මේ වසර තුල දී, වසර 50ක අභිමානය සපුරන කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය මෙවර තම සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන කොළඹ මහානාම විදුහල සමඟ පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී සහ එක්දින තරගයේ දී ඉහල දස්කම් දක්වමින් ස්වර්ණ ජයන්ති සැමරුම තවත් වර්ණවත් කිරීමේ අරමුණින් පසුවෙයි.

පළමු හතර අතරට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන වෙස්ලි විදුහල

මෙවර තරග වාරයේ මේ වන තෙක් සැලකිය යුතු තරමේ ප්‍රශස්ත වර්ධනයක් පෙන්නුම් කළ කොළඹ වෙස්ලි විද්‍යාලය තම කාණ්ඩයේ පළමු කණ්ඩායම්…

ඉතිහාසයෙන් බිඳක්

1996 ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා අවසන් මහා තරගයේ වැඩිම බරක් එසවූ ක්‍රීඩකයා වන එවකට කණ්ඩායමේ උප නායක අරවින්ද ද සිල්වා මෙන්ම, එක්දින ලෝක කුසලානය ජය ගත් කණ්ඩායමේ සාමාජික සහ හිටපු ටෙස්ට් නායකයකු වන හෂාන් තිලකරත්න ද කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ කීර්තිමත් ආදි ක්‍රිකට් ක්‍රීඩකයන් වෙයි. එමෙන්ම වත්මන් ක්‍රිකට් කරළියේ නැගී එන දක්ෂයෙකු වන වේග පන්දු යවන යොවුන් ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ද මේ විද්‍යාලයෙන් ක්‍රිකට් අඹරට දායාද වූ තරුවක් ලෙස හැඳින්විය හැකියි.

ප්‍රධාන ක්‍රීඩකයන්

දකුණත් පිතිකරු දසුන් ඩිමාශ ඩී. එස්. සේනානායක විද්‍යාල කණ්ඩායමේ සාර්ථකම පිතිකරු ලෙස හැඳින්විය හැක. මැදපෙළ පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට මහඟු සේවයක් ඉටු කරන ඔහු මෙවර තරග වාරයේ ඉනිම 11ක් තුල ලකුණු 500 කඩ ඉම පසු කරන්නට සමත් වී සිටියි. ඔහුගේ ලකුණු එකතුවට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව රැස් කල ශතකයක්ද ඇතුලත්ව තිබේ.

සිව්වන වසරේ ක්‍රීඩක ශේසාඩ් අමීන් ද ලකුණු 500 සීමාව වෙත ලඟා වෙමින් සිටින පිතිකරුවෙකි. ඔහු ද ඒ සඳහා තරග 11කට සහභාගී වී තිබේ. මෙම වමත් පිතිකරුවා ද මෙවර වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී වඩාත් අවධානය දිනා ගන්නා ක්‍රීඩකයෙකු වනු ඇත.

වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මුදිත ලක්ෂාන් මෙවර තරග වාරය පුරාවටම කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයේ ප්‍රධානතම තුරුම්පුව බවට පත්ව සිටියි. ඩී. එස්. සේනානායක විද්‍යාලය මේ තරග වාරයේ ක්‍රීඩා කල තරග 11 තුළ දී මුදිත බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 50 ඉක්මවයි. ඉනිමක දී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් බිඳ හෙලූ අවස්ථා 3ක් ද ඊට ඇතුළත්. දෙවන වසරේ ක්‍රීඩකයෙකු වන ඔහු මෙවර මහා ක්‍රිකට් තරගය සඳහා ඩී. එස්. කණ්ඩායමට ඉහල වටිනාකමක් එක් කරනු ඇත.

2016/17 ඩී. එස්. සේනානායක විද්‍යාලීය ක්‍රිකට් සංචිතයේ ඡායාරූප ඇල්බමය

තුන් ඉරියවු ක්‍රීඩක විහාන් ගුණසේකර ඩී. එස්. සේනානායක විද්‍යාල කණ්ඩායම සමබර කරන්නට ඉහල දායකත්වයක් ලබා දෙන ක්‍රීඩකයෙක් වන අතර ඔහු මෙවර තරග වාරයේ දී ලකුණු 350 සහ කඩුලු 30 සීමාවන් දෙකම ඉක්මවා යන්නට සමත්ව සිටියි. තුන් වන වසරේ ක්‍රීඩකයකු වන විහාන් තම විද්‍යාලයේ සම්ප්‍රදායික ප්‍රතිවාදීන් හට, වාර්ෂික මහා ක්‍රිකට් තරගය අමිහිරි අත්දැකීමක් බවට පත් කිරීමේ අරමුණ පෙරදැරිව සිටිනු ඇත.

පුහුණු කාර්ය මණ්ඩලය

සාන්ත ජෝසප් විදුහලේ ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ඩිලාන් රාමනායක පසුගිය තරග වාරයේ දී කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල කණ්ඩායම සමඟ එක්වූ අතර මෙවර ද ප්‍රධාන පුහුණුකරු වගකීම ඔහුට පැවරී තිබේ. ඔහුගේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හසිත දිල්හාරයි.

සාරාංශය

මෙවර පාසල් තරගාවලියට අදාලව තරග 5ක් ක්‍රීඩා කර ඇති කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය ඉන් එක තරගයක දී පූර්ණ ජයක් වාර්තා කිරීමට සමත් විය. පළමු ඉනිමේ ජයග්‍රහණ දෙකක් සහ පරාජයන් දෙකක් සහිතව සිටින ඔවුන්ගේ මහා ක්‍රිකට් තරග ඉතිහාසය එතරම් සාර්ථකත්වයක් නොපෙන්වයි. මෙතෙක් පැවති  වාර්ෂික මහා ක්‍රිකට් තරග අතුරින් ඔවුන් එක් පළමු ඉනිමේ ජයග්‍රහණයක් පමණක් වාර්තා කරද්දී මහානාම ක්‍රීඩකයන් පළමු ඉනිමේ ජයග්‍රහණ 4ක් ලබා ගෙන තිබේ. එබැවින් මහානාම විද්‍යාලයට එරෙහිව පැවැත්වෙන වාර්ෂික එක්දින තරගයේ ශූරතාව නැවත ලබා ගැනීමට නම් කොළඹ ඩී. එස්. සේනානායක ක්‍රීඩකයන් හට තම පුහුණු වීම් වල දී වඩාත් වැඩි වෙහෙසක් දැරීමට සිදු වනු ඇති.

කොළඹ ඩී. එස්. සේනානායක කණ්ඩායමේ නායක ටොරින් පිටිගල ThePapare.com වෙත මෙලෙස අදහස් පල කරන ලදී.

”අපිට හැකි වුනා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට එරෙහිව පූර්ණ තරග ජයග්‍රහණයකුත් ඒ වගේම සාන්ත ඇලෝසියස් සහ සාන්ත සිල්වෙස්තර විදුහල් වලට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණ දෙකකුත් වාර්තා කරන්නට. අපි ඉතා කැපවීමෙන් පුහුණු වීම් වල නිරත වෙනවා, ඉතින් අපි සියලුම උත්සාහය යොදනවා මෙවර වාර්ෂික එක්දින තරගයේ දී මහානාම විද්‍යාලය පරාජය කරන්නට.”

පුහුණුකරු රාමනායක ද තම කණ්ඩායම පිළිබඳ අදහස් පල කලේ මෙලෙසින්.

”අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා. අවාසනාවට තවමත් මේ කණ්ඩායම එක්ව නියමිත රිද්මය සොයා ගන්නට සමත් වෙලා නැහැ. නමුත් අපි අනාගතය සඳහාත් ක්‍රීඩකයන් සකස් කරමින් සිටිනවා. මෙම තරග වාරයේ දී අපේ කණ්ඩායමේ නැගීම් වගේම බැසීම් ද තිබුනා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා හොඳ සැලසුමක් ඇතිව පැමිණිලා මහානාම විද්‍යාලය පරාජය කරන්න.”

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල සංචිතය

ටොරින් පිටිගල (නායක), ශේසාඩ් අමීන්, ඉනෝෂ ගුණවර්ධන, සචින්ත හෙට්ටිගේ, ගීතාංජන ඩැනියල්, මුදිත ලක්ෂාන්, යසිත් සමරදිවාකර, ලහිරු සමරනායක, ශෂික ගමගේ, දසුන් ඩිමාෂ, තත්සර සංතොෂ්, පසිඳු චානක, විහාන් ගුණසේකර, කලන හෙට්ටිආරච්චි, ටෙරෝන් ශනෙල්, පසිඳු ආදිත්‍ය.