කෝලිව නිරුවත් කළ ජිමී

134

විරාත් කෝලිගේ පිත්ත ඉදිරියේ අසරණ නොවූ පන්දු යවන්නෙකු නොමැති තරම් ය. ඔහු ලොව බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංගව පවා තුට්ටුවකට මායිම් කළේ නැත. එසේ ලොව පුරා පන්දු යැවීමේ බලඇණි සුනුවිසුනු කර දැමූව ද කෝලිට එකම එක පන්දු යවන්නකු ඉදිරියේ නම් දණින් වැටෙන්නට සිදු විය. 

එම පන්දු යවන්නාගේ දෙපසට දෝලනය වන පන්දු හමුවේ පන්දුව පිත්තේ යන්තමින් වද්දා ගැනීමටත් මහත් වෙහෙසක් දරන්නට කෝලිට සිදු විය. ලෝකයේ විශිෂ්ටතම පිතිකරුවා ලෙසින් නම් දරා සිටි කෝලිව තණතීරුවේ සීමා ඉර මත එහා මෙහා නටවන්නට මෙම පන්දු යවන්නා සමත් විය.

ජිමී.. (Jimmy)

ක්‍රිකට් ක්‍රීඩාවේ තුන්ලොවට අධිපති දෙවිඳු සෝබර්ස්!

ඔහුට ක්‍රිකට් පිටියේ කරන්නට නොහැකි දෙයක් තිබුණේම නැත. රෑ එළිවෙන තුරු අඩිපුඩි ගසා…

ඔහුගේ කණ්ඩායම් සගයන් ඔහුව හඳුන්වන්නේ එලෙසිනි. ඔහු ජේම්ස් මයිකල් ඇන්ඩර්සන් ය.  නැතිනම් ඔබ හොඳින්ම දන්න පරිදි ජේම්ස් ඇන්ඩර්සන් ය. ක්‍රිකට් පිටිය තුළ පමණක් නොව නිරූපණ ක්ෂේත්‍රය තුළ ද ඇන්ඩර්සන් ජනප්‍රිය තරුවකි. ඔහුගේ කඩවසම් පෙනුම නිසාම බ්‍රිතාන්‍යය පුරා විවිධ ජනප්‍රිය සන්නාමයන් කිහිපයක්ම ඔහුව සන්නාම තානාපතිවරයෙකු ලෙස යොදාගෙන ඇත. එසේම ලොව පුරා තරුණියන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ද ඇන්ඩර්සන්ගේ කඩවසම් පෙනුම උපකාරී වී ඇත.

ඇන්ඩර්සන් වේගපන්දු යැවීමේ කලාවේ කෙළ පැමිණි අයෙකි. ඔහුගේ පන්දු අවි ගබඩාව තුළ නොමැති පන්දුවක් නොමැත. දකුණත් පිතිකරුවන්ගෙන් පිටතට දෝලනය වන අවුට් ස්වින්ග් පන්දුව ඔහු තරම් හොඳින් ප්‍රගුණ කළ වෙනත් පන්දු යවන්නෙකු ක්‍රිකට් ඉතිහාසයේ නොමැත.

ලොව පුරා නම් දැරූ පිතිකරුවන් රාශියක්ම තම ග්‍රහණයට නතු කර ගත්ත ද ඉන්දීය පිතිකරුවන් හා ඔහු අතර සටන තිබෙන්නේ වෙනමම තලයකය. ඇන්ඩර්සන් සහ ඉන්දීය කණ්ඩායම අතර ඇත්තේ ස්වර්ගයේ ගැලපූ හාදකමකි. ඔහුට ඉතිහාසය පුරාවටම ඉන්දීය කණ්ඩායමට එරෙහිව මිහිරි මතකයන් රාශියක්ම ඇත. ඉන් පළමුවැන්න 2006 වසර තරම් ඈතට ඇදී යයි.

2006 වසරේ දී ටෙස්ට් තරග 3ක් සහ එක්දින තරග 7කට සහභාගී වීම සඳහා මයිකල් වෝන්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායම ඉන්දියාව බලා පිටත් වූයේ පෙබරවාරි මස 16 වැනිදා ය. එහි දී එංගලන්ත කණ්ඩායම ඔවුන් සහභාගී වූ පුහුණු තරග දෙකෙන් පළමු තරගය ජයගෙන දෙවන තරගය පරාජයට පත් විය.

පුහුණු තරග දෙකෙන් පසුව හට ගත් ආබාධ තත්ත්වයන් හේතුවෙන් එංගලන්ත නායක මයිකල් වෝන් හට තරගාවලියෙන් ඉවත් වී නැවත එංගලන්තය බලා යාමට සිදු වූ අතර ඔහුත් සමඟ වේගපන්දු යවන ක්‍රීඩක සයිමන් ජෝන්ස් සහ දඟපන්දු යවන ඇෂ්ලි ජයිල්ස් ද ආපසු එංගලන්තය බලා පිටත්ව ගියේ ආබාධ තත්ත්ව හේතුවෙනි. වෝන්ගේ නික්ම යාමෙන් හිස් වූ එංගලන්ත නායකත්වය ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් හට පිරිනමන්නට එංගලන්ත කළමණාකාරීත්වය තීරණය කළ අතර මෙය ෆ්ලින්ටොෆ් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ පළමු අවස්ථාව යි.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය කෙසේ හෝ ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් වූ ෆ්ලින්ටොෆ්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායම දෙවන තරගයේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඉදිරියේ පරාජයට පත් වූයේ කඩුලු 9කිනි. තරගාවලි ජයක් අපේක්ෂාවෙන් ඉන්දියාව වෙත පැමිණි එංගලන්ත කණ්ඩායමට මෙම පරාජය දරාගත හැකි එකක් වූයේ නැත.

මේ නිසාම අවසන් ටෙස්ට් තරගය ජයගෙන තරගාවලිය කෙසේ හෝ සම කරගැනීමේ අවශ්‍යතාවය ඔවුන්ට තදින්ම දැනුණි. ඒ නිසාම තරගාවලියේ අවසන් ටෙස්ට් තරගයේ දී පළමු ටෙස්ට් තරග දෙකට සහභාගී වූ ස්ටීව් හාමිසන් විවේක ගන්වා ඔහුගේ ස්ථානයට ජේම්ස් ඇන්ඩර්සන් ආදේශ කිරීමට එංගලන්ත තේරීම් කමිටුව තීරණය කළේ පළමු පෙළ තරගවල ඇන්ඩර්සන් දක්වා තිබූ දස්කම් හේතුවෙනි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 400ක් රැස් කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ප්‍රබල ඉන්දීය පිතිකරණ ලැයිස්තුව ලකුණු 279කට සීමා කරන්නට එංගලන්ත පන්දු යවන්නන් සමත් විය. එහි දී අගනා පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 40කට කඩුලු 4ක් බිඳ හෙලීමට ඇන්ඩර්සන් සමත් විය. ඔහු දවා ගත් කඩුලු අතරට රාහුල් ද්‍රාවිඩ්ගේ සහ සචින් තෙන්ඩුල්කාර්ගේ කඩුලු ද ඇතුළත්ව තිබීම ඉතා සුවිශේෂී ය.

එම පිතිකරුවන් ද්විත්වය දවා ගැනීම ඉතා සුවිශේෂී වුවත් ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඇන්ඩර්සන්ගේ මිහිරිතම මතකයන් වන්නේ 2014 වසරේ සුපිරි පිතිකරු විරාත් කෝලි සමඟින් ටෙස්ට් පිටියේ මුහුණට මුහුණ මුණගැසුන අවස්ථාවයි.

ඉන්දීය කණ්ඩායම එම තරගාවලියට පිවිසෙන විට මුළුමහත් ක්‍රිකට් ලෝකයේම අවධානය යොමුවී තිබුණේ විරාත් කෝලි වෙතයි. රටවල් ගණනාවක් පුරාවට පන්දු යැවීමේ බල ඇණි ගණනාවකට එරෙහිව සාර්ථක අයුරින් පිත්ත හසුරවමින් වාර්තා පිට වාර්තා තබා සිටි කෝලි එංගලන්තයේ තණතීරු මත කොයි ආකාරයකින් දස්කම් දක්වාවි දැයි ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හා විචාරකයන් බලා සිටියේ මහත් උනන්දුවකිනි. නමුත් එම තරගාවලිය කෝලි හට අපේක්ෂා කළ තරම් සුබදායී එකක් වූයේ නැත.

එම තරගාවලිය තුළ දී පමණක් සිව් වතාවක් කෝලිව දවා ගැනීමට ඇන්ඩර්සන් සමත් වූයේ කෝලිගේ කීර්තිනාමයට දරුණු පහරක් එල්ල කරමිනි. තරගාවලිය තුළ දී ඉනිම් දහයක දී කෝලිට රැස් කරගත හැකි වූයේ ලකුණු 134ක් පමණි. 

ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 13.40ක් පමණක් වූ අතර මෙය ටෙස්ට් තරගාවලියක් තුළ කෝලි වාර්තා කළ අඩුම ලකුණු සාමාන්‍යයයි. කෝලි පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසෙන විට විස්තර විචාරකයන් ඔහු පිටියේ රැඳී සිටින පන්දු ගණන අනුමාන කරන තරමටම කෝලිගේ කඩුල්ලේ වටිනාකම හෑල්ලු වී ගියේ ඇන්ඩර්සන්ගේ පන්දු හමුවේ ඔහු සම්පූර්ණයෙන් නිරුත්තර වූ නිසාය. “ලොව විශිෂ්ටතම පිතිකරුවා” ලෙසින් කෝලි පොරවාගෙන සිටි සළුව සීතාම්බර සළුවක් බවට පත්කරමින් ක්‍රිකට් ලෝකය ඉදිරියේ ඔහුව නිරුවත් කර දමන්නට ඇන්ඩර්සන් සමත් වුනේ එසේය.

එහි දී කෝලිගේ පිට ඉන්නෙන් ඉවතට දෝලනය වන අවුට් ස්වින්ග් පන්දුවලට මුහුණ දීමට ඇති දුර්වලතාවයෙන් ඇන්ඩර්සන් හොඳ හැටි ප්‍රයෝජන ගත්තේය. එම  තරගාවලිය අවසන් වන විට ටෙස්ට් තරගවල දී කෝලි හා ඇන්ඩර්සන් අතර සටනේ දත්ත සටහන් දැක්වුනේ මෙලෙසිනි.

  • ඇන්ඩර්සන් විසින් කෝලිට යොමුකරන ලද පන්දු ගණන – 125
  • ලකුණු ලබා ගැනීමට අසමත් වූ පන්දු ගණන – 102
  • කෝලි ලබා ගත් ලකුණු ප්‍රමාණය – 37
  • දවා ගැනීම් – 5
  • ඇන්ඩර්සන්ට එරෙහිව කෝලිගේ පිතිකරණ සාමාන්‍යය – 7.40
  • පන්දුවට පහර දීමේ වේගය – 27.02

එම 2014 සංචාරයෙන් තමාගේ කීර්තිනාමයට සිදු වූ කැළල තරමක් දුරට මකා ගැනීමට 2018 වසරේ එංගලන්ත සංචාරයේ දී කෝලිට හැකි විය. එහි දී තරග 5 තුළ ලකුණු 593ක් රැස් කරන්නට කෝලි සමත් වූයේ ලකුණු 59.30ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. 

කෝලිව දඩයම් කර ගැනීමට නොහැකි වූ නමුත් එම සංචාරයේ දී ද ඇන්ඩර්සන් තමාට සුපුරුදු කඩුලු දඩයමේ යෙදුණේ තරග 5ක් තුළ දී ඉන්දීය කඩුලු 24ක් තමා සතු කරගනිමිනි. එම තරගාවලිය තුළ ඇන්ඩර්සන්ගේ පන්දු යැවීමේ සාමාන්‍යය 18.12ක් වූ අතර දවා ගැනීමට නොහැකි වුවද එම තරගාවලිය පුරාවට 48 වතාවක් කෝලිව පරාජය කිරීමට ඇන්ඩර්සන් සමත් වූයේ තමාගේ සුපුරුදු ආධිපත්‍යය පිටිය තුළ පතුරවාලීමෙනි.

මේ ඉන්දීය සංචාරය ඇන්ඩර්සන් හට සුවිශේෂී එකක් බවට පත් වුනේ එම තරගාවලිය අතරතුර දී ලොව වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවා ගත් වේගපන්දු යවන්නා බවට පත් වීමට ඔහුට හැකියාව ලැබුණු නිසාය. එම තරගාවලියේ සුවිශේෂීතම මොහොත චිත්‍රපටයක තිරකතාවක් මෙන් දිගහැරුනේ මෙලෙසිනි.

2018 වසරේ ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත සංචාරයයි. තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 4ක් අවසානයේ දී 3-1ක් ලෙස පෙරමුණ ගෙන ඇත්තේ එංගලන්ත කණ්ඩායමයි. ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ දී මේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ තරගාවලියේ අවසාන, එනම් පස්වැනි තරගයයි. දිනය සැප්තැම්බර් මස 11 වැනිදා ය. වේලාව සවස 5.24ය. තරගයේ අවසන් දිනයේ තේ පානයෙන් පසුව එළඹෙන අවසාන සැසියේ අවසන් මිනිත්තු කිහිපය වෙත තරගය විසඳුමකින් තොරව ඇදී ගොස් ඇත.

ඒ මොහොත වන විට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 464ක ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දීය කණ්ඩායමේ කඩුලු 9ක් දැවී ගොසිනි. ලකුණු පුවරුව දැක්වුනේ ලකුණු 345කට කඩුලු 9ක් වශයෙනි. තරගය අවසන් කිරීමට නියමිත කාලසීමාවට තවත් ඇත්තේ මිනිත්තු කිහිපයක් පමණි. පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය පිතිකරු යුගලය වූ ජස්ප්‍රීට් බුම්රා සහ මොහමඩ් ශමි යන දෙදෙනාම උත්සාහ කරමින් සිටින්නේ කෙසේ හෝ කඩුල්ල රැකගෙන තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමටයි.

වේගපන්දුවේ දඩබ්බරයා – ඩේල් ස්ටේන්

පන්දුවාර 5යි. ලකුණු 58යි. කඩුලු 1යි. දල ලකුණු ලබා දීමේ වේගය පන්දුවාරයකට ලකුණු 11.6යි. නිපන්දු 7යි…

ඒ අතරේ තවත් සුවිශේෂී දෙයක් සිදුවෙමින් පවතී. ටෙස්ට් කඩුලු 563ක් දවාගෙන ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ හතර වැනි ස්ථානයේ ග්ලේන් මැක්ග්‍රාත් හා සම වී ඇති ජේම්ස් ඇන්ඩර්සන් හට තම 564 වැනි කඩුල්ල දවා ගෙන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් වේගපන්දු යවන්නා බවට පත් වීමට තවත් අවස්ථාවක් උදාවී ඇත. ඒ සඳහා ඔහුට ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ ඉතිරි වී ඇත්තේ එක් කඩුල්ලක් පමණි. ඒ අරමුණ වෙනුවෙන් එක දිගටම පන්දුවාර 14ක් ක්‍රියාත්මක කළ ඇන්ඩර්සන් මේ ක්‍රියාත්මක කරන්නේ මෙම ඉනිම තුළ ඔහු යවන 23 වැනි පන්දුවාරයයි.

ඇන්ඩර්සන්ගේ පිටතට දෝලනය වන අවුට් ස්වින්ග් පන්දුව තම නායක විරාත් කෝලිව පවා අසරණ කිරීමට සමත් වූ බව දන්නා නිසා පන්දුවට පහර දෙමින් සිටි මොහමඩ් ශමි ක්‍රීඩා කරමින් සිටියේ එතරම් විශ්වාසයකින් නොවේ. එම අවිශ්වාසය වඩාත් තහවුරු කරමින් පෙර පන්දුව තණතීරුව මත පතිත වී ඉවතට දෝලනය වෙමින් ශමිගේ පිත්තේ පිටත දාරය අසලින් ඇදී ගියේ ඔහුව සම්පූර්ණයෙන්ම පරාජයට පත් කරමිණි. 

පිතිකරුවා එලෙසින් පරාජයට පත්වනවාත් සමඟම ප්‍රේක්ෂකාගාර තුළ උන් බාමි ආමි ප්‍රේක්ෂකයන් “ඌහ්….” යන ශබ්දය පිට කරමින් තම දෑත්වලින් මුව වසා ගත්තේ එය දැවී යාමකට ඉතා ආසන්න වූ සිදුවීමක් නිසාවෙනි. එංගලන්ත ප්‍රේක්ෂකයන්ගේ ඔල්වරසන් නාදයෙන් ප්‍රේක්ෂකාගාර පිරී ඉතිරී ගොස් තිබුණ නිසා පිතිකරුවා වෙත යොමු වී තිබුණ පීඩනය සුළුපටු නොවේ. මේ නිසා ඔහු සිටියේ තරමක් දෙගිඩියාවකිනි.

ඒ නිසාම ඇන්ඩර්සන් යොමු කළ මීළඟ පන්දුව තණතීරුවේ පතිත වෙනවාත් සමඟම ශමි පිත්ත තරමක් ඉවතට යොමු කළේ කෙසේ හෝ පන්දුව පිත්තේ දවටා ගැනීමේ අරමුණෙනි. නමුත් පිටතට දෝලනය වන පන්දුව වෙනුවට ඇන්ඩර්සන් එවර යොමු කළේ කඩුල්ල තුළට සීම් වන පන්දුවකි. එම පන්දුවේ සීමය තණතීරුව මත පතිත වූ වහාම පන්දුව කඩුල්ල තුළට ඇදී ආවේ පිතිකරුවාට සිදු වූයේ කුමක්දැයි සිතා ගැනීමවත් කාලයක් ඉතිරි නොකරය. පිත්තත් පාදයත් අතරින් රිංගා ගිය පන්දුව කඩුල්ලේ මැද ඉන්නේ දැවටුනේ ඇන්ඩර්සන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභී වේගපන්දු යවන්නා බවට පත් කරමින් එංගලන්තයට ලකුණු 118ක ජයග්‍රහණයක් අත් කර දෙමිනි..

වසර 142ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ක්‍රීඩකයන් 3,006 දෙනෙකු කුමන හෝ රටක් නියෝජනය කරමින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කර ඇත. එයින් ක්‍රීඩකයන් 2,209 දෙනෙකු එක් වරක් හෝ ටෙස්ට් පිටිය තුළ පන්දු යැවීමේ කාර්යයේ නිරත වී ඇත. එම පන්දු යවන්නන් 2,209 දෙනාගෙන් ටෙස්ට් කඩුලු 575 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ ක්‍රීඩකයන් 4 දෙනෙකු පමණි. එයින් ද ක්‍රීඩකයන් 3 දෙනෙකුම දඟපන්දු යවන්නන්ය. එම දස්කම කිරීමට සමත් වී ඇත්තේ එකම එක වේගපන්දු යවන්නෙක් පමණි. ඒ බර්න්ලි එක්ස්ප්‍රස් (The Burnley Express) හා කින්ග් ඔෆ් ස්වින්ග් (King of Swing) යන අන්වර්ථ නාමයන්ගෙන් හැඳින්වූ ජේම්ස් ඇන්ඩර්සන් ය.

Image Credits: Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<