හැව්ලොක් තුරඟුන් තුරඟ තරග පිටිය දෙවනත් කරයි!

73

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ තවත් තරගයක් හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ CH&FC කණ්ඩායම අතර අද (15) තුරඟ තරග පිටියේ දී පැවැත්විය. එහි දී ලකුණු 27-13ක් ලෙස පහසු ජයක් අත්කර ගැනීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.

මේ තාක් දුරට ඩයලොග් රග්බි ලීගයේ පැවතී තරගවලින් වෙනස්ම කාලගුණ තත්වයක් යටතේ ආරම්භ වුණු හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ CH&FC අතර තරගයේ කණ්ඩායම් දෙකම ඉතා උද්‍යෝගයෙන් ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණි.

තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ප්‍රින්ස් චාමර තරගයේ 6 වැනි විනාඩියේ දී විනිසුරු වෙතින් හිමිවුණු දඬුවම් පහර සාර්ථක කරගත්තේය. (හැව්ලොක් 03 – 00 CH&FC)

පසුව තරගයේ 10 වැනි විනාඩියේ දී අනාරක්ෂිතව ක්‍රීඩකයෙකු මෙල්ල කිරීමේ වරදට විනිසුරු CH&FC “Flanker” ක්‍රීඩක සජිත් සාරංගට කහ කාඩ්පතක් නිකුත් කළේ CH&FC ක්‍රීඩකයින් 14කට සීමා කරමිනි.

එ්ත් සමඟින් තරගයේ 13 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ හැව්ලොක් කණ්ඩායමේ චරණ චාමිකර තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ප්‍රින්ස් චාමර සමත් විය. (හැව්ලොක් 10 – 00 CH&FC)

තරගයේ 18 වැනි විනාඩියේ දී හැව්ලොක් ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අතපසුවීමකට විනිසුරු CH කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දුන් අතර එය සාර්ථක කර ගැනීමට නායක රෝහිත රාජපක්ෂ සමත් විය. (හැව්ලොක් 10 – 03 CH&FC)

තරගයේ 27 වැනි විනාඩියේ දී වේගවත් ධාවනයක යෙදුණු රැන්ඩි සිල්වා CH පසුපෙළ අන්දමන්ද කරමින් වේගවත් උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (හැව්ලොක් 15 – 03 CH&FC)

එතැන් පටන් තරගය මදක් වේගවත් වූ අතර ක්‍රීඩකයෙකු නීති විරෝධී ලෙස මෙල්ල කිරීම හේතුවෙන් තරගයේ 39 වැනි විනාඩියේ දී හැව්ලොක් නායක මිතුන් හපුගොඩට විනිසුරු කහ කාඩ්පතක් නිකුත් කළේය.

ප්‍රථම අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 15 – 03 CH&FC කණ්ඩායම

දෙවැනි අර්ධය ආරම්භ වූ විගස CH ක්‍රීඩකයින් ඉතා උද්යෝගයෙන් තරගයට අවතීර්ණ වූ අතර එහි දී හෂාන් මදුරංග තරගයේ 43 වැනි විනාඩියේ දී CH&FC වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (හැව්ලොක් 15 – 08 CH&FC)

එයට පිළිතුරු වශයෙන් තරගයේ 46 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ ප්‍රින්ස් චාමර හැව්ලොක් වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළේ CH&FC ආරක්ෂාව බිඳ හෙළමිනි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (හැව්ලොක් 20 – 08 CH&FC)

නැවතත් තරගයේ 65 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ නිශෝන් පෙරේරා වේගවත් ධාවනයක නිරත වෙමින් CH&FC වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (හැව්ලොක් 20 – 13 CH&FC)

තරගයේ 79 වැනි විනාඩියේ දී අනතුරුදායක ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙන් CH ක්‍රීඩක සත්‍ය රණතුංගට විනිසුරු කහ කාඩ්පතක් නිකුත් කළේ ඔහුගේ ක්‍රීඩා කාලයෙන් විනාඩි 10 අහිමි කරමිනි. 

එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් හැව්ලොක් ක්‍රීඩක අස්මීර් ෆාජුදීන් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ප්‍රින්ස් චාමර සමත් විය. (හැව්ලොක් 27 – 13 CH&FC)

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 27 – 13 CH&FC කණ්ඩායම

ThePapare.com තරගයේ වීරයා – ලසිඳු කරුණාතිලක (හැව්ලොක්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • හැව්ලොක් – චරණ චාමිකර 1T, රැන්ඩි සිල්වා 1T, අස්මීර් ෆාජුදීන් 1T, ප්‍රින්ස් චාමර 1T, 1P, 2C
  • CH&FC – හෂාන් මදුරංග 1T, නිශෝන් පෙරේරා 1T, රෝහිත රාජපක්ෂ 1P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<