු තරගාවලියට යන පොඩ්ඩෝ නම් කෙරේ

881

එළඹෙන මැයි 5 වැනිදා හා 6 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සහභාගී වන 84 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නිවේදනය කරනු ලැබීය.

වේගවත්ම ක්‍රීඩකයා හිමාෂ; ක්‍රීඩිකාව සුගන්ධි

2018 වර්ෂය සඳහා වන ජාතික තේරීම් තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ..

කලාපීය කනිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ දමන අතරම තරගකරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක අත්දැකීම් ලබා දීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය වන අතර ඇෆ්ගනිස්ථානය මෙම තරගාවලියට සහභාගී නොවන බව ද වාර්තා වේ.

ක්‍රීඩකයින් 44ක් හා ක්‍රීඩිකාවන් 40කගෙන් සැදුම්ලත් 84 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය කේවල තරග ඉසව් 14කට හා 4X100 හා 4X400 සහය දිවීමේ තරග ඉසව්වලට සහභාගී වීමට නියමිතයි.

පසුගිය දා නිමාවට පත්වූ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී පෙන්නුම් කළ දස්කම්වලට අනුව මෙම සංචිතය තෝරාගෙන ඇති අතර එම ක්‍රීඩා උළෙලේ දී සෑම ඉසව්වකම පළමු ස්ථාන තුනට පත්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම සංචිතයට ඇතුළත් කර තිබේ.

නිමාවූ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී නව තරගාවලි වාර්තා 28ක් හා එක් ජාතික වාර්තාවක් බිහිකිරීමට තරම් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සැලකිය යුතු  දස්කම් පෙන්වීම හා දකුණු ආසියානු තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතර මානසික ශක්තියක් වනු නොඅනුමානයි.

400 වාර්තාව සමඟින් දක්ෂතම ක්‍රීඩකයා අරුණ

නව ජාතික වාර්තාවක්; තරග වාර්තා 26ක්! නවීකරණයෙන් පසු අභිනවයෙන් ක්‍රීඩකයින්ට…

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින්, දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදීත් සිය උපරිම දක්ෂතාවලට පිවිසේ යැයි බලධාරීන් අපේක්ෂා කරන අතර මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත කනිෂ්ඨ ආසියානු හා කනිෂ්ඨ ලෝක ශූරතා තරගාවලි සඳහා සුදුසුකම් ලබා ගැනීමට ක්‍රීඩකයින්ට අනගි අවස්ථාවක් වනු ඇත. වයස අවුරුදු 20ට පහළ ක්‍රීඩකයින් 20ක්, වයස අවුරුදු 18ට පහළ ක්‍රීඩකයින් 5ක් හා එක් වයස අවුරුදු 16න් පහළ ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වනු ඇත.    

වයස අවුරුදු 16න් පහළ දුර පැනීමෙන් මීටර 7.09ක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක් බිහිකළ සාන්ත පීතර විද්‍යාලයේ හිරුෂ හෂෙන් සංචිතයේ අඩුම වයසක් සහිත ක්‍රීඩකයා වන අතර මෙම ජාත්‍යන්තර තරගාවලියට සහභාගී වීම මගින් ඔහු ලබා ගන්නා අත්දැකීම් ඔහුගේ ඉදිරි ක්‍රීඩා දිවියට ඉමහත් වටිනාකමක් ගෙනෙනු ඇත.

රාජකීය විද්‍යාලයේ උස පැනීමේ ඉසව්ව නියෝජනය කළ එස්. ටී. අමරසිංහ, සාන්ත මේරි විද්‍යාලයේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක තුශ්මින ක්‍රිෂ්මාල්, රැන්ඩිවෙල් මහා විද්‍යාලයේ මීටර 1500 ඉසව්ව නියෝජනය කරන ධම්මික විජේසූරිය වයස අවුරුදු 18න් පහළ ඉසව් නියෝජනය කරන අතර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ කවිඳු බණ්ඩාර හා කුරුණෑගල මලල ක්‍රීඩා සංගමයේ ඩී. එම් බෝගොඩ සහය දිවීමේ කණ්ඩායමට සිය දායකත්වය සපයනු ඇත.

නිමාවූ ජාතික කනිෂ්ඨ තරගාවලියේදී වයස අවුරුදු 20න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනූ අකුරම්බොඩ වීර කැප්පෙටිපොල ජාතික පාසලේ අරුණ දර්ශන මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් වනු ඇත. මීටර 400ඉසව්ව තත්පර 46.59කින් නිමා කර නව තරගාවලි වාර්තාවක් පිහිටු වූ ඔහු මීටර 200 ඉසව්ව ද තත්පර 21.38කින් නිමා කර ජාතික කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේ වාර්තා ද්විත්වයක්ම සියතට ගැනීමට සමත් විය. අරුණ දර්ශන මීටර 200, මීටර 400 මෙන්ම 400X4 ඉසව්වට ද සහභාගී වීමට නියමිතය.  

පිරිම සංචිතය

ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් පුරා මලල ක්‍රීඩකයින්ට වඩා මලල ක්‍රීඩිකාවන්ගෙන් නමක් දිනා ගැනීමට සමත්වුවද, මෑත වසර කිහිපයක සිටම ඉහළ වයස් කාණ්ඩවල ක්‍රීඩිකාවන් ක්‍රීඩාවෙන් ඈත්වන බව පැහැදිලිවම පෙන්නේනට තිබේ. නිමාවූ ජාතික කනිෂ්ඨ තරගාවලියේ ද වයස අවුරුදු 23න් පහළ හා 20න් පහළ ක්‍රීඩිකාවන් ඉතා අඩු මට්ටමක සිටි බව දක්නට ලැබුණි.  

ශ්‍රී ලංකා සංචිතයට වයස අවුරුදු 18න් පහල ක්‍රීඩිකාවන් 14ක්, 16න් පහළ ක්‍රීඩිකාවන් 3ක්, වයස අවුරුදු 20න් පහළ ක්‍රීඩිකාවන් 23ක් ඇතුළු ක්‍රීඩිකාවන් 40ක් ඇතුලත් වී තිබේ. කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ හේෂානි මහේෂිකා, නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ 4X400සහය දිවීමේ ක්‍රීඩිකා කාවින්දි සංජානා හා ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ උස පැනීමේ ඉසව්ව නියෝජනය කරන පී. අයි. එන්. පල්ලේගම අඩුම වයසැති කාන්තා තරගකරුවන් වනු ඇත.

උස පැනීමේ ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩිකා පල්ලේගම මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ඉහල පදක්කම් බලාපොරොත්තුවක් වනු ඇත. නිමාවූ ජාතික කනිෂ්ඨ තරගාවලියේ දී වයස අවුරුදු 16න් පහළ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත් ඇය මීටර 1.71කක දුරක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් පිහිටුවන ලදි.

නැගී එන ධාවන ක්‍රීඩිකාවන් වන මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ අමාෂා ද සිල්වා මෙවර දකුණු ආසියානු කනිෂ්ඨ තරගාවලියේ කාර්ය බහුලම ක්‍රීඩිකාව වනු ඇත. මීටර 100 හා 200 ඉසව් පිළිවෙළින් තත්පර 12.01කින් හා තත්පර 24.49කින් නිමා කළ ඇය ඉසව් දෙකේම ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් විය. මීටර 4X100 හා මීටර 4X400 සහය දිවීමේ ඉසව්වලට ද සහභාගී වීමට නියමිත ඇය කේවල ඉසව් දෙකක් ද සමඟින් ඉසව් හතරකින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතයි.

වසර කිහිපයකට පසු මෙන්ම, සුගතදාස ක්‍රීඩාංගණය නවීකරණයෙන් පසු පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරගාවලිය වන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය එළඹෙන මැයි 5 හා 6 දිනයන්හී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩයම දිරිගන්වන්නට ක්‍රීඩාලෝලී ප්‍රේක්ෂක ප්‍රජාවගේ ඉහළ පැමිණීම සංවිධායක මණ්ඩලය මෙන්ම, ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අප ද අපේක්ෂා කරන්නෙමු.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<