“අපිට තමයි වැඩි වාසි” – බංග්ලාදේශ ප්රධාන පුහුණුකරු

ශ්රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2021

175

තම කණ්ඩායමේ පන්දු රැකීමේ අංශයෙහි දුර්වලතාවන් රැසක් හඳුනා ගෙන ඇති නිසාවෙන්  ශ්‍රී ලංකා තරගාවලිය තුල දී ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරන බව බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Russel Domingo ඉකුත් දා පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සඳහන් කර සිටියා.

නවසීලන්තය සමඟ අවසන් වරට පැවති එක්දින සහ විස්සයි විස්ස තරගාවලි ද්විත්වය තුල දී පන්දු රකින්නන්ගේ නොසැලකිලිමත්කම නිසාවෙන් නොවිය යුතු ගණයේ අත්වැරදීම් රැසක් සිදු වූ බවත් එම දුර්වලතාවන් තරගාවලි පරාජයන් සඳහා සෘජුවම බලපෑ බව ද ඒ මහතා පෙන්වා දී තිබුණි.

කෙසේ නමුත් එම වැරදි අඩුපාඩු සකසා ගැනීම සඳහා අවශ්‍ය නිසි මාර්ගෝපදේශනය ඔවුන්ට නොඅඩුව ලබා දෙන බවත්, පිටිය තුල දී ප්‍රායෝගිකව ඒවා ක්‍රියාවට නැංවීම ක්‍රීඩකයින් සතු වගකීමක් බවත් Domingo මහතා වැඩිදුරටත් සඳහන්කොට සිටියා.

“මම හිතන විදියට පුහුණුකරු විදියට මට කරන්න පුළුවන් කොටසක් පමණයි. පන්දු රැකීමේ සාර්ථකත්වය බොහෝ දුරට රඳා පවතින්නේ ක්‍රීඩකයින්ගේ ආත්ම විශ්වාසය මත. මේ ගැන බැරෑරුම්ව හිතන්න ගියොත් වෙන්නේ ප්‍රශ්නය තවත් සංකීර්ණ වෙන එක.”

“අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි කණ්ඩායමක් විදියට හොඳින් පන්දු රැකපු අවස්ථාවන් ගැන පමණක් උපරිම අවධානය යොමු කරලා ඒවාගෙන් ගත හැකි ධනාත්මක දේවල් විශ්ලේෂණය කරන එක. අපි හොඳ උඩ පන්දු රැකගෙන තියෙනවා වගේම දක්ෂ ලෙස පිතිකරුවන් දුවද්දී දවා ගැනීම්වලට හසුකරගෙන තියෙනවා. නමුත් අපිට ඒ රිද්මය දිගටම පවත්වා ගෙන යන්න බැරි වෙලා තියෙන එක ගැටලුවක්. මේ තරගාවලිය හොඳ අවස්ථාවක් ඒ හැමදෙයක්ම නිවැරදි කරගන්න.”

“සමහර කණ්ඩායම්වල ඉන්නවා සහජ හැකියාවෙන්ම පන්දු රැකීමට උපන් හපනුන්, තවත් කණ්ඩායම්වල ඉන්න පුළුවන් සාමාන්‍ය මට්ටමින් පන්දු රැකීම ප්‍රගුණ කරපු ක්‍රීඩකයින්. මෙතන දී විය යුත්තේ ඒ ඒ ක්‍රීඩකයාගේ ශක්තීන් දුර්වලතා අඳුනගෙන පිටිය සකසද්දී හරි තැනට හරි ක්‍රීඩකයින්ව ස්ථානගත කිරීම. මම කලින් සඳහන් කළා වගේ ආත්ම විශ්වාසය ඉතාමත් වැදගත් පන්දු රැකීමේ දී. අපිට පුළුවන් වෙන්න ඕනෑ ඕනෑම පීඩනයක් තියෙන අවස්ථාවක දී උනත් හොඳ පැහැදිලි මනසකින් පන්දුව රකින්න.”

මේ වන විට බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ අංක 07 ස්ථානය තහවුරු කරගැනීම සඳහා Mosadekk, Afif, Soumya වැනි දක්ෂ තරුණ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම මාන බලමින් සිටින අතර අවසන් පන්දුවාර කිහිපයේ දී වේගයෙන් ලකුණු රැස්කර ගනිමින් දඟපන්දුවෙන් ද තම සහයෝගය කණ්ඩායම වෙත ලබා දිය හැකි ක්‍රීඩකයෙකු හට එම පුරප්පාඩුව පිරවීමේ ප්‍රමුඛතාව ලබා දෙන බව Domingo මහතා සඳහන්කොට තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්:

“විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට තවත් ඉතිරි වෙලා තියෙන්නේ මාස හයක් වගේ කෙටි කාලසීමාවක් නිසා අපේ අවසන් පිතිකරණ ලැයිස්තුව සකස් කර ගැනීමට මේ තරගාවලියේ දක්වන දක්ෂතා ගොඩක් වැදහත් වේවි. ක්‍රීඩකයින් කළමනාකරණය කිරීමේ දී හැමවෙලාවෙම බුද්ධිමත්ව තීරණ ගත යුතුයි.

මේ වසංගත තත්වය නිසා අපිට අවස්ථාවක් ලැබුණා වැඩිපුර ක්‍රීඩකයින් සංඛ්‍යාවක් ජාතික සංචියත් එක්ක එකතු කරගන්න. පුහුණු තරග සහ පුහුණුවීම්වල අපිට ඉඩකඩක් ලැබෙනවා ඔවුන්ගේ දක්ෂතා ගැන හොඳ අදහස් ලබා ගන්න. අපි ලෝක කුසලාන තරගාවලියට තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවක් ලබා දෙන්න අපේක්ෂා කරනවා.”

“මේ තරගාවලිය ජයග්‍රහණය කිරීම අපේ මූලික අරමුණ වුනත් අපි කණ්ඩායම තෝරද්දී අනාගත සංයුතීන් පිළිබඳවත් සැලකිය යුතු අවධානයක් යොමු කරන්න ඕනෑ. අතීතය ගැන පසුතැවී ථලක් නැහැ. වර්තමානය සහ අනාගතය ගැන කල්පනා කරලා තීරණ ගැනීමයි වඩාත් වැදගත්. ඉදිරි අවුරුදු දෙකක වගේ කාලය ඇතුළත අපේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් කොතෙක් දුරට සේවය ලබාගන්න පුළුවන් වේවි ද කියන එක අපි දන්නේ නැහැ. Shakib, Tamim, Riyas සහ Mushfiqගේ අඩුව පිරවිය හැකි ශක්තිමත් දෙවැනි පෙළක් නිර්මාණය කිරීම ඉතාමත් වැදගත්.”

බංග්ලාදේශය තරග ආකෘතීන් තුනම ආවරණය වන පරිදි අවසන් වරට ක්‍රීඩා කළ තරග 10 තුල දී එකදු ජයග්‍රහණයක් හෝ වාර්තා කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් Domingo මහතා පවසා සිටියේ ඔවුන් පසුකරන්නේ ඉතාමත් අපහසු කාලසීමාවක් බවයි.

“පිළිගන්න ඕනෑ කණ්ඩායමක් විදියට අපිට පහුගිය තරග කිහිපයේ දී අපි බලාපොරොත්තු අරමුණුවලට ළඟා වෙන්න බැරි වුනා. ඒ වැරදි අඩුපාඩු නිවැරදි කරගෙන අනාගත තරගාවලි ගැන අවධානය යොමු කිරීමයි දැන් කළ යුත්තේ. අපි අපේ උපරිමයෙන් ක්‍රීඩා කළොත්, මේ තරගාවලියේ දී අපිට දැනෙන වෙනසක් සිදු කළ හැකියි. අපිට තරග ප්‍රතිඵලය මොකක් උනත් වඩාත් වැදගත් විය යුත්තේ අපි තරග කරන ආකාරය, අපි කොහොමද පීඩනය හසුරවගන්නේ, කොහොමද ආක්‍රමණශීලී මනසකින් තරග වඳින්නේ වගේ කරුණු ගැන වැඩි.”

පිටකොන්ද ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් නිසාවෙන් තරගාවලි කිහිපයක් විවේක ගන්වා සිටි Mahamudullah යලි සුවය ලබා කණ්ඩායමත් සමඟ එකතු වී ඇති අතර එම නිසාවෙන් දඟපන්දු යැවීමේ අංශය තරමක් සමබර කරගැනීමට එය රුකුලක් වනු ඇතැයි කණ්ඩායම් කළමනාකාරිත්වය අපේක්ෂාවෙන් පසුවේ. මේ නිසාවෙන් වේගපන්දු යවන්නන් තිදෙනෙකු පළමු තරගය සඳහා ක්‍රීඩා කරවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

“මම හිතන්නේ කණ්ඩායම් දෙක සංසන්දනය කරලා බැලුවම දෙගොල්ලොම මේ වෙනකොට එකම මට්ටමක තමයි පසුවෙන්නේ. සත්කාරක රට සඳහා අමතර වාසියක් තියෙන නිසා අපිට තරගාවලිය ජයග්‍රහණය වැඩි අවස්ථාවක් තියෙනවා. නමුත් අපිට කිසිම වෙලාවක් ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරුවට ලක් කරන්න බැහැ. ඔවුන් සතුවත් දක්ෂතාව අතින් ඉහළ ක්‍රීඩකයින් රැසක් ඉන්නවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<