අවසන් මොහොතේ ජනිඳුගේ දස්කම් CR කණ්ඩායමට ජය ගෙන එයි

70

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය ආරම්භ කරමින් නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ CR & FC කණ්ඩායම අද (25) දින වැලිසර දී තරග වැදිනි. එම තරගය ලකුණු 23 – 19ක් ලෙස ජයග්‍රහණය කිරීමට CR & FC කණ්ඩායම සමත් විය. 

>>යුද ජය සිහින බිඳ දැමීමට හැව්ලොක් තුරඟුන් සමත් වෙයි!

නාවික හමුදා කණ්ඩායම මෙම තරගය සඳහා එක් වෙනසක් සමඟින් පිවිසි අතර ඔවුන් නිරෝශ් පෙරේරා වෙනුවට චමත් මධුශංක තරගයට යොදවා තිබිනි. CR කණ්ඩායම ඩිල්ශාන් ජයා සහ හරිත් බණ්ඩාර කණ්ඩායමට කැඳවා තිබුනේ රිසිත් කවියන්ජන සහ රාහුල් ද සිල්වා වෙනුවටය. සුපුන් වර්ණකුලසූරිය අංක 8 ස්ථානයට යොදවා තිබිනි. 

තරගයේ 05 වන මිනිත්තුවේ දීම ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට නාවික හමුදා ක්‍රීඩකයින් සමත්වූ අතර චතුර සෙනවිරත්න මීටර් 60ක ධාවනයකින් අනතුරුව පළමු උත්සාහක දිනුම වාර්තා කරන ලදි. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් ඉසුරු කෝන්ගහවත්ත නාවික හමුදා ලකුණු පුවරුව ලකුණු 07 දක්වා ඉහළ දැමීමට සමත් විය. (නාවික හමුදාව 07 – 00 CR & FC) 

CR කණ්ඩායම තරගයේ මුල් අවස්ථාවන් සඳහා රීසා මුබාරක් විවේක ගන්වා තිබූ අතර ඔහුගේ වගකීම් රීසා රෆායිඩීන් හට පැවරී තිබිනි. තරගයේ 12 වන මිනිත්තුවේ දී CR කණ්ඩායමට හිමි වුනු දඬුවම් පහරක් සාර්ථකව ගෝල කණු අතරින් යවමින් CR ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට රීසා රෆායිඩීන් සමත් විය. (නාවික හමුදාව 07 – 03 CR & FC) 

නාවික හමුදා ක්‍රීඩක ගිහාන් පෙරේරා හට අනතුරුදායක වැළැක්වීමක් නිසාවෙන් කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරුවන් ක්‍රියා කළේය. ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කළ නාවික හමුදා කණ්ඩායම CR ආක්‍රමණයන් සාර්ථකව ව්‍යර්ථ කිරීමට සමත් විය. 

ක්‍රමක්‍රමයෙන් CR සීමා ඉර ආක්‍රමණය කළ නාවික හමුදා කණ්ඩායම තම දෙවන උත්සාහක දිනුම වාර්තා කළේ තරගයේ 21 වන මිනිත්තුවේ දීය. එම උත්සාහක දිනුම චරිත් සිල්වා විසින් වාර්තා කළ අතර ප්‍රවර්ථනය සාර්ථක කරගත් ඉසුරු කෝන්ගහවත්ත නාවික ලකුණු පුවරුව 14ක් දක්වා ඉහළ දැමීමට සමත් විය. (නාවික හමුදාව 14 – 03 CR & FC) 

නාවික හමුදාවට ප්‍රබල පිළිතුරක් ලබා දෙමින් CR කණ්ඩායමේ නායක ඔමල්ක ගුණරත්න තම කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එය 39 වන මිනිත්තුවේ දී වාර්තා විය. එහි ප්‍රවර්ථනය සාර්ථක නොවූ නිසා CR ලකුණු පුවරුව ලකුණු 08ක් ලෙස දිස්විය. (නාවික හමුදාව 14 – 08 CR & FC) 

තරගයේ පළමු අර්ධය නිමා වූයේ නාවික හමුදාවට වැඩි ගෞරව හිමිකර දෙමිනි. 

පළමු අර්ධය : නාවික හමුදාව 14 – 08 CR & FC කණ්ඩායම 

>>මහනුවරින් ගුවන් හමුදාවට අර්ධ ශතකයක් 

CR කණ්ඩායමේ rolling maul අවස්ථාවක් නීතිවිරෝධී ලෙස වැළැක්වීම නිසාවෙන් CR කණ්ඩායමට දඩුවම් පහරක් ලැබුනු අතර එය සාර්ථකව ලකුණු 3ක් බවට පරිවර්තනය කිරීමට මුර්ශිඩ් සුබායිර් සමත් විය. එම ලකුණු සමඟින් CR ලකුණු පුවරුව නාවික හමුදාවට වඩා ලකුණු 3ක් පසුපසින් ලකුණු 11ක් ලෙස සටහන් විය. (නාවික හමුදාව 14 – 11 CR & FC) 

CR කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ඔමල්ක ගුණරත්න විසින් කළ අනතුරුදායක වැළැක්වීමක් නිසාවෙන් ඔහු වෙත කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් ක්‍රියා කළේය. එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් නාවිකයන් තම තුන්වන උත්සාහක දිනුම වාර්තා කළේ තරගයේ 65 වන මිනිත්තුවේ දීය. එම උත්සාහක දිනුම රවීන් ද සිල්වා විසින් වාර්තා කළ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක නොවූවද නාවික ලකුණු පුවරුව ලකුණු 19 දක්වා ඉහළ නැංවිනි. (නාවික හමුදාව 19 – 11 CR & FC) 

තරගයේ 68 වන මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩක නිරෝශ් පෙරේරා හට කහ කාඩ්පතක් නිකුත් කළ අතර නාවික හමුදා කණ්ඩායමට තීරණාත්මක අවසන් මිනිත්තු 10 ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුව තිබිනි. 

තරගයේ 70 වන මිනිත්තුවේ දී CR ක්‍රීඩකයන් සාර්ථකව නාවික හමුදා සීමා ඉර ආක්‍රමණය කළ අතර line out අවස්ථාවක් මනා ලෙස උපයෝගී කරගෙන ජනිඳු ඩිල්ශාන් අනර්ඝ ධාවනයක යෙදෙමින් CR කණ්ඩායමේ තුන්වන උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් රීසා මුබාරක් ලකුණු පරතරය එක් ලකුණක් දක්වා අඩු කිරීමට සමත් විය. (නාවික හමුදාව 19 – 18 CR & FC) 

නාවික හමුදාව අවසන් මිනිත්තු 10ට පිවිසියේ ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් වන අතර එහි උපරිම වාසිය ලබා ගැනීමට CR කණ්ඩායම සමත් වූයේ ප්‍රබල ආක්‍රමණයක් දියත් කරමිනි. තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා වන ජනිඳු ඩිල්ශාන් නැවතත් ක්‍රියාත්මක වෙමින් නාවික හමුදා ඉදිරිපෙළ බිඳ දැමීමට සමත් විය. ඔහුගේ අනගි පන්දු පිරිනැමීමක් උත්සාහක දිනුමක් බවට පත්කර ගැනීමට ෆ්ලෑන්කර් ක්‍රීඩක වජීඩ් ෆව්මි සමත් විය. එහි ප්‍රවර්ථනය සාර්ථක නොවූවද CR කණ්ඩායම තරගයේ පෙරමුණ ලබා හිමිකර ගැනීමට සමත් විය. (නාවික හමුදාව 19 – 23 CR & FC) 

අවසන් මිනිත්තු කිහිපය තුළ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට නාවික හමුදා කණ්ඩායම ප්‍රබල උත්සාහයක නිරතවී සිටි නමුත් CR ඉදිරිපෙළ හමුවේ එම උත්සාහයන් ව්‍යර්ථ විය. තරගය අවසන් වූයේ ලකුණු 19 – 23ක් ලෙස CR & FC කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි.  

අවසන් ලකුණු තත්ත්වය : නාවික හමුදා ක්‍රීඩා සමාජය (3T, 2C) 19 – 23 (3T, 2P, 1C) CR & FC කණ්ඩායම 

>>පාසල් රග්බි කාලසටහන නිකුත් වෙයි

ThePapare.com තරගයේ වීරයා – ජනිඳු ඩිල්ශාන් (CR & FC) 

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්: 

  • නාවික හමුදාව – චතුර සෙනවිරත්න (1T), චරිත් සිල්වා (1T), රවීන් ද සිල්වා (1T), ඉසුරු කෝන්ගහවත්ත (2C). 
  • CR & FC කණ්ඩායම – ඔමල්ක ගුණරත්න (1T), ජනිඳු ඩිල්ශාන් (1T), වජීඩ් ෆව්මි (1T), රීසා රෆායිඩීන් (1P), මුර්ශිඩ් සුබායිර් (1P), රීසා මුබාරක් (1C). 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<