ලංකාවෙන් 8ක් අබුඩාබි T10 ක්‍රිකට් සටනට

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය 2021-22

2477

එළඹෙන නොවැම්බර් 19 වැනිදා සිට දෙසැම්බර් 4 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත 2021-22 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 8 දෙනෙකු තේරී පත්ව තිබෙනවා.

පස්වැනි වරටත් පැවැත්වෙන අබුඩාබි T10 තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය සහ වර්ගීකරණය ඊයේ (7) රාත්‍රියේ දී පැවැත්වුනා. එහි දී මේ ක්‍රීඩකයින් 8 දෙනා කණ්ඩායම් 4ක් වෙත බෙදී ගියා.

ලොව විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දැනට දෙවැනි ස්ථානයේ සිටින වනිඳු හසරංග වෙන්දේසිය වෙනුවෙන් මුදා නොහැර සිය කණ්ඩායම තුල නැවත වරක් රඳවා ගැනීමට Deccan Gladiators පියවර ගෙන තිබුණා.

මෑතක දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් උපුල් තරංග ද ඊයේ පැවති ක්‍රීඩක තෝරා ගැනීමේ දී Northern Warriors විසින් තෝරා ගත් අතර ඔවුන් මේ තරගාවලියේ වත්මන් ශූරයින් ද වෙනවා.

දුෂ්මන්ත චමීර, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ හා ධනංජය ලක්ෂාන් යන ක්‍රීඩකයින් තෝරා ගැනීමට Maratha Arabians පියවර ගත් අතර, මහීෂ් හා ලක්ෂාන් ගියවර තරගාවලියේ  ශූරතාවය දිනා ගත් Northern Warriors නියෝජනය කළා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන මතීෂ පතිරණ (පොඩි මාලිංග) පසුගිය වසරේ නියෝජනය කළ Bangla Tigers විසින් රඳවා ගත් අතර මෑතක දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්  තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ද නැවත වරක් Bangla Tigers තුල රඳවා ගත්තා.

2021-22 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 8 මෙසේයි,

Maratha Arabians – දුෂ්මන්ත චමීර, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ධනංජය ලක්ෂාන්

Deccan Gladiators – වනිඳු හසරංග

Bangla Tigers – ඉසුරු උදාන, මතීෂ පතිරණ

Northern Warriors – උපුල් තරංග

ලොව පුරා දෙස් විදෙස් කෙළිබිමේ තතු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<