රුවන්වැල්ලෙන් ඇරඹෙන පාසල් රග්බි වසන්තය!

2022 Dialog පාසල් සත් සාමාජික සංවර්ධන රග්බි තරගාවලිය

322

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC සමාගම ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය හා එක්ව පළමු වරට වයස අවුරුදු 14න් පහළ සත් සාමාජික සංවර්ධන රග්බි තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

සාම්ප්‍රදායිකව රග්බි ක්‍රීඩා කරන පාසල්වල සීමාවෙන් ඔබ්බට ක්‍රීඩාව ව්‍යාප්ත කර දක්ෂතා ආකර්ෂණය කරගැනීම මෙහි මූලික අරමුණයි.

‘2022 Dialog පාසල් සත් සාමාජික සංවර්ධන රග්බි තරගාවලියේ දී’ දිස්ත්‍රික්ක 6ක් නියෝජනය කරමින් වයස අවුරුදු 14න් පහළ කණ්ඩායම් 40ක් තරග බිමට පිවිසෙන අතර, පෙබරවාරි 20 වැනිදා රුවන්වැල්ල රග්බි ක්‍රීඩාංගණයේ දී හා මාර්තු 12 වැනිදා පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේ දී පෙ.ව. 8.30 සිට තරග ආරම්භ වේ.

රග්බි ක්‍රීඩාව කොළඹ හා මහනුවර යන නගර ද්විත්වය කේන්ද්‍ර කරගනිමින් විශාල ආකර්ෂණයක් සහිතව පැවැත්වෙන නමුත්, පහසුකම් හා පුහුණු කාර්යය මණ්ඩල නොමැති වීම හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ කටයුතු ඒ හේතුවෙන් මන්දගාමී වී තිබේ.

ග්‍රාමීය පාසල් කණ්ඩායම්වල නිපුණතා මට්ටම සහ යෝග්‍යතාව තක්සේරු කිරීමට හා එම පළාත්වල ක්‍රීඩාව නැංවීමට අවශ්‍ය පුහුණුව හා වර්ධනය ලබා දීමේ දී තීරණාත්මක කාර්යභාරයක් සංවර්ධනය තරගාවලි පැවැත්වීම මඟින් සිදු වන බව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය ප්‍රකාශ කළේය.

‘2022 Dialog පාසල් සත් සාමාජික සංවර්ධන රග්බි තරගාවලිය’ සෞඛ්‍ය අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නියාමනය කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පැවැත්වේ.

ක්‍රීඩකයින් තම පාසල්වල අධීක්ෂණය යටතේ ජෛව ආරක්ෂිත පරිසරයක රැඳී සිටිනු ඇති අතර නියමිත කාල පරාසයන් තුළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට ද නියමිතය.

පෙබරවාරි 20 වැනිදා ආරම්භ වන 14න් පහළ තරගාවලිය සඳහා බස්නාහිර පළාත නියෝජනය කරමින් කොලොන්නාව සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය, කුලසිංහ මහා විද්‍යාලය, ඕමල්පේ මහා විද්‍යාලය, ජයවර්ධනපුර මහා විද්‍යාලය සහභාගිත්වය තහවුරු කර තිබෙන අතර, සබරගමු පළාත නියෝජනය කරමින් කුලරත්න මධ්‍ය විද්‍යාලය, ස්වර්ණජයන්ති මහා විද්‍යාලය, බිබිලේගම මහා විද්‍යාලය, දොරපනේ මහා විද්‍යාලය, විමලසාර විද්‍යාලය, ගොඩවෙල විද්‍යාලය, කිරිපෝරුව විද්‍යාලය සිය සහභාගිත්වය තහවුරු කර ඇත.

දකුණු පළාත නියෝජනය කරමින් සිරිධම්ම විද්‍යාලය, සාරාලංකාර විද්‍යාලය, උඩුගම ජාතික පාසල හා ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලය තරග බිමට පිවිසෙයි.

“රග්බි ක්‍රීඩාව සඳහා ග්‍රාමීය පාසල් ක්‍රියාකාරී මට්ටමෙන් දායක නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ රග්බි දක්ෂතාවන් බොහොමයක් අහිමි වී තිබෙනවා. මේ තත්වය විශේෂයෙන්ම සත් සාමාජික තරගාවලි තුළ දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම ලීග් ආකෘති තරගාවලියට වඩා අවම කායික ශක්තියක් වැය වන සත් සාමාජික ආකෘතිය තුළින් මෙය දකින්න පුළුවන්”, යනුවෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති බී. ඒ. අබේරත්න මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “ආසියානු ක්‍රීඩා උළෙල හා ලෝක ශූරතා තරගාවලිහිදී හොඳින් දස්කම් දැක්වූ ජාත්‍යන්තර තලයේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල් තුළින් බිහිවීමේ සම්ප්‍රදායක් පවතිනවා. ඒ නිසා අපට අවශ්‍යයි එම දක්ෂතා හඳුනා ගෙන ප්‍රයෝජනයට ගැනීමට”, යනුවෙන් සඳහන් කළේය.

Dialog Axiata සමාගමේ අනුග්‍රහය නොවන්නට අපට මෙතරම් විශාල තරගාවලියක් පවත්වන්නට නොහැකි වන අතර ශ්‍රී ලංකා පාසල් රග්බි බලගැන්වීම වෙනුවෙන් ස්තුතිවන්ත වීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා”,යැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Dialog Axiata ජාතික ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස ද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසල් ක්‍රිකට් හා පාසල් රග්බි තරග, යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානමින්, රැඳී සිටින්න ThePapare.com අප සමඟින්ම.

>>තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට<<