තරගය අවසානයේ හැඟුම්බර වූ දඟපන්දු ශූරයාගේ කතාව

315

විස්සයි විස්ස තරග ආකෘතිය නව මානයකට රැගෙන ගිය දඟපන්දු යවන්නන් අතරින් සුපිරි ඇෆ්ගනිස්තාන පා දඟපන්දු යවන ක්‍රීඩක රශීඩ් ඛාන් හට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. 

සටන්කාමි ආකල්ප පෙරදැරිව තරග බිමට පිවිසෙන, ශක්තිමත් මනසක් ඇති ක්‍රීඩකයෙකු ලෙස අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකි රශීඩ් ඛාන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ  පැවති තරගයෙන් අනතුරුව තරමක් සංවේදී වන අයුරු දැකගත හැකි වූයේ ක්‍රීඩාලෝලීන් හට ද හැඟුම්බර තරග අවසානයක් දැක බලා ගැනීමේ ඉඩප්‍රස්තාව සලසා දෙමිනි.

සන්රයිසස් හයිඩ්‍රබාද් කණ්ඩායමේ පන්දු බලඇණි‍ය සවිබල ගන්වන ප්‍රධාන තුරුම්පුව ලෙස ක්‍රියාත්මක වෙමින් දිල්ලි කණ්ඩායමේ ප්‍රබල පිතිකරු ලැයිස්තුව දැඩි පීඩනයකට හසුකොටගත් රශීඩ් දිල්ලි ඉනිමේ කඩුලු 3ක් බිඳහෙළමින් සන්රයිසස් ජයග්‍රහණයට අවශ්‍ය මඟ එළිපෙහෙළි කරදීමට සමත්කම් දැක්විය. 

එහි දී කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් රශීඩ්ගේ සේවය ඇගයීම පිණිස තරගයේ වීරයා සම්මානය ඔහු නමින් වෙන් කිරීමට තීරණය කෙරුණු අතර තරගය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පැමිණි අවස්ථාවේ දී ඔහු තම මියගිය මෑණියන් සිහිපත් කළේ ක්‍රිකට් ක්‍රීඩාලෝලී අපගේ දෑසට ද කඳුලක් එක් කරමිනි.

තවත් ක්‍රිකට් පුවත්: 

“මගේ ජීවිතයේ පහුකරපු අසීරුම කාලපරිච්ඡේද කිහිපය අතරින් පහුගිය අවුරුදු එකහමාර කියන්නේ සෑහෙන තීරණාත්මක කාලපරිච්ඡේදයක්. මගේ පියාගේ හදිසි වියෝවත් එක්ක අපේ පවුලේ හැමෝම වගේ ගොඩක් මානසිකව ඇඳ වැටුණා. දැන් මගේ අම්මත් ජිවතුන් අතර නැති නිසා ඒ අඩුව මට සෑහෙන්න දැනෙනවා. නමුත් මට මගේ මනස හදාගෙන ආයිත් සුපුරුදු විදියට තරගකාරී මානසිකත්වයක් ගොඩනඟා ගන්න යම්කිසි කාලයක් ගතවුනා.”

“මගේ අම්මා තමයි මට ඉඳපු ලොකුම රසිකාවිය, විශේෂයෙන්ම IPL තරගාවලිය පැවැත්වුණු කාලසමයේ දී. මම තරගයේ වීරයා සම්මානය දිනා ගත්ත හැම අවස්ථාවක දී මම මුලින් කළේ ඇයත් එක්ක ඒ සතුට බෙදාහදා ගත්ත එක.”

පන්දු යැවීමේ දී භාවිත කළ උපක්‍රමයන්ගේ සාර්ථකභාවය පිළිබඳව ඇසූ පැනයට පිළිතුරු ලබා දුන් රශීඩ් පෙන්වා දී සිටියේ පන්දු යවන්නෙකු වශයෙන් තණතීරුව කියවීමේ හැකියාවක් නොමැති නම් අදාළ පන්දු යවන්නාට අපේක්ෂා කරන මට්ටමේ පීඩනයක් ප්‍රතිවාදීන් වෙත එල්ල කිරීමට නොහැකි බවයි.

“මම වෙනදට වඩා වේගයෙන් අද පන්දුව යොමු කළා. පළමු පන්දුව යවපු ගමන්ම වගේ මට අදහසක් ආවා අද දවසේ මගේ පන්දුවාර කිහිපය කළමනාකරණය කරගන්න ඕන විදිය. පන්දු දෙක තුනක් සම්පූර්ණ කළාට පස්සෙ මම හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව පන්දු යොමුව කළා. මේ වගේ තණතීරුවල පන්දුව හැසිරෙන ආකාරය අධ්‍යයනය කළොත් තේරුම් යන දෙයක් තමයි හැමතිස්සෙම පිතිකරුවාව පසුපස පාදයේ සෙල්ලම් කරවන්න පුළුවන් නම් හොඳ අවස්ථාවක් තියෙනවා ඔහුගේ කඩුල්ල දවා ගන්න.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<