මෙවර තරග වාරයේ මේ වන තෙක් සැලකිය යුතු තරමේ ප්‍රශස්ත වර්ධනයක් පෙන්නුම් කළ කොළඹ වෙස්ලි විද්‍යාලය තම කාණ්ඩයේ පළමු කණ්ඩායම් 4 අතරට පැමිණ එක්දින තරගාවලියේ ස්ථානයක් වෙන් කරගැනීමට  බලාපොරොත්තුවෙන් පසු වෙයි.

ද මැසිනෝද් විදුහල නවක දක්ෂතා සමඟ ඉදිරියට

වර්ෂ 1914දී සාන්ත සෙබස්තියන් ඉංග්‍රීසි විද්‍යාලය ලෙස ආරම්භ කල, වර්තමානයේදී ද මැසිනොද් විද්‍යාලය ලෙස හඳුන්වනු ලබන ප්‍රසිද්ධ කතෝලික පසලක් වන..

බොරැල්ල කැම්බල් පිටිය අසල පිහිටා ඇති එමෙන්ම කොළඹ ප්‍රධාන පෙලේ පාසල් අතර ඉහලින්ම සඳහන් වන නාමයකට හිමිකම් කියන වෙස්ලි විද්‍යාලය, පාසල් ක්‍රිකට් කරලියේ ප්‍රමුඛ කාණ්ඩය දක්වා උසස්වීම් ලැබුවේ පසුගිය තරග වාරයේදී යි.  එම තරග වාරයේ දෙවන කාණ්ඩයේ ශූරයන් වෙමින් ප්‍රමුඛ කාණ්ඩයට පිවිසි වෙස්ලි කණ්ඩායම, මෙවර ඇතුලත්ව සිටින්නේ ‘බී’ කාණ්ඩයටයි. කොළඹ රාජකීය විද්‍යාලය, මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය,  කොළඹ ආනන්ද විද්‍යාලය ‘බී’ කාණ්ඩයට අයත් අනෙකුත් ප්‍රබල කණ්ඩායම් ලෙස සඳහන් කල හැකියි. එම තත්ත්වය සලකා බැලීමේදී පෙනී යන්නේ වෙස්ලි විද්‍යාලයට එම කාණ්ඩයේ පළමු කණ්ඩායම් 4 අතරට පිවිසීම පිලිබඳ යහපත් බලාපොරොත්තුවක් තබා ගත හැකි බවයි.

අතීතයෙන් බිඳක්

මෙතෝදිස්ත සභාවේ ආරම්භකයා වන ජෝන් වෙස්ලිගේ නාමය සිහි වනු වස්, ‘වෙස්ලි විද්‍යාලය’ ලෙසින් නම් ලද මෙම පාසල පිටකොටුව වේල්ල වීදියේ දී ආරම්භ කරනු ලැබුවේ 1874 වසරේ මාර්තු මස දෙවැනිදා යි. එහි ආරම්භකයා ලෙස සැලකෙන්නේ ගරු ඩැනියල් හෙන්රි පෙරෙයිරා දේවගැති තුමායි.

අතීතයේ  සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් අඹරට තරු බිහිකළ තෝතැන්නක් ලෙස ප්‍රකඨ වෙස්ලි විද්‍යාලය අදටත් එම කර්තව්‍ය ඉටු කිරීම පැහැර හරින්නේ නැත. ශ්‍රී ලංකාව ‘ලංකා’ නැතහොත් ‘සිලෝන්’ ලෙසින් හැඳින්වෙන කාල වකවානුවේ ජාතික කණ්ඩායම නියෝජනය කල මහාදේවන් සතාසිවම් වෙස්ලි විදුහලින් ජාතික තලයට පැමිණි පළමු ක්‍රිකට් තරුවයි. ඉන් පසු බ්‍රෙන්ඩන් කුරුප්පු සහ ෆර්වීස් මහරූෆ් වැනි ක්‍රීඩකයන් යුගයෙන් යුගයට බිහි කල වෙස්ලි විද්‍යාලයෙන් වර්තමාන යුගය සඳහා දායාද වූ ක්‍රීඩකයෙකු ලෙස ජෙෆ්රි වැන්ඩර්සේ හඳුන්වා දිය හැකියි.

ප්‍රධාන ක්‍රීඩකයන්

සිව්වන වසරේ ක්‍රීඩක ශමෝද් ඇතුලත්මුදලි මෙවර වෙස්ලි විදුහල් කණ්ඩායමේ නායකත්වය උසුලයි. ඔහු මෙවර තරග වාරයේ තරග 7කදී රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 230ක්. කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ලබාගත් ලකුණු 61 මෙවර තරග වාරයේ ශමෝද්ගේ හොඳම ඉනිමයි. කෙසේවෙතත් තම කණ්ඩායම පළමු කණ්ඩායම් 4 අතරට ගෙන යාම සඳහා ඔහු තම දස්කම් තව දුරටත් වර්ධනය කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වනු ඇත.

තවත් සිව්වන වසරේ ක්‍රීඩකයෙක් වන ජේසන් ද සිල්වා වෙස්ලි කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරයි. මෙවර තරග වාරයේ මෙතෙක් පැවති තරග 7කදී ලකුණු 270 ඉක්මවා ලබාගෙන ඇති ඔහුගේ හොඳම දක්ෂතාව, ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 70යි. ජේසන් ද තම ලකුණු එකතුව තව දුරටත් ඉහල දමා ගනිමින් තම කණ්ඩායම ඉහලටම ගෙන යාමේ බලාපොරොත්තු දල්වා සිටී.

2016/17 වෙස්ලි විද්‍යාලීය ක්‍රිකට් සංචිතයේ ඡායාරූප ඇල්බමය

වේග පන්දු යවන ක්‍රීඩක ෂෙනාල් දංගල්ල වෙස්ලි පන්දු යැවීමේ බල ඇණියේ ප්‍රමුඛතම තුරුම්පුව ලෙස හැඳින්විය හැක. තරග 6කදී කඩුලු 20ක් මේ වන විට ඔහුගේ නම ඉදිරියෙන් ලියවී තිබේ. කොටහේන සාන්ත බෙනඩික් විද්‍යාලය සමග පැවති තරගයේ දී විශිෂ්ට දස්කම් අතර සිටි ෂෙනාල් එම තරගයේදී බිඳ හෙලු කඩුලු සංඛ්‍යාව 8ක්.

දෙවන වසරේ තුන් ඉරියවු ක්‍රීඩක මොවින් සුබසිංහ මෙවර තරග වාරයේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ ක්‍රීඩකයෙකි. තරග 7ක දී තම පිට දඟ පන්දුවෙන් ක්‍රීඩකයන් 12 දෙනෙකුගේ ඉනිම අවසන් කල මොවින්, පිත්තෙන් ලබා දී ඇති දායකත්වය ලකුණු 300 ඉක්මවයි.

පුහුණු කාර්ය මණ්ඩලය

S. C. පෙරේරා මෙවර තරග වාරයේදී වෙස්ලි කණ්ඩායම පුහුණු කිරීමේ ප්‍රධාන වගකීම ඉටු කරන අතර ඔහුගේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ සිතුම් ප්‍රනාන්දු යි. වසන්ත කස්තුරිආරච්චි වෙස්ලි විදුහල් ක්‍රිකට් භාර ආචාර්යවරයා ලෙස කටයුතු කරයි.

සාරාංශය

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ වෙස්ලි විද්‍යාලය තම කාණ්ඩයේ පළමු කණ්ඩායම් 4 අතරට ඇතුලත් වීම සඳහා ඔවුන් විසින්ම පිහිටුවාගෙන ඇති ඉලක්කය වෙත යන මාර්ගයට අවතීර්ණ වී සිටින අතර, මෙම තරග වාරයේ ඉතිරි කොටස තුලදී තම දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට සමත් වුවහොත් අදාළ ඉලක්කය සපුරා ගැනීම ඔවුන්ට එතරම් අපහසු කර්තව්‍යක් නොවනු ඇත.