චීන තායිපේ ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකාවෙන් අමතක නොවන පාඩමක්

956
Sri Lanka vs Chinese Taipei

ආසියානු අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය අද (10) ප.ව. 1.30ට පැවති අතර එහි දී චීන තායිපේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේ ලකුණු 38-15ක් ලෙසයි.

දිනයේ පැවති ප්‍රථම තරගය චීනය හමුවේ ජයග්‍රහණය කර සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේ සිටම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කර අතර තරගයේ පළමු උත්සාහක දිනුම ගැමුණු චේතිය විසින් වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (07-00)

ඉන්පසු පිටියේ එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එකා පසුපසින් එකා තායිපේ ආරක්ෂක වළල්ල අතික්‍රමණය කරන්නට වූ අතර දිනුක් හෙට්ටිආරච්චි තවත් උත්සාහක දිනුමකට මග පාදා ගැනීමට සමත් වූයේ ධවල රේඛාව පසුකර යමිනි. එහි ප්‍රවර්තනය හරිත් විසින් සාර්ථක කරගත්තේය. (14-00)

රාජකීය විද්‍යාලයේ තවත් සාඩම්බර නිෂ්පාදනයක් වූ ජනිදු ඩිල්ෂාන් තම පළමු උත්සාහක දිනුම වෙනුවෙන් මග පාදා ගන්නේ ඉන් අනතුරුවයි. මනරම් පන්දු පිරිනැමීමක් හා දිගු දුර දිවීමක සුසංයෝගයකින් ජනිදු ධවල රේඛාව පසුකර ගියේ තෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමිනි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (19-00)

ඉන් අනතුරුව ප්‍රබල ශ්‍රී ලංකා ආරක්ෂක වළල්ල අතරින් රිංගා ගිය තායිපේ ක්‍රීඩක ලෙන්-වෙන්-යූ තම පළමු උත්සාහක දිනුම චීන තායිපේ වෙත දිනා දුන්නේය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (19-05)

වේගවත් ක්‍රීඩා විලාසය හා මනා අවබෝධයෙන් උපරිම ඵල නෙලාගත් ජනිදු තවත් උත්සාහක දිනුමක් ශ්‍රී ලංකාව වෙත දිනා දුන් අතර චතුර සෙනෙවිරත්න සාර්ථක අතිරේක ලකුණු එකතු කරන්නට සමත් විය. (26-00)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 26 – 05 චීන තායිපේ

දෙවැනි අර්ධයේ දී පෙරට වඩා තරමක් ආරක්ෂාකාරී පියවරයන් අනුගමනය කරමින් ශ්‍රී ලංකා ඉදිරිපෙළ අඩපණ කරන බවක් පිටියේ පෙනෙන්නට තිබූ අතර ඒ අවසරයෙන් තායිපේ ක්‍රීඩක සින්-ලූ තායිපේ කණ්ඩායමේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (26-10)

ඒ ආසන්නයේම නැවතත් පෙළ ගැසුණු තායිපේ ක්‍රීඩක සින්-ලූ නැවතත් තම ප්‍රවේගකාරී ක්‍රීඩා විලාසය උත්සාහක දිනුමකින් අවසන් කළේ පැති රේඛාව අසලින්ම ලද අවස්ථාවක් සාර්ථක කර ගනිමිනි. එහි ප්‍රවර්තනය ද අසාර්ථකයි. (26-15)

තරමක මන්දගාමී ක්‍රීඩා විලාසයක සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නැවතත් තම සුපුරුදු ක්‍රීඩා විලාසයට ගෙන එමින් තුලෙයිබ් හසන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය හරිත් බණ්ඩාර විසින් සාර්ථක කර ගත්තේය. (33-15)

තරගය අවසන් වන්නට මිනිත්තුවක කාලයක් පමණ තිබිය දී ක්‍රීඩක ආදේශනයකින් රැන්ඩි සිල්වා පිටියට පැමිණි අතර ඒ විගසම ඔහුට ලැබුණු අවස්ථාවකින් උත්සාහක දිනුමක් සාර්ථක කරගත්තේ පිටිය පුරා සිටි තායිපේ ක්‍රීඩකයන් නරඹන්නන් බවට පත් කරමිනි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (38-15)

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 38(6T 1C)  –  15 (3T) චීන තායිපේ  

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්

  • ශ්‍රී ලංකාව: ජනිදු ඩිල්ෂාන් 2T, දිනුක් අමරසිංහ 1T, තුලෙයිබ් හසන් 1T, ගැමුණු චේතිය 1T, රැන්ඩි සිල්වා 1T
  • චීන තායිපේ: සින්-ලූ  2T, ලින්-වෙන්-යූ 1T

ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගයෙනුත් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා සමත් විය. මීළඟ තරගය හෙට (10) උදෑසන 7.45ට ආරම්භ වීමට නියමිතයි. ඒ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<