නවසීලන්ත වෙඩි තැබීමේ සිද්ධියෙන් බංගලාදේශ කණ්ඩායම නූලෙන් ‍බේරෙයි

546

නවසීලන්ත සංචාරයක නිරත වී සිටින බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ක්‍රයිස්ට් චර්ච්හි අද (15) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනූ නාමයෙන් දිවි ගලවා ගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ. දෙරට අතර තරගාවලිය ඇරඹීමට නියමිතව තිබුණේ හෙටයි.

ස්මිත්, වෝනර් කළ යුතු දෑ පොන්ටින් විසින් පහදයි

ඒකාබද්ධ වෙමින් සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් …..

ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී ඇත්තේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරමිනි. සිකුරාදා දිනය ඔවුන්ගේ පූජා දිනය වන නිසාවෙන් වැඩි ප්‍රමාණයක් ඉලක්ක කරගැනීමේ අදිටනින් මෙම ත්‍රස්ත ප්‍රහාරය අද දිනයේ දී සිදු කළ බව නිගමනය කළ හැක.

බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන් ද තම සිකුරාදා දේව මෙහෙයන් වලට සහභාගී වීම සඳහා මෙම දේවස්ථානයට පැමිණෙමින් සිට ඇත. ප්‍රහාරය එල්ල වීමෙන් පසුව ඔවුන් හැකි ඉක්මනින් හැග්ලි ඕවල් ක්‍රීඩාංගණය වෙත යැවූ අතර මේ වන විට ඔවුන් තම හෝටල් කාමර තුළ ආරක්ෂිතව සිටින බව වාර්තා වේ.

මෙය “නවසීලන්තයේ අඳුරුතම දිනයක්” යැයි නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩ්න් පැවසීය.

“ඒ වගේ කලහකාරී දේවල්වලට නවසීලන්තයේ ඉඩක් නැහැ. මෙය එවැනි දෙයක් බව පැහැදිලියි.” ඇය තවදුරටත් පවසා ඇත.

ක්‍රීඩකයන් දේවස්ථානය වෙත පැමිණෙමින් සිටිය දී ඔවුන් විසින් අනතුරක සේයා දුටු අතර පසුව ඔවුන්ට බස් රථයෙන් බැස යාම ද මොහොතකට තහනම් විය. එහෙත් හැග්ලි උද්‍යානය හරහා ඔවුන්ට ඉක්මනින්ම ක්‍රීඩාංගණය වෙත දිව යෑමට සිදු වූ අතර පසුව ඔවුන්ව ඔවුන් නවාතැන් ගෙන සිටින හෝටලය වෙත පිටත් කොට යවා තිබේ.

මේ සිද්ධියෙන් අනතුරුව බංගලාදේශ – නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය ද අත්හැර දමන බව ද තහවුරු කොට තිබේ. එක්දින තරග 3කට සහ ටෙස්ට් තරග 3කට සහභාගී වන්නට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටියේය.

2009 දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එල්ල වූ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයේ දස වසරක අඳුරු මතකය පසුවී දින කිහිපයක් ඉක්ම යාමේ දී මෙසේ තවත් ක්‍රිකට් කණ්ඩායමක් අනතුරක් ආසන්නයටම පැමිණීම පුදුමයට කරුණකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<