කුසල්ට වන්දි ගන්න WADA ප්‍රධානියාගේ සහය

377
Kusal Janith

තහනම් උත්තේජක භාවිතා කළ බවට එල්ලවූ වැරදි චෝදනාවක් මත තරග තහනමකට ලක්ව සිටි ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් හට වන්දි ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ (WADA) මැදිහත්වීම ලැබෙන බව ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්ධන ආයතනයේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකාව තුළ තහනම් උත්තේජක මර්ධන වැඩපිළිවෙලේ ප්‍රගතිය පිලිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මහාචාර්යවරයා මේ බව පැවසීය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්ධන ආයතනයේ වෛද්‍යවරු පැවසුවේ එළඹෙන රියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින සියලුදෙනා තහනම් උත්තේජක පරීක්ෂණ වලට භාජනය කළ බවයි. මේ වනවිට ඇමරිකාවේ පුහුණුව ලබන ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නායක, මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ, ජපානයේ පුහුණුව ලබන බර ඉසිලීමේ ක්‍රීඩක සුදේශ් පීරිස් සහ පිහිනුම් ක්‍රීඩිකා කිමිකෝ රහීම් හැර ඉතිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේ පරීක්ෂණයට ලක්වී ඇත.

මේ දිනවල ලොවපුරා තහනම් උත්තේජක භාවිතය පිලිබඳ විවිධ සිදුවීම් රැසක් වාර්තා වුවත්, ශ්‍රී ලංකාවේ තත්වය ඉතාමත් යහපත් මට්ටමක පවතින බව ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ආයතනය පවසයි. ඔවුන් වසරකට අහඹු පරීක්ෂණ 150ක් පමණ සිදු කරන්නේ එක පරීක්ෂණයක් සඳහා ඇමරිකානු ඩොලර් 240ක (රුපියල් 35,000ක් පමණ) වියදමක් දරමිනුයි.

මේ වසර තුළ සිදුකළ තහනම් උත්තේජක පරීක්ෂණ 70කින් ක්‍රීඩකයන් දෙදෙනෙක් අසමත් වී ඇති බවද මෙහිදී අනාවරණ කෙරුණි. පාපැදි ක්‍රීඩකයෙක් සහ සවි එසවීමේ ක්‍රීඩකයෙක් මෙසේ පරීක්ෂණ අසමත් වුවත්, ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ශ්‍රී ලංකාවට ඉතා පිරිසිදු සහතිකයක් ඇති බව මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ වෛද්‍ය සීවලී ජයවික්‍රම මෙහිදී අනාවරණ කළේ කුසල් ජනිත් සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ පිහිටි රසායනාගාරය නිකුත් කළ වාර්තාවේ පවතින්නේ තාක්ෂණික දෝෂයක් නොවන බවයි. අදාළ සංඝටකය ඉතා සුළු ප්‍රමාණයක් ඕනෑම පුද්ගලයෙකුගේ ශරීරයේ අන්තරගතව තිබිය හැකි බවත් කුසල්ගේ ශරීරයේද එම සංඝටකය ඒකක දශම ගණනක් පමණක් අඩංගුව තිබී ඇති බවත් ඔහු පවසයි. ක්‍රීඩකයෙක් තහනමකට ලක් කිරීමට නම් මෙම සංඝටකය ඒකක 20ක් පමණ අඩංගු විය යුතු වේ.

වෛද්‍ය සීවලී මහතා පෙන්වා දෙන්නේ අදාළ රසායනාගාරය තම වාර්තාව තුළ කුසල්ගේ ශරීරයේ තහනම් සංඝටකයක් පවතින බව පමණක් දක්වා තිබීම මේ වැරදි වැටහීමට මූලික හේතුව වූ බවයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ වන විටත් මෙම රසායනාගාරය පරීක්ෂණ සඳහා යොදා ගැනීම අත්හිටුවා තිබෙනවා.

මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ WADA ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම රසායනාගාරයෙන් කුසලට වන්දියක් ලබා ගැනීම වෙනුවෙන් පෞද්ගලිකවම මැදිහත්වන බවයි.

” මෙතනදී රසායනාගාරයේ කරපු වැරැද්ද නිසා WADA සංවිධානයටත් හෙල්ලෙන්න බැරි වුණා.  ඩේවිඩ් හව්මන් කියන පුද්ගලයා (ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්) පෞද්ගලිකව හමුවුණ අවස්ථාවේදී කිව්වා කොහොමත් කුසල්ට වුණ අසාධාරණයට ඒ ගොල්ලන් වන්දි ලබාගන්න උදව් කරනවා කියලා. කුසල් ජනිත්ගේ නීතිඥවරයෝ ඉන්නවා. ඉතිං ඒ ගොල්ලෝ කතා කරලා ICC එක හරහා තමයි ඒක යන්නේ හැබැයි WADA සංවිධානයෙත් සම්බන්ධයක් තියෙනවා. කටාර් ලැබ් එක වන්දියක් ගෙවිය යුතුමයි. වැරැද්ද තියෙන්නේ එතන හින්දා. හැබැයි මං හිතන්නේ කොච්චර සල්ලි දුන්නත් මදි කුසල්ට ඒ විදින්න වුණ අසාධාරණයට.”

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට