ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට විශිෂ්ටයින් රැසක් දායාද කර ඇති කීර්තිමත් පාසල් දෙකක් වන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 138වැනි පාසල් මහා ක්‍රිකට් තරගය අද (09) කොළඹ SSC පිටියේදී ආරම්භ විය. එහි ප්‍රථම දිනය නිමාවන විට මුලින් පන්දුවට පහරදුන් රාජකීය විද්‍යාලය රැස්කල ලකුණු 255 හඹා යන සාන්ත තෝමස් විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 33ක් ලබා සිටියි.

පැරණිතම මහා සටනේ 138 වන රඟ දැක්වීම

රාජකීය – සාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගයට හැඳින්වීමක් සැපයීම නිෂ්ඵල ක්‍රියාවකි. ඒ මන්ද යත්, වසර 138ක කීර්තිමත් ඉතිහාසය සහ සම්ප්‍රදායන් තුළ….

අවසන් වරට පැවැත්වුනු මහා ක්‍රිකට් තරගයේදී ඉතාමත් උණුසුම් තරගයකින් අනතුරුව පෙරළිකාර ජයක් ලබා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වූ අතර මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේ ඉහළ දක්ෂතා දැක්වූ තෝමසුවන්ට එරෙහිව ඔවුන් දක්වන දක්ෂතා පිලිබඳ සමස්ථ ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානය එල්ල වී ඇත. එසේම ඉතිහාසයේ අවස්ථා 35කදී ශූරතා කුසලානය රාජකීයයන් සතු වෙද්දී අවස්ථා 34ක ජයග්‍රහණය තෝමසුවන් සතු වී තිබීම මෙම තරගය පුරාවට ගැබ්වී ඇති ආකර්ෂණීය බවට නිදසුන් සපයයි.

මෙවන් වටපිටාවක් තුල අද තරගයේ ආරම්භක වාසිය උරගා බැලීම සඳහා පිටියට පියමන් කළ විද්‍යාලීය නායකයින් දෙදෙනා අතරින් බිම පතිත වූ කාසිය තෝමස් නායක රොමේෂ් නල්ලපෙරුමට ජය හිමිකර දෙද්දී ඔහුගේ තීරණය බවට පත්වූයේ මුලින් පන්දුවට පහර දීමට සහෝදර රාජකීයයන්ට ආරාධනා කිරීමයි. තණතීරුවේ පැවති වියළි තත්වයෙන් තම පන්දු යවන්නන්ට වාසියක් අත්කර දීම ඔහුගේ තීරණය පසුපස සැඟවුණු අරමුණ වන්නට ඇත.

ඒ අනුව ඉනිම ඇරඹූ රාජකීයයන් තම ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 255ක් රැස්කර ගන්නට සමත්කම් දැක්වීය. රාජකීය පිතිකරුවන්ට අද දිනයේදී දැඩි හිසරදයක් බවට පත්වූ වමත් වේග පන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා නොවන්නට ඔවුන්ගේ ප්‍රථම ඉනිම ලකුණු 300 පසුකර යෑමට වැඩි ඉඩකඩක් පැවතිණ. රාජකීය ඉනිමේ මුල් කඩුල්ල ලකුණු 16දී බිඳ වැටුනත් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 69ක සබඳතාවයක් ගොඩ නගමින් සවිමත් අත්තිවාරමක් දැමීමට ආරම්භක පිතිකරු රෝනුක ජයවර්ධන සහ අංක 3 පිතිකරු පසිඳු සූරියබණ්ඩාර සමත් වූහ. රෝනුක අද හතරේ පහර 4ක් සමගින් ලකුණු 32ක් රැස් කරද්දී පසිඳුගේ ලකුණු 35ට හතරේ පහර 5කින් අලංකාරවත් විය. රාජකීය ඉනිමේ මුල් පිතිකරුවන් තිදෙනාම දවා ගත්තේ කළණ පෙරේරායි.

[rev_slider dfcc728]

අද අංක 4 පිතිකරුවා ලෙස පිටියට පිවිසි කඩුලු රකින පිතිකරු කවිඳු මදරසිංහ ලකුණු 38ක් රැස් කරද්දී අශාන් වික්‍රමසිංහගේ ඉනිම ඉක්මනින්ම නිමා කිරීමට තෝමස් විද්‍යාලයේ මායාකාර පන්දු යවන්නා වන පවිත් රත්නායක සමත් විය. පාසල් ක්‍රිකට් තරග වාරයේ ලකුණු 1000 සීමාව පසුකර ඇති දක්ෂ ක්‍රීඩකයෙකු වන රාජකීය විද්‍යාලයේ නායක හේලිත විතානගේට අද රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 10ක් පමණි.

කෙසේ වෙතත් ඉනිමේ අවසන් භාගයේදී රාජකීය ලකුණු පුවරුව ක්‍රියාත්මක කරවූ හිමේෂ් රාමනායක සහ ගනිත් සන්දීප පිළිවෙලින් ලකුණු 41 සහ 42 බැගින් රැස් කළහ. ඒ හේතුවෙන් එක් අවස්ථාවකදී ලකුණු 172කට කඩුලු 7ක් බිඳ වැටී සිටි රාජකීයයන්ට ලකුණු 250 පසුකර යාමේ අවස්ථාව උදාවිය. ඔවුන් දෙදෙනා අතර 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83ක සබඳතාවයක් බල පැවැත්වීය. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් දිනයේ කැපී පෙනුනු ක්‍රීඩකයා බවට පත්වූ කළණ පෙරේරා ලකුණු 47ට කඩුලු 5ක් බිඳ හෙලද්දී පවිත් රත්නායකගේ වමත් දඟ පන්දුව ඉදිරියේ රාජකීයයන් දෙදෙනෙකු මෙල්ල විය.

අද සන්ධ්‍යාවේ පන්දුවාර කිහිපයක් සඳහා පිටියට පිවිසි තෝමස් පිතිකරුවන් දිනය නිමාවන තුරුම තම කඩුලු පැස සුරැකිව රැක ගැනීමට සමත් විය. ඒ අතරතුර තෝමස් ප්‍රථම ඉනිමට ලකුණු 33ක් එකතු විය. මේ වනවිට නොදැවී පන්දුවට පහර දෙන රවිඳු කොඩිතුවක්කු ලකුණු 23ක් ද,  දුලිත් ගුණරත්න ලකුණු 10ක් ද ලබාගෙන තරගයේ දෙවැනි දිනයට පිවිසෙන්නේ විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ඉනිම ගොඩ නැංවීමේ බලාපොරොත්තු පොදි බැඳගෙනයි. කෙසේ වෙතත් හෙට දිනයේදී තෝමස් විද්‍යාලයට රාජකීය මුල් ඉනිම අභිබවා යා හැකි වෙයිද යන්න පිලිබඳ නිශ්චිත පිලිතුරක් ලබාදීමට තවමත් කල්වේලා වැඩි වී ඇත.

රාජකීය විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 255 (පන්දුවාර 71.3): රෝනුක ජයවර්ධන 32, පසිඳු සූරියබණ්ඩාර 35, කවිඳු මදරසිංහ 38, හිමේෂ් රාමනායක 41, ගනිත් සන්දීප 42, කළණ පෙරේරා 5/47, පවිත් රත්නායක 2/69.

සාන්ත තෝමස් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 33 (පන්දුවාර 10.3): රවිඳු කොඩිතුවක්කු 23*, දුලිත් ගුණරත්න 10*.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට