කෝඩුකාර බෙන් ෆෝකස් ශ්‍රී ලංකාවට තරවටු කරයි

566
England tour of Sri Lanka 2018

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (05) ආරම්භ වූ ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයට බේල්ස් ඉවත් කරන විට එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 321ක් ලබා ගනිමින් ප්‍රබල ස්ථානයක පසු විය.  

තරගයේ ආරම්භය සත්කාරකයන් විසින් තමන් සන්තක කර ගත්ත ද අවසානය වන විට සියලු ගෞරවයන් තමන් වෙත නතුකර ගැනීමට සංචාරක එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. එහි වැඩි ගෞරවය හිමි වූයේ කෝඩුකාර බෙන් ෆෝක්ස් වෙතය. ඔහු තම මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී මංගල අර්ධ ශතකය ලබා ගැනීමෙන් නොනැවතී මේ වන විට නොදැවී ලකුණු 87ක් ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටින්නේ ය. ඔහුගේ ඉනිම පන්දු 184කින් සමන්විත වූ අතර හතරේ පහර 6ක් එම ඉනිමට ඇතුලත් කර ගෙන තිබුණි.

හේරත්ට ජයග්‍රාහී නික්ම යෑමක් ලබා දෙන්නට ශ්‍රී ලංකාවට හැකි වෙයි ද?

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වෙන ක්‍රිකට් සංචාරයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය…

ශ්‍රී ලංකාව පිතිකරුවන් 7 දෙනෙක්, දඟපන්දු යවන්නන් 3 දෙනෙක් හා එක් වේගපන්දු යවන්නෙක් සමඟින් පළමු ටෙස්ට් තරගයට අවතීර්ණ වෙද්දී එංගලන්ත කණ්ඩායම නවක ක්‍රීඩකයන් දෙදෙනෙක් සමඟ පිටියට පිවිසියේ ය. ඒ රෝරි බර්නස් හා බෙන් ෆෝකස් සමඟිනි.

තරගයේ සිව්වැනි ඉනිම ක්‍රීඩා කිරීම ගාලු ක්‍රිකට් පිටියේ දැලි පිහියෙන් කිරි කන්නාක් බඳු බැව්ය, විචාරකයන්ගේ මතය වන්නේ. එබැවින්ම දෝ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ජෝ රූට් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත්තේ ය.

එසේ වූවද එම තීරණය අභියෝගයකට ලක් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ එකම වේගපන්දු යවන්නා වූ සුරංග ලක්මාල් සමත් විය. ඉනිමේ තෙවැනි පන්දුවාරයේ පිට පිට පන්දු දෙකක දී කඩුලු දෙකක් දවා ගැනීමට ඔහු සමත් විය.

කඩුල්ල පිටුපස සිටි නිරෝෂන් දික්වැල්ල විසින් රැක ගත් උඩ පන්දුව හේතුවෙන් රෝරි බර්න්ස් ලකුණු 9ක් ලබා සිටිය දී නැවත ක්‍රීඩා විවේකාගාරය වෙත ගියේ එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල අහිමි කර ගනිමිනි. ඊළඟ පන්දුවේ දී මොයින් අලිගේ කඩුල්ල ද බිඳ දැමීමට ලක්මාල් සමත් විය.

සිදු වූ මේ ව්‍යසනයත් සමඟ වඩාත් පරිස්සම් වූ කිට්න් ජෙනින්ස් සහ නායක ජෝ රූට් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 62ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූහ.

තම අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන රංගන හේරත් ජෝ රූට්ගේ කඩුල්ල දවා ගනිමින් තම කඩුලු දඩයම ආරම්භ කළේය. එම කඩුල්ල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ රංගන ලබා ගත් 100 වැනි ටෙස්ට් කඩුල්ල ද විය. රංගනගේ දඟ කැවුණ පන්දුව ජෝ රූට්ගේ කඩුල්ල බිඳ දමද්දී ඔහු පන්දු 46කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියේ ය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ලහිරු කුමාර ටෙස්ට් සංචිතයෙන් ඉවතට

හෙට (6) සිට ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කළ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු…

ඩිල්රුවන් පෙරේරා ද තරගයට අවතීර්ණ වෙමින් එංගලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල දවා ගැනීමට සමත් විය. ඔහුගේ ගොදුර බවට පත් වූයේ අනෙක් ආරම්භක පිතිකරු කීට්න් ජෙනින්ස් ය. ඔහු පන්දු 53කට මුහුණ දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 46ක් ලබා සිටියේ ය. ඒ වෙද්දී එංගලන්ත ක්‍රීඩකයෝ ලබා සිටියේ ලකුණු 98කි.

එංගලන්ත ඉනිමට තවත් ලකුණු 5ක් එක්වෙද්දී නැවත වරක් ක්‍රියාත්මක වීමට ඩිල්රුවන් පෙරේරා සමත් විය. බෙන් ස්ටොක්ගේ ඉනිම ලකුණු 7කින් අවසන් කිරීමට ඔහු සමත් විය. එංගලන්ත ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 113ක් වෙද්දී දිවා විවේකය වෙනුවෙන් නතර කරන ලදි. ඒ වෙද්දී ජොස් බට්ලර් ලකුණු 10ක් ලබා ගනිමින් ද, බෙන් ෆෝකස් නොදැවී ලකුණු 5ක් ලබා ගනිමින් ද පිටියේ නොදැවී රැඳී සිටිය හ.

තරගයේ පළමු දිනයේ පළමු කාර්තුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වඩාත් වාසි සහගත වූව ද දෙවැනි කාර්තුවේ දී එම තත්ත්වය සහමුලින් ම වෙනස් කිරීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. තේ විවේකය දක්වා වූ එම කාර්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දවා ගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි. දැවී ගිය ක්‍රීඩකයා වූයේ ජොස් බට්ලර් ය.

ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවකට නිරෝෂන් දික්වැල්ල වෙත උඩ පන්දුවක් දී බට්ලර් දැවී යද්දී පන්දු 72කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියේ ය. බට්ලර් සහ බෙන් ෆෝකස් අතර හයවැනි කඩුල්ලට ලකුණු සබඳතාව 61කි.

තේ විවේකයට සඳහා තරගය නතර කරන විට  එංගලන්ත ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 199ක් විය. ඒ වෙද්දී බෙන් ෆෝකස් නොදැවී ලකුණු 49ක් ලබා ගනිමින් ද, සෑම් කරන් නොදැවී ලකුණු 14ක් ලබා ගනිමින් ද පිටියේ රැඳී සිටිය හ. අවසන්ව තිබුණේ 59 වැනි පන්දු වාරයයි.

තේ විවේකයෙන් අනතුරුව බෙන් ෆෝකස් තමන් මුහුණ දුන් 111 වැනි පන්දුවේ දී තම මංගල අර්ධ ශතකය ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ කිසිදු අපහසුවකින් තොරව පිත්ත හැසිර වූ බෙන් ඒ වෙද්දී තම ඉනිමට හතරේ පහර 4ක් එල්ල කර තිබුණි.

බෙන් සහ සෑම් කරන්ගේ ලකුණු සබඳතාව නිමා වූයේ අකිල දනංජය ක්‍රියාත්මක වීමෙනි. අකිලගේ පන්දුවකට චන්දිමාල් වෙතට උඩ පන්දුවක් දී සෑම් කරන් දැවී යද්දී පන්දු 104කට මුහුණ දී ලකුණු 48ක් ලබා සිටියේය. ඔහුගේ ඉනිම හතරේ පහරකින් සහ හයේ පහර 3කින් සමන්විතව තිබුණි. ලකුණු 88ක් වූ ඔවුන්ගේ 7 වැනි කඩුල්ලේ සබඳතාව ඉනිමේ හොඳම සබඳතාව ද විය.

කෝලිගේ වාර්තාවක් බිඳවැටේ

ඉන්දියානු ක්‍රිකට් නායක විරාත් කෝලි සතුවූ වාර්තාවක් බිඳ හෙලීමට පාකිස්තානු ජාතික බාබර් අසාම් සමත්ව තිබේ. ‘ජාත්‍යන්තර 20-20 තරග රටාවේදී අඩුම ඉනිම ගණනකින්…

අනතුරුව ආදිල් රෂීඩ් එක්ව ද  ලකුණු 54ක සබඳතාවක් එක් කිරීමට බෙන් සමත් විය. දිනයේ අවසන් කඩුල්ල ලෙසින් ආදිල් රෂීඩ් දැවී යද්දී පන්දු 38කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 35ක් ලබා සිටියේ ය. ඔහුගේ කඩුල්ල දවා ගැනීමේ ගෞරවය හිමි වූයේ ඩිල්රුවන් පෙරේරාට ය.

දිනය අවසන් වන විට බෙන් ෆෝකස් (87) සමඟ ජැක් ලීච් (14) නොදැවී පිටියේ රැඳී සිටිය හ.

කඩුලු ලබා ගැනීමේ දී ඩිල්රුවන් පෙරේරා ලකුණු 70කට කඩුලු 4ක් දවා ගත් අතර සුරංග ලක්මාල් ලකුණු 57කට කඩුලු 2ක් දවා ගත්හ. ඊට අමතරව අකිල දනංජය සහ රංගන හේරත් කඩුල්ල බැගින් දවා ගත්හ.

තරගය හෙට (07) දිනයේත් ක්‍රියාත්මක වීමට නියමිත ය.

එංගලන්තය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 321 (91): කීට්න් ජෙනින්ස් 46, ජෝ රූට් 35, ජොස් බට්ලර් 38, බෙන් ෆෝකස් නොදැවී 87, සෑම් කරන් 48, සුරංග ලක්මාල් 2/57, ඩිල්රුවන් පෙරේරා 4/70

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<